බුදුහිමියන්ටත් අපල ගෙන දුන් සුරගුරු

අගෝස්තු 18, 2023

ඡ්‍යොතිෂයේ සුබ ග්‍රහයෝ, පාපී ග්‍රහයෝ කියල දෙආකාරයට ග්‍රහයින් නාමිකව හඳුන්වනවා. ඒ කිව්වේ රවි, කුජ, ශනි, රාහු – කේතු හා අවපාර්ශ්වයේ සඳු යන ග්‍රහයන් පාපියෝ හැටියටත් බුධ – ගුරු, සිකුරු, පුර චන්ද්‍රයා සුබ ග්‍රහයෝ ලෙසත් හඳුන්වනවා. සමහර පොත්වල එහෙම සඳහන් වුණත්, මම සඳහන් කරන්නෙ මේ මොන ග්‍රහයෙක් වත් නරක හෝ හොඳ කියල නැහැ.

හොඳට පිහිටියොත් සුබ ප්‍රතිඵලත් නරකට පිහිටියොත් නරක ප්‍රතිඵලත් දෙනවා. මූලිකව එච්චරයි. සුබ කෝණ දෘෂ්ටි වැදුණොත් නරක ග්‍රහයාගේ ඒ නරක ගතිගුණ අහෝසිවන එක වෙනම සාකච්ඡා කළ යුතු වනවා. මිනිසුන්ගේ ලොකු මතයක් තිබෙනවා අඟහරුවා 7 වැනි රාශියේ හෝ 8 වැනි රාශියේ හිටියොත් ඒක පාපි කේන්දරයක් කියල. ඒවා බමුණු මත. ඕනෑම කේන්දරයක 7 වැනි රාශියේ හෝ 8 වැනි රාශියේ හෝ අඟහරුවා නරකට හිටියොත් පාපි කේන්දරයක් වෙලා විවාහයත් ප්‍රමාද කරනව වගේම යහපත්ව පිහිටියොත් විවාහයත් ඉක්මන් කරනවා. ග්‍රහයෝ ස්ථීර නැහැ. විශ්ව ශක්තිය වෙනස්වන විට ග්‍රහයන්ගේ පිහිටීමත් වෙනස් වන විට ප්‍රතිඵලත් වෙනස් වනවා. හරියටම මනුෂ්‍යයා වගේ. මනුෂ්‍යා හැම තත්පරයකදීම වෙනස් වනවා. ඒක පියවි ඇස්වලට දැනෙන්නෙ නැහැ.

බ්‍රහස්පති කිව්වේ ඉතාම සුබ ග්‍රහයෙක් කියල තමයි මගේ හැඟීමත්. මොකද සත්දිනයේ සැමදාටම මරුට හිමි දිශාවක් තිබෙනවා. ඒ කිව්වේ ඉරිදා දිනයට උතුරු දිශා, සඳුදා දිනයට වයඹ දිශාව, බදාදා නිරිත දිශාවේ, අඟහරුවාදාට බටහිර දිශාවේ, බ්‍රහස්පතින්දාට දකුණු දිශාවේ සිකුරාදාට ගිනිකොණ දිශාවේ හා සෙනසුරාදාට නැඟෙනහිර දිශාවේ. මේ අයුරින් බලන කොට මරුට අයිති නැති එකම දිශාව ඊසාන දිශාව බව පෙනෙනවා. ඊසාන දිශාව අයිති බ්‍රහස්පතිට, ගුරු දිනයට දකුණු දිශාවෙන් හිටියට. ඒක නිසාම තමයි අපි මුදල් උපයන වැඩ ඕනෑම ශිල්පමය කටයුතු ඊසාන දිශාව බලා කරන්නෙ. වරදින්නේ නැහැ. අනික තමයි බ්‍රහස්පතිට අයිති වෘක්ෂය “බෝ”. බුදුහාමුදුරුවො කෙළෙහි ගුණ දැක්වූයේ. එහෙනම් ඔබ මම බෝධිපූජා පවත්වන කොට ඊසාන දිසාවට හැරී බෝධිපූජා පවත්වන්නටම ඕනෑ. සියලු අරිටු හරණය වී ජයම ලැබෙනවා. මේවා පොත්වල සඳහන් නැහැ. පාරම්පරිකව එන උපදෙස්. බ්‍රහස්පති ශිල්පයට අධිපතියා. එකම හතුරා සිකුරා. ඕනෑම කෙනෙක් විභාගයකට මුහුණ දෙන කාලයට බ්‍රහස්පති හොඳ වෙලා සිකුරා නරක් වී අන්තර්දශා ආවොත් කොහොම හරි කොහේහරි ආලවන්තකමක් ඇතිකරල තාවකාලිකව හෝ ආදර සම්බන්ධයක් ඇතිකරල ඒ විභාග කටයුතු හා ශිල්පමය කටයුතු අඩපණ කරල දමනවා. ඒ ක්‍රියාවට සිකුරා දක්ෂයා. ඒ වගේම විවාහ කටයුතු වන කාලයට සිකුරා යහපත්ව ඉඳවා බ්‍රහස්පති හතුරු අන්තර් දශා කාල ආවොත් බොරු උපදෙස් දීලා හෝ පශ්චාත් උපාධියක් හෝ එවැනි අධ්‍යාපන කටයුත්තක් මුල් කරල විවාහය කඩනවා. ඒ ක්‍රියාවට බ්‍රහස්පති හපනා. ඒක නිසාමයි” ගුරු ශුක්‍රෝ සදා වෛරඞ” (ගුරු සිකුරු සදා වෛරක්කාරයන්ය) කිව්වේ. මේ දෙන්නම හොඳ ග්‍රහයෝ තමයි නරක් වුණොත් ඉවරටම ඉවරයි. මේ කාලයට තමයි ස්කෝන් නවනාථය කියන යන්ත්‍රය පලඳවන්නේ. නවනාථය කියන්නෙ ඉතා දුර්ලභ ගණයේ බලගතු යන්ත්‍රයක්. රත්‍රං පොගවපු තඹ තහඩුවේ යන්ත්‍රය ලියලා මන්ත්‍ර කරල පලඳවන්ට ඕනෑ.

බ්‍රහස්පති ගැන තව එකක් කියන්නම ඕනෑ. ඕනෑම කෙනෙකුගේ ලග්නය මීන නම් රවි – සඳු සුබව පිහිටියොත් එයා කාට හරි දෙන ලණු ඒ කිව්වේ කපටි උපදෙස් අනිත් පාර්ශ්වය දැන දැනම කනවා. නැත්නම් භාරගන්නවා මයි. ඒකට දක්ෂ පුද්ගලයෝ ලංකාවෙන් වර්තමානයේ නැත්තේ නොවේ. බ්‍රහස්පති කිව්වේ හරියට ගතිපැවතුම් අතින් විශ්‍රාමික විදුහල්පතිවරු හා නායක හාමුදුරුවරු වගේ කියල තමයි කියල දීල තිබෙන්නෙ. බ්‍රහස්පති හොඳට පිහිටියොත් ශිල්පය අතින් ඇති තරමටම උඩටම ගෙනියනවා. නරක් වුණොත් ඉවරටම ඉවරයි. ශරීරයේ ස්නායු රෝගත් හදනවා. පුංචිම උදාහරණයක් කියන්නම්කෝ. අහිංසක කුමාරයාට ගුරුවරයා දන්නා ශිල්ප සියල්ල දීලා කේලමක් නිසා අහිංසක අංගුලිමාල වූ හැටි. ගුරු පඬුරු දෙන්න ගිහිල්ලනේ ඒක වුණේ. පෙර පිනක් තිබිල නැවතත් රහතුන් වහන්සේ කෙනෙක් වුණා බුදුන් දැකලා. බ්‍රහස්පති නරක් වුණොත් මවුපියෝ කියලවත් නිදහසක් නැහැ.

බෞද්ධ දර්ශනයට අයත් සාමාන්‍ය පොත්වල බුදුන්වහන්සේගේ ක්‍රියාකාරකම් සිදුවූ කාලසීමාවන් සඳහන් නොවුණත් “බුදු උපත” පොතේ විශේෂයෙන් සඳහන් වන්නේ සිදුහත් කුමරාගේ උපතත් සමඟ නැඟෙනහිර ක්ෂිතිජයෙන් විසා නැකැතත් චන්ද්‍රයා හිමි කටක ලග්නයත් උදාව තිබූ බවයි. තවද චන්ද්‍රයා දුර්වල කිරණ විහිදීමෙන් කුමර තෙමට මෑණියන්ගේ සෙනහස අහිමි වූ බවද කියැවේ. වයස 28යි මාස 10යේදී රාහුගේ අතුරු දශා ගෙවීමෙන් පසු නීච බ්‍රහස්පතිගේ අතුරු දශා අවසන් කර වසර 35දී බුධ මහ දශාව ලැබූ බව පැහැදිලිය. නීච බ්‍රහස්පතිගේ අතුරු දශා කාලයේදී කුමරාට ඉතා දුෂ්කර කාලයක් වූ බවත් බුධ මහ දශාව ලැබීමත් සමඟ එතැන් සිට වසර 45ක කාලයක් ලෝක ජනයා සුඛිත මුදිත කිරීමේ යුගයක් වූ බව ද සඳහන් වෙයි.

ඔබ දන්නා කේන්දරවල බ්‍රහස්පතිගේ පිහිටීම පරික්ෂා කරල වැඩි විස්තර ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් වෙසක්, පොසොන් පෝය පවතින මාසවලට බ්‍රහස්පති හොඳයි. බුදුරැස් විහිදෙන මාස කියනවනේ. එහෙම ප්‍රචාරය වුණාට මේ දිනවල බ්‍රහස්පති නරකයි. මකර, මේෂ, ලග්න හිමි අයට ගොඩක් නරකයි. වාද විවාද බොරු උපදෙස් ගැනීමෙන් වළකින්න. මකර ලග්න හිමියන්ට බ්‍රහස්පති නීචයි. 2024 මැයි මාසේ 01 වැනිදා වන කල් බ්‍රහස්පති ඉන්නේ මේෂයේ. ඊට පස්සේ වෘෂභයට ආවාට ඇස් හරින්නේ ඒ කිව්වේ උදාවන්නෙ 27 වැනිදා. මැයි 27 සිට ඔක්තෝම්බර් 09 දක්වා හැකිනම් බ්‍රහස්පති ගෙන් උදව් ගන්න. අපි ග්‍රහ කිරණ අපේ ජීවිතයට ළංකර ගන්ට ඕනෑ. නරක කාලයට දුරස් වන්ට ඕනෑ. නමුත් තාක්ෂණය නිසා අපිට ඒ ග්‍රහ කිරණ අමතක වෙලා. අමතක කරවලා. හැබැයි මේ ග්‍රහ කිරණ ඔබට මට වැඩි දියුණු කරගැනීමට ඉඩ නොලැබුණාට ඔය ජංගම දුරකතන, පරිගණක ක්‍රියාකරවන්නෙ කිරණ නිසාමයි. අවාසනාවන්තකමට අපි මේවයින් හොඳ ප්‍රයෝජන ටිකක් ගත්තට නරකට ගන්නවා වැඩියි.

රාවණා බලගතු වැඩ කළේ මේ බ්‍රහස්පති නිසා. එදා පරිගණකය නොතිබුණාට දඬුමොනරය හැදුවේ ලංකාවේ. එක්ටැම් මාලිගාවට යන්ට උපකරණය හැදුවේ ලංකාවේ. එදා දඬුමොනරය තිබෙන තැන රාමා කිව්වේ තාක්ෂණයෙන් කළ දුරකතනය වැනි යන්ත්‍රයකින්. එදා සීගිරිය ගල ඇතුළින් රජතුමා ගල මුදුනට ගිය මාර්ගය අදටවත් හොයාගන්ට බැහැ. උඩට වතුර ඇද්දේ කොහොමද කියලා තාමත් හොයනවා.

මේ වගේ පුදුම උපදවන දේ අපේ ලාංකික පැරැන්නන් හැදුවා. හොයාගත්තා. ඒ වැඩිපුරම බ්‍රහස්පතිගේ ශිල්පයේ හාස්කමින්. අපේ රටේ තිබුණූ වටිනා පැළෑටි පිටරට මිනිසුන් බාගෙට බාගේ නැති කළා. සමහර ඒවා වඳ කළා. අදටත් රටකින් රටකට අමු පැළෑටි ගෙනියන්ට නීති නැහැ. ඒත් සමහර අය ඒවා රට පටවන්නෙ හොර රහසේ. මේ දූෂිත දේවල් නැවැත්වු දිනයට ලංකාව නැවත සුරපුරයක් වේවි. සුරපුරයක් වන්ට සුරගුරුල නැවත ලංකාවේ මතුවේවි. හෙනරාජය හදන මූලික ඖෂධ සිංහරාජයට සමීප දෙණියාය ගමේ තිබෙන බව සැලයි. ගුරුකම්වලට ගන්නා ඉරරාජ, සුදරාජ, මහහැඩය, කුඩා හැඩය නගා මැරූ අල මේ පොළොවේ තවත් ඇති. හැබැයි සෙවීම දුර්ලභයි. අපේ දෙමව්පියෝ දරුවෝ සමඟ උදයට පාසැල් යන හැටි පෙනෙනවා නේද? ඒ බ්‍රහස්පතිගෙන් වැඩ ගන්න හැම මව්පියකුටම ඕනෑ තම දරුවා රටේ දක්ෂයකු කරන්න. මේ රටට ලොකු මිනිසුන් වැඩක් නැහැ. රටට ඕනෑ දක්ෂ මිනිසුන්.

දසමහ යෝධයන්ට බලය, ශක්තිය, සමඟ දැනුම තිබුණා. රටට ආදරය තිබුණා. ආසියාවේ ධාන්‍යාගාරය වුණේ එහෙමයි. බ්‍රහස්පති කිව්වේ උපාධිය විතරක් නොවේ දැනීම නැති එකා දැනීම ඇති එකාට උපදෙස් දෙනවා. රටකට ආදරය ඇතිවීම රට දියුණු කිරීම වර්ගයා ඇති කිරීම මේ ඔක්කොම අයිති වන්නෙ බ්‍රහස්පතිට. පූර්ණ දැනීම කිව්වේ බ්‍රහස්පතිට. සරස්වතී කිව්වේ ඒකයි. ගණ දෙවියෝ කිව්වේ ඒකයි. බ්‍රහස්පතිලා ඇතිවූ දවසට නැවත මේ රට සුරපුරයක් කිවේ ඒකයි.

 

 

පාරම්පරික ඡ්‍යොතිර්වේදී

ගුප්තවේදී මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.