විවාහයට ලැබෙන කෙනා දැන ගනිමු

අගෝස්තු 18, 2023

කෙනකු උපදින අවස්ථාවේ පිහිටි ග්‍රහයන්ගේ තත්ත්වයත්, එම ග්‍රහයන් තැන්පත්ව පිහිටි ස්ථානයත් ඔවුන්ගේ බල දුබලතා ග්‍රහ දෘෂ්ටි හා ග්‍රහ සංයෝගයත් අනුව තමන්ට හිමිවන සහකරුගේ හෝ සහකාරියගේ ස්වභාවය ඡ්‍යොතිෂයේ විවිධ ආකාරයෙන් සඳහන් කර ඇත. ඡ්‍යොතිෂය අනුව විවාහයක් ඉක්මන් කරන්නේ කුජ ග්‍රහයාත් සිකුරු ග්‍රහයාත් යන දෙදෙනාය.

විවාහයක් වාසනාවන්ත එකක් කරන්නේ ගුරු ග්‍රහයාත්, චන්ද්‍රයාත් දෙදෙනායි. විවාහයක් ප්‍රමාද කරන්නේ ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාත් කේතු ග්‍රහයාත්ය. රවි ග්‍රහයාත්, රාහු ග්‍රහයාත් යන දෙදෙනා වැඩි බලය ඇති පැත්තට සහාය දක්වයි. බුධ ග්‍රහයා මධ්‍යස්ථභාවයක් දක්වයි. විවාහය පිළිබඳව සලකා බැලීමේදී කේන්ද්‍රයේ හත්වැන්නත්, හත්වැන්නේ ත්‍රිකෝණ ස්ථාන වූ තුන්වැන්නේත් එකොළොස් වැන්නත් පරීක්ෂා කළ යුතු අතර, කේන්ද්‍රයේ දෙවැන්න හා අටවැන්න ද මේ සඳහා බලපෑමක් කරයි.

යම් අයකුගේ කේන්ද්‍රයේ හත්වැන්නේ ගුරු උච්චව බලවත්ව පිහිටියේ නම් එම අයගේ විවාහ ජීවිතය ඉතා වාසනාවන්ත වෙයි. කාන්තාවක් නම් ඇය මිල මුදල් දේපළ හිමි ඇත්තියක් වේ . තම ස්වාමිපුරුෂයාට ද කීකරුව ඔහුගේ අවශ්‍යතා සොයා බලා අවශ්‍යතාවන් සපුරාලන තැනැත්තියක් වෙයි. පුරුෂයකු නම් තම බිරිඳට ආදරයෙන් සෙනෙහසින් සලකන ඇයගේ සියලු අඩුපාඩුකම් සපුරාලන අයකු වෙයි. ගුණයහපත්කමින්ද පිරිපුන් අයක් වේ. මේ නිසා යහපත් යුග දිවියකට, සාර්ථක විවාහයකට එබඳු ග්‍රහ පිහිටීම් වැදගත් වෙයි.

සිකුරු, බුධ, ගුරු ආදි සෞම්‍ය ග්‍රහයෝ පළමුවැන්න, හතරවැන්න හත්වැන්න දහවැන්න ආදි කේන්ද්‍රස්ථානයක පිහිටි දෙවැන්න හා හත්වැන්න අධිපති ග්‍රහයෝ ස්වක්ෂේත්‍රව පිහිටා ඇති කේන්ද්‍ර හිමියෝ ද ඉතා වාසනාවන්ත යුගදිවිය ගත කරන්නෝ වෙති. අන්‍යෝන්‍ය දැඩි බැඳීමෙන් හා දැඩි ආදරයෙන් යුතුව ඔවුහු සැමදා යුගදිවි ගත කරති. මිල මුදල් සේම ගේ දොර ඉඩකඩම් ආදියෙන් ද අඩුවක් නැත්තේ වෙයි. යහපත් දූ පුතුන්ද ලැබ සැමදා සතුටින් ගත කරති.

කේන්ද්‍රයේ සත්වැන්න අධිපති ග්‍රහයා පාප ග්‍රහයන් සමඟ සංයෝගව දොළොස්වැන්නේ සිටියහොත් එබඳු අය ක්ෂණික කෝපයට පත්වන්නෝ වෙති. මෙම අයගේ විවාහ ජීවිතය අවුල් වියවුල්වලින් පිරුණ එකක් වෙයි. නැති වැරදි හදාගන්නා ඔවුන් සුළු දෙයකට පවා තදින් කෝප සහගත වේ. කුජ ග්‍රහයාත්, බුධ ග්‍රහයාත්, බ්‍රහස්පති ග්‍රහයාත්, චන්ද්‍රයාත් සංයෝගව යම් කාන්තාවකගේ කේන්ද්‍රයේ හත්වැන්නේ හෝ කටක රාශියේ යෙදී ඇත්නම් එබඳු කේන්ද්‍ර හිමි කාන්තාවෝ ඉතා රූමත් අය වෙති. දුටුවන් වශීකරන රූ සපුවකින් යුක්ත වේ.

යම් ස්ත්‍රියකගේ හත්වැන්නේ එක ශුභ ග්‍රහයකුගෙන් යුක්තව හෝ එක ශුභයකුගේ දෘෂ්ටි ලැබ තිබේනම් ස්වාමියාට පි‍්‍රය වේ. ශුභයන් දෙදෙනකුගෙන් යුක්තව හෝ දෙදෙනකුගේ දෘෂ්ටි ලැබ තිබේනම් ඇය ආචාර සම්පන්න වේ. ශුභයන් තිදෙනකුගෙන් යුක්තව හෝ තිදෙනකුගේ දෘෂ්ටි ලැබ තිබේනම් ඉතා යහපත් උසස් තැනැත්තියක් වේ. එක පාපියකුගෙන් යුක්තව හෝ දෘෂ්ටිය ලැබ තිබේ නම් ඇය අන් පුරුෂයන් දෙස බලන තැනැත්තියක් වේ. පාපයන් දෙදෙනකුගෙන් යුක්තව හෝ පාපයන් දෙදෙනකුගේ දෘෂ්ටි ලැබ තිබේ නම් ඇය ආචාරසම්පන්න නොවේ. පාපයන් තිදෙනකුගෙන් යුක්තව හෝ තිදෙනකුගේ දෘෂ්ටි ලැබ තිබේනම් ඉතා අයහපත් වේ.

සිකුරු උච්චව හතේ සිටියදී උපන් තැනැත්තිය නච්ච ගීතවාදිතයට පි‍්‍රයවූ යහපත් පෙනීමෙන් යුත් සියලු ආභරණ වස්ත්‍රාදියෙන් යුත් ස්වාමිපුරුෂයා පී‍්‍රතියෙන් පිනවන තැනැත්තියක් වන්නීය. ස්වාමිපුරුෂයාද එවැනිම අයකු වෙයි. ගුරු, සිකුරු දෙදෙනාගෙන් කෙනෙක් ලග්නය දැක සිටියදී බුධහු උච්චව අඟහරු මකරයේත්, සඳු කටකයේත් සිටි කල උපන් තැනැත්තිය රූප සම්පත්තියෙන් අනූන ගුණවත් බලවත් රජ බිසවක් හා සමාන සැප විඳින්නියක් වේ. ඉතා උසස් විවාහයක් වෙයි.

කුජ සඳු දෙදෙනා පමණක් එකට සිටීම ස්ත්‍රී කේන්ද්‍රයක අශුභ යෝගයක් ලෙස ඡ්‍යොතිෂයේ පෙන්වා ඇත. විශේෂයෙන් දුෂ්ට ස්ථානයක නම් එම නිවසින් ශි‍්‍රයාව බැහැර වන බව කියා ඇත. පුරුෂ කේන්ද්‍රයක වුවත් කුජ, චන්ද්‍ර‍්‍ර යෝගය පාප ක්‍රියා කිරීමටත් ඒ සඳහා මුදල් නාස්ති කිරීමටත් හේතු වේ. රවි හතේ සිටීම ද ස්ත්‍රී කේන්ද්‍රයක අශුභ පිහිටීමකි. ස්වාමිභක්තිය අඩුකරන දෙදෙනා අතර අසමගියට ද හේතුවේ.

මේෂ, වෘශ්චික, දෙකින් එකක චන්ද්‍රයා සිටියදී ලග්නයේ උදාවන ත්‍රිංශාංශකය අඟහරුගේම වූවොත් එකල උපන් තැනැත්ති ඉතා තද පරුෂ නපුරු ස්ත්‍රියක් වෙයි. ශනිගේ ත්‍රිංශාංශකය වුවහොත් පහත් ක්‍රියා කරන්නියක වෙයි. ගුරුගේ ත්‍රිංශාංශකය වුවහොත් ඉතා යහපත් වේ. සිකුරුගේ ත්‍රිංශාංශකය වුවහොත් කාම චේතනා අධික තැනැත්තියක් වේ.

ධනු මීන ලග්න දෙකින් එකක චන්ද්‍රයා සිටියදී ලග්නයේ උදාවන ත්‍රිශාංශකය ගුරුගේ නම් ගුණ නුවණින් යුක්ත ඉතා යහපත් තැනැත්තියක් වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.