ඔබට හිමි පේ‍්‍රම විවාහයක්ද?

ජූලි 14, 2023

ලොව ජනිත වන සියලුම සත්ත්වයන්ට ආදරය හෙවත් පේ‍්‍රමය හදවත තුළ ජනිත වීම ස්වභාවිකය. සමහරු ආදරය කර විවාහවන අතර, සමහරු යෝජිත විවාහයකට මුල්තැනක්දී විවාහයෙන් පසු ආදරයෙන් වෙලී දිවිගමන සතුටින් ගත කරති. කෙනකුගේ ජන්ම කේන්දරයේ ග්‍රහයන් පිහිටි ආකාරය අනුව ඔහුගේ හෝ ඇයගේ විවාහය සිදුවන්නේ කුමන ආකාරයෙන් ද යන්න පැහැදිලිව දැනගත හැකිය.

කේන්දරයේ පස්වැන්න පේ‍්‍රමය, ආදරය, ආලය නියෝජනය කරන ස්ථානයයි. එකොළොස්වැනි භාවය මිත්‍රත්වය, ඇසුර හා මිත්‍රයන් නියෝජනය කරයි. ග්‍රහයන් අතරින් සිකුරු පේ‍්‍රමය ආදරය නියෝජනය කරන අතර, සිත හෙවත් සිතිවිලිවල ස්වභාවය ප්‍රකාශ වන්නේ සඳුගෙනි. මෙසේ හෙයින් තරුණ, තරුණියන් පෙම් සබඳතාවලට යොමුවන කේන්දරයට අදාළ ස්ථාන වනුයේ පස්වැන්න හා එකොළොස්වැන්න වන අතර, ග්‍රහයන් වනුයේ සඳු සහ සිකුරුය.

පස්වැන්න පාප පීඩාවට පත්වූ විට පෙම් සබඳතා බිඳ වැටෙන හේතු යෙදිය හැකිය. සඳු, සිකුරු යෝග වී එකොළොස්වැන්නේ සිටි විට පෙම් සබඳතා ගොඩනංවා ගනී. ගුරුගේ දෘෂ්ටියට මෙම යෝගය අසු වුවහොත් උගත්, ධනවත් අයකු තම පෙම්වතා හෝ පෙම්වතිය වනු ඇත. හත්වැන්නාධිපති බලවත්ව හත්වැන්නේ සුබ තත්ත්වයෙන් පිහිටි විට නම් පෙම් සබඳතා තුළින්ම යුගදිවියට පිවිසෙන්නට වාසනාවන්ත වෙති.

පස්වැන්න අධිපතියා හත්වැන්නාධිපති සමඟ යෝගවීම, පුර සඳුගේ දෘෂ්ටියට ලක්වීම, පෙම් බැඳුම් කෙරෙහි සුබවාදී වූ ග්‍රහ පිහිටීමකි. මොවුන් යුග දිවියට පිවිසෙන්නේ ආදරය, පේ‍්‍රමය තුරුලු කරගෙනය. පස්වැන්නාධිපති හෝ සඳු, සිකුරු යෝග බලයෙන් සිටියදී රාහු අඟහරු වැනි පාප ග්‍රහයන් සමඟ එක්වූ විට හෝ දෘෂ්ටි ලැබූ විට පෙම් සබඳතා ස්ථිර නොවේ.

හත අධිපති සිවුවැන්නට යයිද, සිවුවැන්න අධිපති එකොළොස්වැන්නේ පදිංචි වී නම් ඔබ ඉතා භාග්‍යවන්තයෙක් හෝ භාග්‍යවන්තියක් වෙයි. එවැනි ග්‍රහ පිහිටීම් ඇති අයගේ ද විවාහය සිදුවන්නේ ආත්ම ගණනාවක් පෙරුම් පුරා පැතූ අයුරින්ය. මෙහිදී තම පෙම්වතිය හෝ පෙම්වතා හමුවන්නේ තම නිවෙසේදී හෝ එසේ නොමැති නම් අතරමඟදී හෝ වාහනයකදී හෝ විය හැකිය. විශේෂයෙන් මංගල උත්සවයකදී විය හැකියි. කෙසේ හෝ හත්වැන්නාධිපති සිවුවැන්නේ හිමිකාරයා වෙයි නම් එම හමුවීමද පෙර අත්භවයකදී සිට පතන්නාවූ හමුවීමක් පෙන්නුම් කරයි. එය කිසිම බලවේගයකට හෝ බලපෑමකට වෙනස් කළ නොහැකි වෙයි. එය පුදුම හමුවීමක් ලෙස පෙන්නුම් කරයි. මෙවැනි යෝග බලය ඇතිව විවාහ වුවහොත් ඉදිරි ජීවිතයද සියලු යස ඉසුරින් පිරී එකක්වනු ඇත.

සිවුවැන්නාධිපති හත්වැන්නාධිපති සුබ ග්‍රහයන්ව දර්ශනයෙන් යුතුව සිවුවැන්නේ ජනිත වුවහොත් එයද නළලත මහබඹු මැවූ පරිදිම සහකාරිය සහකරු හමුවී සතුටින් පිරි පී‍්‍රතිමත් ජීවිතයක් ගත කිරීමට හේතුවන කරුණක් වේ. ඔවුන් අතර බැඳි සෙනෙහස ආදරය වියපත්වූ විටත් එලෙසම පවතී.

හත අධිපති තිර රාශියක නම් ද ස්ථිර ආදරයෙන් ජීවිතාන්තය දක්වා සමඟි සම්පන්නව සිටිය හැකි යුග දිවියක් වනු ඇත. හත්වැන්නාධිපති පස්වැන්නාධිපති සමඟ නම් එයද පේ‍්‍රම සම්බන්ධයක් මත සිදුවන විවාහයකි.

ලග්නාධිපති බලයෙන් යුතුව හත අධිපති සමඟ නම් තමාගේ තත්ත්වයට වඩා උසස් උගත් අයකු සමඟ විවාහයට පත්විය හැකිය. හත අධිපති බුධ සමඟ යෝගවී නම් සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වන තම බසට අවනතවන අයකු විවාහයට ලැබෙනු ඇත.

හත අධිපති දහය අධිපති සමඟ නම් රැකියා කටයුතුවලට ද බොහෝ සහායක් ගෙන දෙන ඉක්මනින් විවාහයේ දියුණුව ගෙන දෙන කෙනකු සමඟ විවාහ වීමට ලැබෙනු ඇත. හත අධිපති ගුරු සමඟ යෝගවී නම් නැණවත්, ධනවත් ඉවසිලිමත් අයකු විවාහයට හිමිය. හත අධිපති ලග්නයේ නම් තමන්ට බොහෝ ආදරය ඇති සහකාරයෙක් හෝ සහකාරියක් ලැබෙනු ඇත. එහෙත් ඇය හෝ ඔහු වෙනත් සම්බන්ධකම් ද ඇති කර ගැනීමට බොහෝදුරට ඉඩ ඇත. පස්වැන්න වෘශ්චික රාශිය වී අඟහරු එහි තැන්පත්ව සිටින විට සිකුරු, අඟහරු හා සඳු යන ග්‍රහයන් තිදෙනාගෙන් එක් අයකුගේ හෝ දෘෂ්ටියට ලක්වූ විට ඔවුහු විනෝදය සඳහා පෙම් සබඳතා ඇතිකර ගන්නා අය වෙති. බුධ, සඳු, කුජ හත්වැන්න නියෝජනය කරන එකොළොස්වැන්නේ රාහු තැන්පත් වීම පෙම් සබඳතාවන්ට නිතර, නිතර බාධා ගෙන දෙන ග්‍රහ පිහිටීමක් ලෙස දැක්වේ. සත්වැන්න අධිපති ග්‍රහයා බලවත් නම් එවැනි පිහිටීම් ඇති කේන්දර හිමියන්ගේ පෙම් සබඳතාවන්ට වැඩිහිටි අයගේ කැමැත්ත ලැබෙයි. පස්වැන්නාධිපති දුබලනම් නොයෙකුත් විරුද්ධතාවන් ඇතිවේ. ගුරු හත්වැන්නේ සිටින විට පෙම් සබඳතා තරමක් අවුල් සහගත වන අතර, කෙසේ හෝ දෙවෙනි අවස්ථාවේ ජයග්‍රහණය ලබයි.

සඳු, බුධ, කුජ යන ග්‍රහයන් පස්වැන්නේ සිටීම යොවුන් වියේ පටන්ම පෙම් සබඳතා පවත්වාගෙන ගොස් විවාහයට පත්වනු ඇත. එහෙත් විවාහය සිදුවන්නේ බලවත්ව සිටින ග්‍රහයාට අනුවය. හත්වැන්න අධිපතියා පස්වැන්නේ සිටීනම් විරුද්ධතාවයෙන් තොරව පෙම් සබඳතා පවත්වාගෙන ගොස් විවාහයට පත්වනු ඇත. දහය, එකොළහ යන ස්ථානවල ගුරු සිටීම ද පේ‍්‍රමයෙන් ජයග්‍රහණය කරන පෙම් සබඳතාවන් පෙන්නුම් කරයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.