සෙනසුරු කුම්භයේ වක්‍ර වෙයි

ජුනි 16, 2023

නොසන්සුන්තා වැඩි වේ

හදිසි අනතුරු ඉහළ යාමක්

සොර සතුරු කරදර උග්‍රවේ

මත් උවදුර හිස ඔසවයි

පරිසරයේ අඳුරු බව තවදුරටත්

බෝවන රෝග ව්‍යාප්තියේ ශීඝ්‍ර වැඩි වීමක්

 

සෙනසුරු 2023 ජනවාරි මස 17 වැනි දින තම ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ රාශිය වන කුම්භයට පැමිණ රටට ජනතාවට සහන සපයමින් සිටියදී මාස පහකට පසුව එනම් 2023 ජුනි 18 වන දින යළි වක්‍ර වෙයි.

සෙනසුරු කුම්භ රාශිගත වීමට පෙරද රටට ජනතාවට යම් යම් අසුබවාදී ක්‍රියාකාරකම් සිදු කරමින් සිටි අතර, කුම්භ රාශියේ බලවත් වෙමින් සිටියදී යම් සුබවාදී තත්ත්වවලට අනුබල දීමට සමත් විය. එහෙත් මේ වක්‍ර වීම නිසා කිසියම් ආකාරයක අසුබවාදී තත්ත්වයක් තුළ අතීතයේ අඳුරු සෙවණැලි යළි මතු වීමට ඉඩ තිබෙන්නට පුළුවන.

සෙනසුරු සූර්යයාගෙන් වඩාත්ම ඈතක සිටින ග්‍රහයා වුවද පෘථිවියට ලබාදෙන ආකර්ෂණය වැඩිය. එසේ වන්නේ සෙනසුරු මන්දගාමී ග්‍රහයකු වීම නිසාය. දිනකට අංශකයකටත් වඩා අඩු දුරක් ගමන් කරන සෙනසුරු විකලා 5ක් හෝ 6ක් පමණ ගමන් කරයි. තවද දිනකට පැය 10 කට පමණ කෙටි කාලයකදී තමා වටාම පරිභ්‍රමණය වන සෙනසුරුගේ සියලුම පැතිවල ආකර්ෂණය පෘථිවියට හා එහි වෙසෙන ජීවීන්ට එල්ල වන නිසා කොහොමත් සෙනසුරු අන් ග්‍රහයන්ට වඩා සුවිශේෂී වෙයි.

ඡ්‍යොතිෂයේද සෙනසුරු ඉතා පාප ග්‍රහයකු ලෙස සලකයි. ඒ අනුව සෙනසුරු පීඩිතව සිටින කේන්ද්‍ර හිමියකුට එකී සෙනසුරු මහ දසාව ලැබූ විට අත පය කඩා දමන බවත් රැකියා ආර්ථිකය බිඳ වට්ටන බවත් බොහෝ අය තුළ විශ්වාසයක් පවතී. එලෙස සෙනසුරු විනාශකාරී කටයුතු කරන ග්‍රහයකු වුවත් සෙනසුරු බලවත්ව කිසිවකුගේ කේන්ද්‍රයේ පිහිටි කල ඉතා ශීඝ්‍ර දියුණුවකට පත් කරයි. පංච මහා යෝගයට අයත් ‘සස’ යෝගයද සෙනසුරු විසින් ඇති කරන්නකි.

ජන්මියකුගේ කේන්ද්‍රයට අනුව සෙනසුරු ඒරාෂ්ටක අපල 4ක් පිළිබඳ විග්‍රහ වෙයි. චන්ද්‍ර ඒරාෂ්ඨකය කෙනකුගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා සිටින රාශිය හරහා යාමයි. ලග්න ඒරාෂ්ටකය වසර හත හමාරක් පුරා කේන්ද්‍රයේ 12 වැන්න 01 වැන්න හා 02 වැන්න හරහා ගමන් කිරීමයි. අෂ්ඨම ඒරාෂ්ටකය කේන්ද්‍රයේ 8 වැන්නේ ගමන් කිරීමයි. චන්ද්‍රාෂ්ටම ඒරාෂ්ටකය කේන්ද්‍රයේ චන්ද්‍රයා සිටින රාශියේ සිට 8 වැන්නේ සෙනසුරු ගමන් කරන කාලයයි. අවුරුදු 80ක් පමණ ජීවත් වන කෙනකුගේ කේන්ද්‍රයේ මෙම ඒරාෂ්ටක හතරම හෝ පොදුවේ සෑම කෙනෙකුටම මින් එකක් හෝ දෙකක් අනිවාර්යයෙන්ම යෙදෙනු ඇත. මෙවන් වූ සෙනසුරු අපට යම් යම් අතීත මතකයන් සිහිගන්වමින් වක්‍ර ගමනේ යෙදී 2023 නොවැම්බර් 04 වන තෙක් තවත් මාස 5ක පමණ කාලයක් අපට අරියාදුකම් කිරීමට හේතුවනවාට සැකයක් නැත.

සෙනසුරු රෝග කාරක මෙන්ම පීඩිත ජනතාව නියෝජනය කරන ග්‍රහයාය. 2021 වසරේ මකරයේ ගමන් කරමින් සිටියදී මැයි 23 දා වක්‍ර විය. ඒ කාලය තුළ කොරෝනා ව්‍යසනය උග්‍ර වී ලෝකවාසී ජනතාව පීඩාවට පත්වූ අතර 2021 ඔක්තෝබර 11 දා නිවෘතවන තුරුම ව්‍යසනකාරී අයුරින් හැසිරිණි. 2022 අපේ‍්‍රල් 29 කුම්භයට පැමිණි සෙනසුරු ඒ වසරේ ජුනි 04 වක්‍ර විය. එය බොහෝ අරගලකාරී ස්වභාවයක් ඇති කිරීමට හේතු විය. මෙවරද සෙනසුරු වක්‍රය නිසා එවැනි අත්දැකීම්වලට පසුබිමක් සකස්විය හැකිය.

ඒ අනුව ජනතාව අතර නොසන්සුන්තා, ආගම් අතර මතවාද, ජනතාවට දුන් සහනවල සීමාවීම් කාම අපරාධ රැල්ල වැඩිවී යාම, හදිසි අනතුරුවල ඉහළ යාමක්, සොර සතුරු උවදුරින් ජනතාවට අසහන විදෙස් අත පෙවීම් වැඩි වීම, මත් උවදුර ආදිය කිසියම් පමණකින් උග්‍රවීම, පරිසරයේ අඳුරු බව ඉදිරියටත් පැවතීම හා බෝවන රෝගවල ව්‍යාප්තිය ඉහළයාම වැනි සමාජ පීඩාකාරී තත්ත්වයන් වැඩි වන බවක් පෙනෙන්නට තිබේ. එබැවින් සියලුදෙනා කල්පනාකාරීව කටයුතු කිරීම ගැටලුව සුබවාදීව නිරාකරණය කරගැනීමට හේතු වේ. අසුබ තත්ත්වයන්ගෙන් මිදීමට තම තමාගේ ආගමානුකූල කටයුතු කිරීම යහපත් වේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.