පෙබරවාරි 15 දින සිට මාර්තු 12 වැනි දින තෙක් මිථුන-කන්‍යා-ධනු-මීන ලග්නවලින් උපදින දරුවන්ට මාලවී යෝගය

ලග්න රැසකට සුබපල
පෙබරවාරි 10, 2023

2023.02.15 දින රාත්‍රී 08.03ට ග්‍රහලොව සුකුමාලිය වූ සිකුරු ග්‍රහයා ගුරු හිමි මීන රැසට පැමිණ මාලවි නම් පංච මහා පුරුෂ යෝගය ලබා 2023-03-12 දින තෙක් එහි ගමන් කරනු ඇත. මේ වන විට මීන ලග්න අධිපති ගුරු ග්‍රහයා ද මීන රැසෙහි ස්වක්ෂේත්‍ර බලය ලබා එහි ගමන් කරනු ලබයි. සිකුරු ගුරුගේ පුත්‍රයා වේ. මෙම දෙදෙනා නෛසර්ගික සතුරන්ය. එසේ වුවද මේ දෙදෙනා නෛසර්ගික සුබ ග්‍රහයන් ද වෙයි. සිකුරු මීන රැසේ සිටින කාලය තුළ මීන, මිථුන, කන්‍යා හා ධනු ලග්නවලින් ජනිත වන පින්වත් දරු දැරියන්ගේ කේන්දරවල මාලවී නම් පංච මහා පුරුෂයෝගය පිහිටනවා ඇත. සිකුරු මීන රැසට පැමිණෙන අවස්ථාවේ බුධ හිමි කන්‍යා ලග්නය හා මකර නවාංශකය ලබා තිබේ. සඳු 3 වැන්නේ වෘශ්චික රැසෙහිය. 5 වැන්න මකර රැසේ බුධය. රවි, ශනි, නැප්චුන්, 6 වැන්නේය. සත් වැන්නේ ගුරු - සිකුරුය. යුරේනස් අට වැන්නේ සිටින අතර 9 වැන්නේ අඟහරු ද සිටියි. මෙම ග්‍රහ තත්ත්වයන් දෙස බලන විට සුබා සුබ මිශ්‍රපල ලැබෙන බව පෙනේ. ආර්ථික වශයෙන් රට පත්ව තිබෙන බැරෑරුම් තත්ත්වය තවදුරටත් පවතින අතර විදේශයන්ගෙන් අපේක්ෂා කරන මුල්‍යමය සහාය ණය පහසුකම් ඉදිරි කාලයේ දී ලැබීමට අවස්ථාව බොහෝ විට උදාවනවා ඇත. දුම්රිය අංශවල වැඩකටයුතු ප්‍රතිසංවිධානය වෙයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවත්නා අඩුපාඩු කම් මඟ හරවා ගැනීමට ඉඩකඩ ලැබෙනු ඇත. සෞඛ්‍ය සේවාවේ වැඩි දියුණුව පිණිස නව වැඩ පිළිවෙළක් විද්‍යමාන වෙයි. විදේශීය සහසම්බන්ධතා තරවේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා නව මං විවර වේ. සොර, සතුරු දූෂණවලට ගොඳුරු වූවන් නීතියේ රැහැනට. ගිනි ගැනීම්, හදිසි නාවුක අනතුරු,හදිසි මරණ, මාර්ග අනතුරු වැඩිවේ. අභිරහස් මරණ තොරතුරු හෙළිවෙන කාලයකි.

 

මේෂ - සිකුරු උච්චව මාලවි යෝග ඇතිව 12 වැන්නට පැමිණ ගමන් කරන අතර 7-2 අධිපති වෙයි. 9-12 අධිපති බ්‍රහස්පති ද මේ වන විට මීන රැසෙහි ගුරු හංස යෝග ඇතිව ගමන් කරනු ඇත. මේ ශුභ ග්‍රහ දෙපළම එක්ව ගමන් කිරීම බොහොම කලාතුරකින් සිදු වන්නකි. විදේශ ගමන් යාමට අදහස් කර සිටින අයට ශුභ වන අතරම විදේශ ධනය ලැබීමට ද ඉඩ තිබේ. භාග්‍යය ගෙන දේ. ප්‍රර්ථනා ඉටුවෙයි.

වෘෂභ - 11 වැන්නේ යෙදී තිබෙන යෝගය ඉතා බලවත්ය. ලාභ සත්කාර ගෙන දේ. ආදායම් මාර්ග සපුරාලයි. රැකියා උසස්වීම්ද මංගල කටයුතුද සාර්ථක වේ. ඉවසීම ඇතිව ධාර්මිකව දියුණුව සලසා ගන්න. පවුලේ කටයුතුවලදී කලබල නොවී සිටීමට උනන්දු වන්න.

මිථුන - දස වැන්නට සිකුරු බලවත්ව පැමිණීම ඉතා යහපත් වේ. මේ වන විට බාධක ගුරු ද එහිම වේ. සිකුරු මීන රැසෙහි මාලවී රාජයෝග ලැබීම මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලින් ජන්ම ලාභ ලබන දරු දැරියනට විශේෂිත වේ. රැකියා ලාභ, ආර්ථික ලාභ ඇතිවේ. අන් අයගේ ගරු සැලකිල්ල ලබයි. තරග විභාග ජය හිමි වේ.

කටක - භාග්‍යස්ථානය මෙන්ම ධර්මස්ථානයද 9 වැන්නයි. මේ අයගේ සිතුම් පැතුම් සපලවේ. විදේශ ගමන්ද විදෙස් ධනය ලැබීමද සිදුවේ. විවාහ මංගල්‍යයන්ට ඉඩ ප්‍රස්ථාව සැලසේ. මිත්‍ර ලාභයි. හවුල් ව්‍යාපාරවලටද යෝග්‍යයි. අපේක්ෂිත පරිදි ජීවන ගමන්මඟ හෙළි පෙහෙළි වේ.

සිංහ - 10 - 3 ස්ථානාධිපති සිකුරු අටවැන්නට පැමිණ ගමන ආරම්භ කරයි. 5 - 8 අධිපති හා එක්වීමද නරක නැත. දෙදෙනා සතුරු වුවත් බලවත් බැවින් ශුභඵල දානය කෙරේ. නමුත් අපේක්ෂා කළ දේ ප්‍රමාද වී හෝ ඵල නෙළාගත හැකි වේ.

කන්‍යා - සත්වැන්නේ යෙදෙන යෝගය ශුභඵල දානය කරයි. බලාපොරොත්තු ඉටු කෙරේ. ලාභ සත්කාර ලැබේ. නව ව්‍යාපාර ඇරඹීමට හොඳම කාලයයි. විදේශ ධනයද ලැබේ. විවාහ මංගල කටයුතු සපල වේ. දියුණුවට තිබූ බාධක ඉවත් වේ.

තුලා - ලග්නාධිපති සිකුරුගේ බලවත්වීම තම වර්ගයා අතර දීප්තිමත්ව බැබළීමට පුළුවන් වේ. ගරු සැලකිලි ලබයි. සතුරන් මිතුරු වේ. වරප්‍රසාද අත්වේ. රැකියා උසස්වීම් ලබාදේ. ආදායම් තත්ත්වය ඉහළ යයි. තිබූ ලෙඩ රෝග සුවපත් වේ.

වෘශ්චික - 7 - 12 අධිපති සිකුරු 2 - 5 අධිපති ගුරු හා එක්ව මීනයේ හැසිරෙන කාලය තම අධ්‍යාපන කටයුතු ඉහළට නංවාලයි. විදේශ ගමන් අපේක්ෂා කරන අයට ඒවා ඉටු කරදේ. පෙර පින් පලදෙන කාලයයි. තරග විභාග ජය අත්වේ. හොඳ සහකරුවකු හෝ සහකාරියක් ලබාදේ. ආර්ථිකය යහපත් වේ.

ධනු - රාජ යෝග ඇතිව 4 වැන්නේ දිග් බලයෙන් ගමන් ආරම්භ කරන සිකුරු තම අභිලාෂයන් සම්පූර්ණ කර දෙයි. යාන වාහන ඉඩ කඩම් ලාභ ඇති කරයි. මවුපස ඥාතීන්ගේ උරුම ලබාදේ. මෙතෙක් තිබූ බාධා කරදර ඉවත් වේ. බන්දු මිත්‍රාදීන්ගේ ලාභ සත්කාර හිමි වේ.

මකර - 5 - 10 හිමි සිකුරු උච්චව 3 වැන්නේ ගමන තම සිතුම් පැතුම් සපල කරදීමට පෙරමුණ ගනී. රැකියා දියුණුවද තරග විභාග ජය ද සහෝදර පක්ෂයේ උදව් උපකාර ද හිමිවේ. පවුලේ මෙතෙක් පැවැති මතභේද දුරලයි. අලුතෙන් යමක් කිරීමට සිතයි.

කුම්භ - දෙවැන්නට සිකුරු පැමිණ ගමන් කිරීම වාසනාව පාදා දෙයි. පවුලේ දියුණුව සැලසෙයි. මෙතෙක් පැවැති බාධා ඉවත්ව යයි. නව ව්‍යාපාරාදියට සිත් යොමු වේ. ඒවායේ දියුණුූවක් ඇතිවේ. විවිධ භාෂා ඉගෙනීමට අවසස්ථාව ලැබේ.

මීන - ලග්නාධිපති ගුරු හා එක්ව උච්ච බල සහිත සිකුරු ලග්න ගතවීම ශුභ වේ. බලවත් නෛසර්ගික ශුභ ග්‍රහ දෙපළක් තම දියුණුව පිණිස මං පෙත් විවර කරදෙයි. දැහැමි පිළිවෙතට පත්වීමෙන් ලැබෙන ලාභය දෙගුණ තෙගුණ කරදෙයි. පැතුම් ඉටුවේ. ප්‍රභූ උදව් උපකාර අත්වේ.

 

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී

වැලිගම

කේ.එච්. ධනපාල 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.