කුම්භ ලග්නයෙන් උපන් ඔබ ගැනයි

චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි.
පෙබරවාරි 3, 2023

 

රාශි චක්‍රයේ එකොළොස්වන රාශිය වන කුම්භ රාශිය කලගෙඩියක් අතින් ගත් මිනිසකුගේ රුව සංකේතවත් කරයි. රාශි චක්‍රයේ ඇති රාශි දොළහ එකිනෙකට වෙනස් ගති ස්වභාවයෙන් යුක්ත වූවත් ඒ හැම පොදු වෙනස්කම් අභිබවා යන එකම රාශිය කුම්භ ලෙස දැක්විය හැක. එම රාශියටම ආවේණික වූ ගුප්ත ස්වභාවයක් මෙම රාශියට හිමි ය. කුම්භ රාශියට ශනි හෙවත් සෙනසුරු අධිපති වුවද මෙය යුරේනස් ග්‍රහයාට ද හිමි රාශියක් වශයෙන් ද හඳුන්වනු ලබයි.

 

චරිත ලක්ෂණ

මධ්‍යම ප්‍රමාණයෙන් යුත් ශරීරයක් හිමි කුම්භ ලග්න හිමියන් දුටුවන් පි‍්‍රය උපදවන පි‍්‍රය මුහුණක් හිමිවෙයි. වර්ණවත් හිසකෙස්වලින් යුත් ඔවුන් කාරුණික පෙනුමකින් යුක්ත වේ. කුම්භයේ අධිපතිකමට සෙනසුරු සිටින බැවින් ශනිගෙන් කියැවෙන දුර්විපාක ප්‍රදානය කිරීමෙහිලා කුම්භය අන්හැම රාශයකටම වඩා ප්‍රමුඛවෙයි. යුරේනස් ග්‍රහයා ස්වභාවයෙන් ගතානුගතිකත්වය නුරුස්සන විප්ලවකාරී මෙන්ම සංශෝධනවාදී ග්‍රහයෙකි. තේරුම් ගැනීමට අපහසු විවිධ බලපෑම් යුරේනස්ගෙන් කෙරෙන බැව් සත්‍යයකි. එමෙන්ම විනාශකාරී තත්ත්වයන්ටද අධිපතිකම් කරන්නේ මෙම ග්‍රහයා ය. නව සොයා ගැනීම් ආදිය කෙරෙහිද ඔහුගෙන් පිටුවහලක් ලැබෙයි. කුම්භ රාශියෙන් ජනිත වූවන්ගේ වාසනාව බෙහෙවින් රඳා පවතිනුයේ ගුප්ත ගවේශණ යෝගී ක්‍රම, ඡ්‍යෝතිෂ විද්‍යාව, හා සාහිත්‍ය කලා ආදිය සම්බන්ධ දේ් මතය. යුරේනස් ග්‍රහයා ගුප්ත ස්වභාවයන්ට සහ අභිරහස් වැඩවලට අධිපතිකම දරන බැවින් ඔහුගේ අධිපතිකම් දරන කුම්භ රාශියෙන් එකී ස්වභාවයන් විද්‍යාමාන වීම ස්වභාවිකය.

රැකියාව

කුම්භ රාශියෙන් උපන් අය මුළුමනින්ම ලෞකික අදහස් ඇති අය ලෙස පෙන්නුම් කළද ඔවුන් අතර ප්‍රසිද්ධ ලේඛකයන්, දාර්ශනිකයන්, පඬිවරුන්, සාහිත්‍යධරයන්, සදාචාරවාදීන් සහ විප්ලවාදීන්ද සිටියි. ඉවසීම, නිශ්ශබ්දතාවය, ආත්ම දමනයෙන් යුත් ඔවුන් නොයෙකුත් දේවල් දැන ගැනීමටද බලවත් උනන්දුවක් දක්වයි. කුම්භ රාශිය මනුෂ්‍ය රාශියක් බැවින් ආත්මාර්ථකාමී ගතිය අඩුය. ඉක්මන්කාරීබව, කඩිසරකම කියා දෙයක් කුම්භ ලග්න හිමියා නොපිළිගනී. යමක් ඉගෙන ගන්නවා නම් උඩින් පල්ලෙන් නොව ඒ දේ ගැන සියලුදේම ඉගෙන ගැනීම ඔවුන්ගේ සිරිතය. ආත්මාර්ථකාමී බව අඩු නිසා තමා පමණක් දියුණුවීමෙන් ඔවුන් සෑහීමකට පත් නොවේ. අන් අයගේ දියුණුව හා අයිතිවාසිකම් ලබාදීමට ද උනන්දු වෙයි.

ගතිගුණ

නිතර නිතර එක දෙයක් ගැන සිතීමටත්, කරනදේ අමතක නොකර තබා ගැනීමටත් ඔවුන්ට හැකියාව ඇත. බාහිරව පෙනෙනවාට වඩා යහපත් ගතිගුණ හදවත ඇතුළත තිබෙන කෙනෙක් වෙයි. හිත කය සම්පූර්ණයෙන්ම කරන කාර්යයෙහි යොදා ක්‍රියා කිරීමට ධෛර්යයක් ඇත. බොහෝවිට කුම්භ ලග්න හිමි අය ජයග්‍රහණය ලබන්නේ අන්තිමේදී ය. තමාගේ අයට වැඩි ඇල්මක් ඇති අයෙක් වෙයි. මෙය ශනිගේ රාශියක් වූයේ වී නමුත් මකර ලග්න හිමියාමෙන් ආත්ම ලාභයට, ප්‍රධානත්වයට ආශා නොකරයි. එම නිසාම මහජන ප්‍රසාදය දිනා ගනී.

කුම්භ ලග්න හිමියෝ අනාථ මඩම්, සිරගෙවල්, ආරෝග්‍යශාලාදියට උදව් කිරීමට බොහෝවිට පෙළඹේ. එම ස්ථානවල දුක් විඳින්නන්ට ඇප උපකාර කරයි. කුම්භ ලග්න හිමියන්ගේ දුර්වලකම් ලෙස පෙනෙන්නේ තනිව විවේකීව ජීවත්වීමට තිබෙන ආශාව නිසා කටයුතුවල නොයෙදෙන අඳුරු කාලවලට මුහුණපාන්නට සිදුවීමත්, ඉදිරියට යන ගතිය අඩුකමත්, ලෞකික දේවලට හිත යොමු නොකිරීමත්, සමහරවිට ඇතිවන අලස ගතියක් වෙයි.

කුම්භ ලග්න හිමියකුගේ කේන්ද්‍රයේ 1, 4, 7, 10 ශනි සිටි කල සස යෝගය යෙදෙන බැව් පත පොතෙහි සඳහන් වෙයි. ලග්නාධිපතියා ලග්නයේ ගමන් කරන කල ඉතාමත් ඉවසීමෙන්, බුද්ධිමත්ව කටයුතු කරන මේ අය කරදර බාධකවලදී නොසැලී ක්‍රියා කරයි. තමාගේ අරමුණු සාර්ථක කර ගැනීම දක්වාම ගමන් කරන මොවුන් වැඩිහිටි අවවාද, ආගමික අනුශාසනා පෙරදැරි කරගෙන කටයුතු කරන අතර සමානාත්මතාවයද ඉතා අගය කොට සලකයි. විශේෂයෙන් මේ අය අහිංසක අය කෙරෙහි දැඩි ඇල්මක් දක්වයි. ඔවුන්ට කළහැකි හැම උපකාරයක්ම ඉටු කරයි.

ලග්නාධිපති දෙවන රාශියේ නම් උසස් ගුණවත් බවින් පිරිපුන් මේ අය ආගමික අතින්ද දැනුම ලබා සිය ජීවිත සපල කර ගන්නා අතර, උසස් බුද්ධිමත් අයගේ ආශ්‍රය ගරුකොට සලකයි. ලග්නාධිපති තුන්වන රාශියේ නම් බොහෝවිට කපටිකමින් අන්‍යයන් රවටා තමාගේ කටයුතු සාර්ථක කරගනී. කුමන ක්‍රමයකින් හෝ මිල මුදල් උපයා ගැනීමට වෙහෙසෙයි. අන්‍යයන් කෙරෙහි ඊර්ෂ්‍යාව ඇති කරගෙන කටයුතු කරයි. නමුත් සමාජයේදී යහපත් අයකු ලෙස සිටීමට උත්සාහ කරයි. ලග්නාධිපති හතරවැනි රාශියේ නම් නවීන විලාසිතාවන්ට සිත් යොමුකරයි. පරිසරයට ආදරය කරයි. ඉතිරි කිරීමට දක්ෂ අය වෙති. ලග්නාධිපති පස්වැනි රාශියේ නම් ඉතා දූරදර්ශී නුවණකින් යුක්තය. ලග්නාධිපති හය වැන්නේ නම් ඉතා සරල ජීවිතයක් ගෙන යයි. නිහඬබවින් යුතු ඔවුහු හික්මීම ඇති අයද වෙති. ලග්නාධිපති හත්වැන්නේ නම් එඩිතරය. කිසිම විටෙක අන් අයට කරදර බාධා නොවන පරිදි යුක්තිය, සාධාරණය හොඳින් වටහාගෙන කටයුතු කරයි.

විවාහය

විවාහ ජීවිතය ඉතා වාසනාවන්තය. ලග්නාධිපති අටවැනි රාශියේ නම් ඉවසීමෙන් කටයුතු කරයි. විශේෂයෙන් දරුවන්ගේ හා කාන්තාවන්ගේ ආදරය, කරුණාව ලබා ගැනීමට වාසනාවන්ත වේ. ලග්නාධිපති නව වැන්නේ නම් මෙය සෙනසුරුට ඉතා බලවත් රාශියකි. මේ අය බොහෝවිට සත්‍යවාදීන් වේ. අන් අයගේ දුක, වේදනාව හොඳින් අවබෝධ කරගත් අය වෙති. ලග්නාධිපති දහවැන්නේ නම් ඉතා කඩිසරය. කතාවටද දක්ෂය. සමාජ කටයුතුවල යෙදීමෙන් මහත් ප්‍රසිද්ධියක් හා ගෞරවයක් ලබා ගැනීමේ වාසනාව ඇත. සිය වෘත්තියේ අගය ආරක්ෂා කර ගනිමින් සේවා ස්ථානයේ දියුණුවද විනයද හොඳින් ආර්ෂා කරයි. ලග්නාධිපති එකොළොස්වැන්නේ නම් ඉතා බුද්ධිමත්ය. නිරහංකාරගතිය, තැන්පත්කම මතුපිටින් පෙනී ගියත් ඒ අයගේ යටිහිත අහංකාරය. ලග්නාධිපති දොළොස් වැන්නේ නම් ඔවුනට දුක, වේදනාව ඉවසා කටයුතු කිරීමේ හැකියාව ඇත. උගත් දෙයින් උසස් ප්‍රතිඵල ලබා ගනී. රැකියාවේ ඉහළම තත්ත්වයට යෑමට තරම් ඔවුන් වාසනාවන්තය. කුම්භ ලග්න හිමියන්ට විවාහවීමට සුදුසු වනුයේ මිථුන හා තුලා ලග්න හිමි අයයි. එම අය හා විවාහවීම විවාහ දිවිය වඩාත් සාර්ථක වීමට හේතුවනු ඇත. කුම්භ ලග්න හිමියන්ට වැළඳෙන රෝග වනුයේ හෘද රෝග, හමේරෝග, ඇස්වල ආබාධ ආදිය වේ. ශුභ දවස් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා වේ. ශුභ අංක 3, 8, 9 වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.