උදරාබාධ ඇති කිරීමට හේතු වන ග්‍රහ පිහිටීම්

පෙබරවාරි 3, 2023

අතීතයට වඩා වර්තමාන සමාජයේ ජීවත් වන ජනතාව උදර ආබාධවලින් පීඩා විඳිති. එයට හේතුව නම්, කාර්යබහුල ජීවිතයක් ගත කරන වර්තමාන සමාජයේ ජනතාව විවිධ රසකාරක යොදා පිසිනු ලබන ක්ෂණික ආහාර අනුභවය කිරීමට සහ නිතර නිතර කිරි තේ සහ රසායනික ද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන ලද සිසිල් බීම පානය කිරීමයි. ඉහත කී ආහාරපාන වර්තමාන සමාජයේ ජීවත් වන ජනතාව පරිභෝජනය කිරීම නිසා වැඩි දෙනෙක් ගෑස්ටි‍්‍රක් හෙවත් අම්ල පිත්ත රෝගයෙන් පීඩා විඳිති. මෙලෙස වර්තමාන සමාජයේ ජීවත් වන ජන සංඛ්‍යාවෙන් වැඩි දෙනෙක් උදර රෝගවලින් පීඩා විඳින හෙයින්, ඔසුහල්වල අන් රෝගවලට වඩා උදර රෝග සඳහා ඇති බෙහෙත් සංඛ්‍යාව වැඩිය. එමෙන්ම එම බෙහෙත් සඳහා ඇති ඉල්ලුමද ඉහළය.

අප මාතෘකාවට අනුව උදර රෝග වැලඳීමට හේතු භූත වන ග්‍රහ පිහිටීම් ගැන කරුණු විමසා බැලීමේදී ලග්න කේන්දරයක උදරය නිවේදනය කෙරෙන භාව දෙකක් වන 5 වැන්නත් 6 වැන්නත් එහි අධිපතියනුත් විශ්ව කේන්දරය වන මේෂ ලග්නයේ හෘද වස්තුව මෙන්ම ආමාශය නිවේදනය කරන 5 වැන්න වූ සිංහ රැසත් එහි අධිපති රවිත් ආහාර ජීර්ණය වන බඩවැල නිවේදනය කෙරෙන 6 වැන්න වූ කන්‍යා රැසත් එහි අධිපති වන බුධත් ගුරු, රාහු, ශනි, කේතු යන ග්‍රහයන් වැඩි දෙනෙකුගෙන් පීඩා වූ විට එවැනි ග්‍රහ පිහටීම් ඇති කේන්දර හිමියන් තදබල උදර ආබාධයන්ට ගොදුරු වන්නේය. මෙහිදී ලග්න 12න් විශ්ව කේන්දරයේ 6 වැන්නට අයත් එනම්, බඩවැල නිවේදනය කෙරෙන කන්‍යා ලග්නයෙන් උපන් ජන්මීන්ට අන්‍ය ලග්නවලින් උපන් ජන්මීන්ට වඩා උදර ආබාධ වැලඳීමේ ප්‍රවණතාවය වැඩිය. එයට හේතුව නම් කන්‍යා ලග්නයේ ආහාර ජීර්ණ පද්ධතිය නිවේදනය කෙරෙන භාවයක් වන පස්වැන්න වූ මකර රැසට සහ 6 වැන්න වූ කුම්භ රැසට අධිපති වන්නේ එක් රැසක වසර 2 1/2ක් පමණ සෙමින් ගමන් කරන සෙනසුරු ග්‍රහයා වන හෙයිනි. ඒ අනුව කන්‍යා ලග්නයේ ඉහත විග්‍රහ කළ ග්‍රහ බලයත් පස් වැන්න සහ 6 වැන්න කේන්ද්‍රකොට ගෙන යෙදී ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති කන්‍යා ලග්න කේන්දර හිමියන් අනිවාර්යයෙන්ම උදර ආබාධයන්ට ගොදුරු වන්නේය. ඒ අනුව ඉහත විග්‍රහ කළ කරුණු වඩා හොඳින් අවබෝධ කර ගැනීමට උදර ආබාධයකින් පීඩා වින්ද ජන්මියෙක්ගේ කේන්දර සටහනක් අධ්‍යයනය කරමු.

උපත 1911.06.18 වෙනිදා දහවල් 1.17ට පුවපුටුප නැකතේ 3 වැනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් ගුරු ග්‍රහයාට අයත් මහ දශාව වර්ෂ 06යි මාස 08යි දින 21ක් ශේෂව තිබුණි. ඉහත කේන්දරය අයත් වන්නේ මෙරට දෙවැනි අගමැති වූ ෂෙල්ටන් ඩඩ්ලි සේනානායක මැතිතුමාටය. ඒ මහතා තදබල උදර ආබාධයකින් පෙළුණු පුද්ගලයෙකි. ඒ බව එකල මෙරට ජීවත් වූ රටවැසියන් ඉතා හොඳින් දන්නා කාරණයකි. ඒ හේතු කොට ගෙන එකල ඒ මහතාගේ දේශපාලන විරුද්ධවාදීන් ඒ මහතාට ඩඩ්ලිගේ බඩේ මසල වඩේ කියමින් මැතිවරණ වේදිකාවල දී විහිළු තහළු කළහ. දැන් අපි ඒ මහතාට උදර ආබාධයක් වැලඳීමට හේතු භූත වූ ග්‍රහ බල කවරේද යන්න පිළිබඳව ඉහත කේන්දරය උපයෝගි කරගෙන කරුණු විමසා බලමු. ඒ අනුව ඉහත කන්‍යා කේන්දරයේ 5 වැන්න වූ මකර සහ 6 වැන්න වූ කුම්භ රැසට අධිපති ශනි 8 වැන්නේ නීචව රාහු /කේතු සහ 22 වෙනි දෙර්කාණාධිපති ගුරුගෙන් පීඩා වීම, 5 වැන්න සතුරු සිකුරුගේ සප්තම දෘෂ්ටියෙන් සහ සතුරු ගුරු කේතු, රාහු යන ග්‍රහයන්ගේ කේන්ද්‍රය දෘෂ්ටියෙන් පීඩා වීම 6 වැන්න වූ කුම්භයේ 6 වැන්නෙන් 6 වැන්නාධිපති සඳු සතුරුව පතිත වීමද රාහු/කේතු ගෙන් පීඩා වූ 22 වෙනි දෙර්කාණාධිපති ගුරුගේ පූර්ණ දෘෂ්ටියෙන් 6 වැන්න පීඩා වීම, 6 වැන්න සතුරු සිකුරු සහ දුෂ්ට භාවාධිපතියෙක් වන කුජගෙන් පාප කර්තරී යෝගයට මැදි වීම ලග්න කේන්දරයට අනුව ඒ මහතාට උදර ආබාධයක් වැලඳීමට හේතු වූ ප්‍රධාන ග්‍රහ බලය විය. දෙවෙනුවට විශ්ව කේන්දරයට අනුව බලන කළ 6 වැන්න වූ කන්‍යා රාශිය එනම්, බඩවැල නිවේදනය කෙරෙන රාශිය කන්‍යාව වීමත් එකී කන්‍යා රැස සතුරු ගුරු කේතු රාහු නීච ශනි යන ග්‍රහයන්ගෙන් පාප කර්තරී යෝගයකට මැදිව සිටීම සහ එකී කන්‍යා රාශියට 8 අධිපති පාපි කුජගේ සප්තම දෘෂ්ටිය වැටීමද එහි අධිපති බුධ නීච ශනි සතුරු රාහු සහ 8 අධිපති කුජ, සතුරු ගුරු, කේතු යන ග්‍රහයන්ගෙන් පාප කර්තරී යෝගයකට මැදිව පීඩා වීමද, විශ්ව කේන්දරයට අනුව පරීක්ෂා කළ යුතු අනෙක් භාවය වන සිංහය සතුරු සිකුරු, නීච ශනි සහ සතුරු රාහු යන ග්‍රහයන් ගෙන් පාප කර්තරී යෝගයකට මැදිව පීඩා වීමද, එහි අධිපති, රවි 10 වැන්නේ සතුරු රාහුගෙන් පීඩා වූ නීච ශනිගේ පූර්ණ දෘෂ්ටියෙන් සහ සතුරු කේතු, ගුරු යන ග්‍රහයන්ගේ පූර්ණ දෘෂ්ටියෙන් පීඩා වීම, විශ්ව කේන්දරයට අනුව, ආහාර ජීර්ණ පද්ධතිය නිවේදනය කෙරෙන භාව සහ ග්‍රහයන් පීඩා වීම හේතු කොට ගෙන ඒ මහතා තදබල උදර රෝගයකින් පීඩා විඳීමට හේතු භූත වූ ග්‍රහ බලයක් වන අතර, ඒ අනුව 1973/04/13 වෙනි දින සඳු මහ දශාවේ ශනිගේ අන්තර් දශාවේ කණ්ඨක ශනි ඒරාෂ්ටක සහ ජන්ම රවි ඒරාෂ්ටක අපල අවස්ථාවේදී එකී උදර ආබාධය උත්සන්න වීමෙන් ඒ මහතා ජීවිතක්ෂයට පත්විය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.