ශනි කුම්භයට යාම පිළිබඳ සමාලෝචනයක්

ජනවාරි 20, 2023

 

නව ව්‍යාපාර ඇරැඹීමට සුබ කාලයක්

 

30 වසරකට පසු සෙනසුරු-කුම්භ රාශි ගත වීම වෘෂභ, මිථුන, කන්‍යා, තුලා, ධනු, මකර, කුම්භ, මීන ලග්න හිමියන්ට ශුභඵල ගෙන දෙයි

 

පසුගිය 17 වැනි අඟහරුවාදා සිදුවූ සෙනසුරු මාරුව ඉහත කී ලග්නවලට ශුභඵල ගෙන දීමට හේතු වන්නේ මිථුන, කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නාධිපති බුධට සෙනසුරු මිතුරු ග්‍රහයෙක් වීමත්, එකී ලග්නවලට සෙනසුරු අර්ධ යෝග කාරක ග්‍රහයා වීම නිසා ය. වෘෂභ, තුලා ලග්නවලට මෙකී සෙනසුරු ලග්නාධිපති සිකුරු පරම මිත්‍ර ග්‍රහයෙක් වීමත්, එකී ලග්නවලට සෙනසුරු අංක එකටම ශුභඵල ගෙන දෙන යෝග කාරක ග්‍රහයා වීම නිසා වෘෂභ, තුලා ලග්නවලට සෙනසුරු කුම්භ රාශි ගත වීමෙන් ශුභ ඵල ගෙන දෙන්නේ ය.

 

මකර, කුම්භ ලග්න හිමියන්ට ලග්නාධිපති වීම නිසා සෙනසුරු ග්‍රහයා තම මුල ත්‍රිකෝණ රාශිය වන කුම්භයට පැමිණ ශුභ ඵල දීමට හේතු වන කාරණයක් වන්නේ ය. ඒ අනුව වෘෂභ, කුම්භ ලග්න හිමියන්ට මෙකී සෙනසුරු කුම්භ රාශිගත වීමෙන් ශශ නම් පංච මහා පුරුෂ යෝගය සහ ජය යෝගය යෙදෙන අතර, මිථුන, කන්‍යා, තුලා, මකර ලග්න හිමියන්ට මෙකී සෙනසුරු කුම්භ රාශි ගතවීමෙන් ජය යෝගය යෙදේ. ධනු, මීන ලග්න හිමියන්ගේ ලග්නාධිපති ගුරුට සෙනසුරු සම ග්‍රහයෙක් වීමත් ශුභ පල දීීමට හේතුවේ. ඒ හැර සිංහ, වෘශ්චික ලග්න හිමියන්ට මෙකී, සෙනසුරු කුම්භ රාශි ගත වීමෙන් ශශ නම් පංච මහා පුරුෂ යෝගය සමඟ ජය යෝගය යෙදෙන නමුත් එකී ලග්න ද්විත්වයට එනම් සිංහ ලග්නයේ ලග්නාධිපති රවිට, ශනි සතුරු ග්‍රහයෙක් වීමත්, වෘශ්චික ලග්නයේ ලග්නාධිපති කුජට සෙනසුරු සතුරු ග්‍රහයෙක් වීමත් හේතු කොටගෙන යටකී ලග්නවලට මෙන් සෙනසුරු ශුභ ඵල නොදෙන නමුත්, සිංහ සහ වෘශ්චික ලග්න හිමියන්ගේ සඳු ග්‍රහයා, වෘෂභ, මිථුන, කන්‍යා, තුලා, මකර කුම්භ යන රැසක වේ නම් සිංහ සහ වෘශ්චික ලග්න හිමියන්ට මෙකී සෙනසුරු කුම්භ රාශි ගතවීමෙන් ශුභඵල ලැබෙන්නේ ය. ඒ අනුව යටකී ලග්නවලට මෙකී සෙනසුරු මාරුවෙන් උසස් ශුභ ඵලයක් භුක්ති විඳීමට හැකි වන්නේ එකී ලග්න හිමියන්ගේ සෙනසුරු ග්‍රහයා උප්පත්තියේ සඳු ග්‍රහයාගෙන් උපචය භාවයක් වන 3, 6, 10, 11 යන භාවයක පාප පීඩිත නොවී බලවත්ව ඇත්නම් පමණි. එමෙන්ම මෙකී ලග්න හිමියන්ට සෙනසුරු කුම්භ රාශි ගතවීමෙන් ජන්ම හෝ චන්ද්‍ර අෂ්ටම හෝ උප්පත්ති සඳුගෙන් කණ්ඨක ශනි වැනි ඒරාෂ්ටක අපලයක් නොලැබිය යුතු ය.

ඒ අනුව යට විග්‍රහ කළ පරිදි උප්පත්ති කේන්දරයේ සෙනසුරු ශුභව පිහිටි යටකී ලග්නයකින් උපත ලබා ඇති ජන්මීන්ට සෙනසුරු මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇත්නම් ශුභඵල ලැබෙන්නේ ය. ඒ අනුව මිථුන, කන්‍යා, තුලා, මකර ලග්නවලින් උපන් ජන්මීන්ට සෙනසුරු කුම්භ රාශි ගත වීමෙන් ජය යෝගය යෙදෙන අතර එවන් ග්‍රහ බලයක් ඇති ජන්මීන්ට සෙනසුරාදා දිනක තම ජන්ම නැකතට සීහෙන ශුභ නැකතකින්, ශුභ තත්කාල ග්‍රහචාරයක් ඇති තත්කාල ලග්නයකින් සෙනසුරු හෝරාවකින්, හෝ සෙනසුරුට මිත්‍ර, බුධ, සිකුරු යන ග්‍රහයෙක්ට හිමි හෝරාවක් සහ පංචම කාල හෝරාවකින් පොළවට සම්බන්ධ ව්‍යාපාර, එනම් ගොවිතැන, මැණික් ගැරීම,මිනිරන් කර්මාන්තය, කිරි පිණිස ගවයන් ඇති කිරීම, බිත්තර පිණිස කිකිළියන් ඇති කිරීම, යකඩ සම්බන්ධ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමෙන් විශාල දියුණුවක් ලැබිය හැකි වන්නේ ය. එමෙන්ම යට විග්‍රහ කළ පරිදි ජය යෝගය සමඟ ශශ නම් පංචමහා පුරුෂ යෝගය යෙදෙන උප්පතියෙදි සෙනසුරු හෝ ශශ යෝගයත් යෙදී ඇති මේෂ, වෘෂභ, කටක, සිංහ, තුලා, මකර, කුම්භ ලග්නවලින් උපත ලබා ඇති දේශපාලනඥයින්ට යටකී ලෙස සෙනසුරාදා දින ශුභ මොහොතකින් තම දේශපාලන කටයුතුවල යෙදීමෙන්ද මහා පරිමාණයේ ඉදිකිරීම් සහ මහා මාර්ග ඉදිකිරීම් කටයුතු තුළ යෙදෙන ව්‍යාපාරිකයින්ට ඉංජිනේරුවන්ට යට විග්‍රහ කළ පරිදි ශුභ මොහොතෙන් තම අනාගත සැලසුම් ක්‍රියාත්මක කිරීමෙන් ඒවායින් ඔවුන්ට බලාපොරොත්තු වූවාට වඩා උසස් ශුභඵලයක් භුක්ති විඳිය හැකි වන්නේ ය. ඒ අනුව ජනවාරි 17 වැනිදා කුම්භ රාශි ගත වූ සෙනසුරු සහජ ශුභයන් වන ගුරු, බුධ, සිකුරු යන ග්‍රහයන් සමඟ ශුභ කර්තරි යෝගයකට මැදිවෙමින් විටෙකදී, බුධ, සිකුරු යන ග්‍රහයන් සමඟ යෝග වෙමින් මාර්තු මස 16 වැනිදා තෙක් ගමන් කරන හෙයින් යට විග්‍රහ කළ පරිදි උප්පතියෙදී සෙනසුරු බලවත් වූද දැනට සෙනසුරු මහ දශාව අතුරු දශාවක් ලබා ඇති ඉහත කී ලග්නවලින් උපන් ජන්මීන්ට යටකී කාලසීමාව තුළ තම අනාගත බලාපොරොත්තු ක්‍රියාත්මක කිරීමේ උසස් ශුභ ඵලයක් භුක්ති විඳිය හැකි වන්නේය.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.