ඔබ වෘශ්චික ලග්නයේ නම් -චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි.

ජනවාරි 13, 2023

රාශි චක්‍රයේ අටවැන්න වෘශ්චිකයයි. තාරකා එකොළහකින් යුතුව නිර්මාණය වී ඇති වෘශ්චික රාශිය ගෝනුස්සකුගේ රුව සංකේතවත් කරයි. වෘශ්චිකය ජල රාශියක්වන අතර මේෂ, වෘශ්චික රාශි දෙකටම අධිපතිභාවය දරන්නේ අඟහරු හෙවත් කුජය. ඒ අනුව වෘශ්චික රාශියෙන් උපන් අයගේ පාලන ග්‍රහයා වනුයේ කුජ හෙවත් අඟහරු වේ. අඟහරු ග්‍රහලොව සෙන්පතියා ලෙස හඳුන්වයි. සටන්කාමී ග්‍රහයා හෙවත් කුජ ග්‍රහයාට හිමි ලක්ෂණ වෘශ්චික ලග්නයෙන් උපන් අයට පිහිටයි.

 

චරිත ලක්ෂණ

වෘශ්චික ලග්නයෙන් උපන් අය මනා රූ සපුවකින් යුක්ත වන අතර ඔවුන්ගේ අත් පා දික්ව ශක්තිමත්ව පිහිටයි. හැඩි දැඩි ශරීරයකට හිමිකම් කියයි. කඩිසර බවකින් යුක්තය. ඔවුන්ගේ හිසකේ ඝනය. රැලි සහිතය. නළල් තලය පැතලිය. නෙත් යුවළ වටකුරුය. දීප්තිමත්ය. තියුණු ඇස් බියගෙන දෙන සුලුය. වෘශ්චික ලග්නයෙන් උපන් පුරුෂයන්ගේ පපුව පුරා ඝන රෝම දක්නට ඇත. ඔවුන් තුළ දැඩි ආත්ම ශක්තියක් ඇත. බාධා අවහිරකම් ගැන කිසිදු තැකීමක් නැතිව තමන් පටන්ගත් කාර්ය නොනවත්වාම ඉදිරියට ගෙන යයි. තමාට හිතවත්ව කටයුතු කරන ඕනෑම අයකුට ඉතාම පක්ෂපාති ලෙස කටයුතු කරයි. තම අදහස්වලට අවනත නොවන අයට පිළිනොගන්නා අයට අමනාප සහගතව කටයුතු කරයි. කිසිම අයකුට යටත්වීමට අකමැති වෘශ්චික ලග්න හිමියෝ උසස් අයකු ලෙස සමාජයේ කැපී පෙනීමට උත්සාහ දරයි. බිය සැක කුමක්ද කියා ඔවුන් නොහඳුනයි. කෝපයට පත් වූවිට ඉතාමත් දරුණුය. සමහරුන්ට අනුකම්පාව කියා දෙයක් පහළ වන්නේම නැත. පොත් පත් කියවීමට හා සාහිත්‍ය කලාවට ඉතාමත් ළැදිය. තමාට අයත් කාර්ය කල් නොදමා කෙසේ හෝ දිනය ඉක්මයන්නට පළමුව නිමකිරීම ඔවුන්ගේ සිරිතයි. ඒ ඒ කාර්ය සඳහා අවශ්‍ය ආකාරයට ධෛර්යය සම්පන්නව කටයුතු කිරීම විශේෂ ලක්ෂණයකි. යම් අරමුණක් කරා යොමු වුවහොත් දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරමින් මඟ හෙළි පෙහෙළි කරමින් තම ඉලක්කය සපුරා ගනී.

 

ගතිගුªණ

ස්වභාවයෙන්ම ආඩම්බර ගති පැවතුම් පිහිටයි. උසස් ගුණධර්ම වහා අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇත. ඒවා තම ජීවිතයට බද්ධ කර ගනිමින් ජීවිතය සාර්ථක කර ගනී. කෙතරම් කලබලකාරී පසුබිමක වුවද වහා සිත තැන්පත් කර ගැනීමට දක්ෂය. පැරණි චාරිත්‍ර වාරිත්‍රවලට ගරු කරයි. කලබලකාරී තත්ත්වයෙන් අඩු නිස්කලංක පරිසරයක වාසය කිරීමට වැඩි කැමැත්තක් දක්වයි.

රැකියාව

වෘශ්චික ලග්නයෙන් උපන් කාන්තාවන් ඉතාමත් කරුණාවන්ත සහ අනුකම්පාසහගත අයවේ. පාලන කටයුතුවලට ඔවුන් ඉතා දක්ෂය.

වෘශ්චික ලග්නයෙන් උපන් බොහෝ දෙනෙක් වෛද්‍යවරුන් වශයෙන් කටයුතු කරයි. පොලිස්, යුද හමුදා ආදී වෘත්තීන්ද වෘශ්චික ලග්න හිමියන්ට වඩාත් ගැළපේ. සරසවි කථිකාචාර්යවරුන්, දක්ෂ ගුරුවරුන්, ව්‍යාපාරිකයන්ද මෙම ලග්නයෙන් උපත ලබා ඇත.

අන්‍යයන් වසඟකර ගැනීමට තම කතාව, රූ සපුව, දේහ විලාසය ප්‍රයෝජනයට ගනී. පොදුවේ සලකනවිට වෘශ්චික ලග්නය හිමි අය ආගම දහමට ඉතාමත් ලැදි බවක් දක්වයි. දුර්වලකමක් ලෙස පෙන්වනුයේ හදිසි කෝපය, ලෝභකම සහ සකසුරුවම්කමය. තම අදහස් අන්‍යයන්ට දැන ගැනීමට ඉඩ සලසයි. මෙයද දුර්වලකමක් ලෙස සැලකිය හැක.

 

කුජ පිහිටීම

වෘශ්චික ලග්නයෙන් උපන් අයගේ කේන්ද්‍රයේ එකේ හෙවත් ලග්නයේ කුජ පිහිටීම ඉතා බලවත්වෙයි. ලග්නාධිපති ලග්නයේ සිටීම වෘශ්චික ලග්න හිමියන්ට වාසනාව ගෙන දෙන්නකි. මොවුහු ඉතා උද්‍යෝගිමත්ය. ක්‍රියාශීලීය. නමුත් ඔවුහු අන් අයගේ දැනමුතුකම්, උපදෙස්

පිළිගැනීමට කැමති නැත. එය බාල්දුවීමක් ලෙස සලකයි. අන් අයකු යටතේ රැකියාවක් කළත් එය තමන්ගේ මතයට අනුව තමන්ට අවශ්‍ය පරිදි කිරීමට උත්සාහ කරයි. මේ නිසා නිතර ගැටුම් ද ඇති කර ගනී.

කිසිදු රහසක් වසන් කිරීමට උත්සාහ නොකරන වෘශ්චික ලග්න හිමියෝ විවෘත හදවතකින් යුතු බිය නොහඳුනන්මෝ වෙති. ඉතා සියුම් අයුරින් අනාගතය දකින මොවුහු තමාට අවාසි වන අවස්ථාවලදී ඒ පිළිබඳ උපක්‍රමශීලී ලෙස ක්‍රියා කරති. මොවුන්ගේ කේන්ද්‍රයේ කුජ දෙවැන්නේ සිටීමෙන් කටහඬ තියුණු වේ. අන් අයගේ වැරදි අඩුපාඩු දකී. ධනය ලැබීමට ද වාසනාව ඇත. කුජ තුන්වැන්නේ සිටීමත් ඉතාම වාසනාවන්තයි. මකරයට කුජ උච්චවීම නිසා කරදර බාධක මැද්දේ සතුරන් ජයගෙන තම බලය රැක ගනී. හතරවැන්නේ කුජ එතරම් යහපත් නොවන්නේ තම උපත නිසා මවට අපල ගෙන දෙන නිසා ය. එසේම නෑදෑයන් හා විරුද්ධ වේ. ආඩම්බරයෙන් යුතුව කටයුතු කරයි. කුජ පස්වැන්නේ සිටින අය නිරෝගි සම්පන්න වෙයි. කුජ පස්වැන්නේ සිකුරු සමඟ සිටීමෙන් විවාහ දිවියේ කරදර ඇති කරයි. කුජට හය වැන්න යහපත් ස්ථානයක් වෙයි. කුජ හත්වැන්නේ සිටින අය මුරණ්ඩු ස්වභාවයෙන් කටයුතු කරයි. අටවැන්න යහපත් ස්ථානයක් නොවන අතර ස්ත්‍රියකගේ නම් ළදරු උපත්වලටද බාධක යෙදේ. පස්වැන්නේ හෝ නම වැන්නේ ගුරු සිටීම බලාපොරොත්තු රැකියා හා ධන සම්පත් ලබාදෙන පිහිටීමකි. වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්ද්‍රවල 1, 6, 12 ස්ථානවල සෙනසුරු සිටීම යහපත් නොවේ. හත්වැන්නේ රාහු, කුජ යෝගයද ඔවුන්ට යහපත් නොවේ. වෘශ්චික ලග්න හිමියන්ගේ ගෘහ ජීවිතය බොහෝවිට සාමකාමි බවින් තොර වන්නේ තම මතයට අනුව කටයුතු කිරීමෙන් තම මතය ඉස්මතු කිරීමට උත්සාහ ගැනීමක් නිසා ය. ඉතා සුළු දෙයකදී වුවත් ඉක්මනට කෝපයට පත්වෙන නිසා ගෙදරදොර අය සමඟ නිතර වාද භේද ඇති කර ගනී.

විවාහය

වෘශ්චික ලග්න හිමි අයට විවාහයට වඩාත් සුදුසු වන්නේ මීන සහ කටක ලග්න හිමියන් වේ. වෘෂභ, කන්‍යා, මකර ලග්න හිමියන්ද සාමාන්‍ය වශයෙන් ගැළපේ.

 

රෝගාබාධ

වෘශ්චික ලග්න හිමියන් අතර ඇදුම රෝගය සෑදීමේ ප්‍රවණතාව වැඩිය. වායු, සෙම, පිත යන කොටස් තුනෙන් ඔවුනට පීඩා ගෙනදේ බොහෝ අය මත්පැන් පානයට දැඩි රුචියක් දක්වති. මෙය ඔවුන්ගේ අක්මාව, වකුගඩු ආදී ස්ථානවල රෝග හට ගැනීම සඳහා හේතු වේ. අපල සඳහා රතුපාට මැණික් ගලක් මුදුවකට සම්බන්ධ කර පැලඳීම සුබයි. ඉරිදා, සඳුදා, බ්‍රහස්පතින්දා, වෘශ්චික ලග්න හිමියන්ට යහපත්වන අතර රතු, තැඹිලි සහ කහ සුබ වර්ණයන් වේ.

මරණය

වෘශ්චික ලග්න හිමියන්ගේ දරුණුම මාරක ග්‍රහයා වනුයේ බුධය. බුධගේ මහ දශා අන්තර්දශාකාලවලදී වෘශ්චික ලග්න හිමියන් ප්‍රවේශම් වීම වැදගත් ය. මෙම කාලය තුළදී ගංගා, වැව්, මුහුදු වැනි ස්ථානවලදී දිය නෑමෙන් ප්‍රවේශම් විය යුතු ය.

 

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.