අද නොවෙයි හෙට එන බාලගිරි දෝෂය

දෙසැම්බර් 9, 2022

බාලගිරි දෝෂය යනු දරුවෙකුගේ උපතේ සිට වයස අවුරුදු 12 දක්වා එක් එක් කාලය තුළ ක්‍රියාත්මක යකින්නිය විසින් දරුවාට බැල්ම හෙළීම නිසා දරුවා විවිධාකාරව පීඩාවන්ට පත් කරන බව දේශීය ග්‍රන්ථවල සඳහන් ය.

 

“බාලගිරි දෝෂය අද නොවේ හෙට” යනුවෙන් සිංහල ජන සමාජයේ නිවෙස්වල නිවෙසට ඇතුළු වන දොර උළුවස්සෙහි ලියා තිබෙන අවස්ථාවන් නෙත නොගැටුණු කෙනෙකුන් අප අතර සිටිය නොහැකි තරම්ය. ළදරුවන් මැදියම් රැයේ නින්දෙන් අවදිව අධික ලෙස හඬන බවත් ඒ සඳහා අපේ මුතුන් මිත්තන්ගේ සිට පැවතුණු විශේෂ ක්‍රමයක් ලෙස මෙලෙස ලිවීම සිරිතක් විය.

බාලගිරි දෝෂය යනු දරුවකුගේ උපතේ සිට වයස අවුරුදු 12 දක්වා එක් එක් කාලය තුළ ක්‍රියාත්මක යකින්නිය විසින් දරුවාට බැල්ම හෙළීම නිසා දරුවා විවිධාකරව පීඩාවන්ට පත් කරන බව දේශීය ග්‍රන්ථවල සඳහන් ය.

පහතරට ශාන්තිකර්ම සාහිත්‍ය ග්‍රන්ථය අනුව බාලගිරි දෝෂයට හේතුවන යකින්නියගේ උපන් කතාව පහත පරිදි වේ. දන්තපුර නුවර ආරවතී නම් රජුට දාව හංසවතී බිසවගේ කුසයෙන් දළ කුමරු උපත්දී නෛමිත්තකයින්ගේ කියමන් අනුව දළ කුමරු සිය සොයුරිය සමඟ පෙම්බැඳ රාජ වංශයට විශාල කැළලක් ඇති කරනු ඇතැයි පැවසීය. කල්යත්ම හංසවතී බිසව දියණියක ප්‍රසූත කළ හෙයින් පෙර කී නෛමිත්කයන්ගේ කියමන් සැබෑ වෙතැයි සැක සිතූ රජ යුවළ සිය දියණිය ගිරි ලෙනක සඟවා තැබීය. ඇය ගිරි කුමරිය විය.

වැඩිවියට පත් ගිරි කුමරියගේ කොටහළු මංගල්‍යයට සහභාගීවීමට පැමිණි රෙදි නැන්දාගේ මාර්ගයෙන් ගිරි කුමරිය ගැන කරුණු දැනගත් දළ කුමරු ඇය හමුවීමට උපායක් යෙදවීය. ගිරි කුමරිය දකින තෙක් ආහාර වර්ජිතව වැතිර සිටින කුමරුගේ අපේක්ෂාව ඉටු කරලීමට රජ යුවළ ඉටා ගත්තේ කළ යුතු කිසිවක් නොමැති බැවිනි.

ගිරි සොයුරියගේ රූපශ්‍රීයෙන් මත් වූ කුමරු ඇය සමඟ සංවාසයේ යෙදුණේ ය. සිදුවූ ලැජ්ජාව ඉවසා ගත නොහැකිව ගිරි කුමරිය ගහක එල්ලී සිය දිවි නසා ගත්තා ය.

මෙතැන් පටන් ගිරි කුමරිය ගිරි දේවිය බවට පත් වූ බව ගිරි දේවි උපතේ කියැවේ. මිය යන විට දරු ගැබක් හටගෙන සිටි බැවින් කුරිරු බව මැවී කතුන්ට හා කුඩා දරුවන්ට බලපවත්වන යකින්නියක් වී ගිරි යකින්නිය ලෙස පිද වීමට පාත්‍ර වූ බැව් ගිරියකිනි බලියට සම්බන්ධ කියමන්වලින් සනාථ වන බව සඳහන්ය. කුඩා දරුවන්ට බලපවත්වන යකින්නිය බාලගිරි වූ අතර, සතුන්ට බලපවත්වන යකින්නිය සමයං ගිරි නම් වූ බව ජනප්‍රවාදයෙහි සඳහන් ය.

ලක්දිව පැවති විවිධ ශාන්තිකර්ම අතුරින් කොහොඹා යක් කංකාරිය පුද්ගලයන් කෙරෙහි බලපා ඇති යම් රෝගාබාධයන් සුවකර ගැනීමේදී මෙන්ම ගමකට, ප්‍රදේශයකට මුළු රටට පැමිණි ඇති ව්‍යයසනයකින් මිදි සෙත් ශාන්තියක් ලබා ගැනීමේ අභිලාෂයෙන් පවත්වනු ලබන්නකි. එහිදී කොහොඹා යක්කංකාරියේ නානුමුර මංගල්‍යයේදී ගිරි යකින්නියන් දොළොසක් සඳහා ගොටු 12 ක් තබනු ලැබේ.

ගිරි දොළහේ කියන්නා වූ කවි පන්තිය අනුව යකින්නියක් සවස් කාලයේ සිට අලුයම වනතුරු දරුවන්ට පීඩාවන් ඇති කිරීමට අමනාප බවත් එහි සඳහන් වේ. ඔවුන්ට විවිධාකාරයේ දොළ දීම සිදුකර අදාළ යකින්නියගෙන් බාලගිරි දෝෂය අද නොවේ හෙට යනුවෙන් නිවෙසට ඇතුළු වන දොර උළුවස්සෙහි ලියා තිබීමෙන් අදාළ යකින්නිය ආපසු හැරී යන බවට මිනිසුන් තුළ විශ්වාසයක් පවතී.

දරුවන් බාලගිරි දෝෂයට ලක්වීමට හේතු

මවගේ හෝ කිරි මවගේ නරක පැවතුම්

මස් සූරා ආදියට ගිජු වීම

අපවිත්‍රකම

බාලයාගේ මල, මුත්‍ර නොසෝදා අපවිත්‍රව තැබීම

අධික ලෙස දරුවා සිනහ ගැන්වීම

හැඩවීම

 

බාලගිරි දෝෂයට ලක් වූ දරුවකු පෙන්නුම් කරන ලක්ෂණ

නිතර හැඬීම, උණ ඇතිවීම, භය, ඈණුම් අධිකව ඇතිවීම, බැම හැකිලවීම, භයාදු බැල්ම, කටින් පෙන මතු වීම, ඇස් උඩුකුරු කර බැලීම, තොල් සැපීම, නින්ද නොයාම, කිරි නොරිස්සීම, කට හඬේ විකෘතිතා, මොහොතින් මොහොත හැඩවීම, වරින් වර වමනය කිරීම, උඩ බලාගෙන අධිකව හැඬීම, මවුකිරි නොබීම, බඩ රුජාව ඇතිවීම, උඩ බලා ඇස් කැරකවීම, රාත්‍රියට සිහිනෙන් බිය වීම, නින්දෙන් අවදි වී එක් වරම හැඩීම, නොනවත්වා හැඩීම, අතිශයින් ගිලන් වීම, රෑ නිදි නැති වීම.

 

බාලකයා ආරක්ෂා කිරීමට කළ යුතු දේවල්

බිහිවීමෙන් පසු පළමු තුන් මාසය තුළ බාලකයා ගෘහ සීමාවෙන් පිටත අවේලාවේ නොගත යුතු ය.

සෑම විටම කිසිවකුගේ ආරක්ෂාව යටතේ තැබිය යුතු බවත් ශූන්‍යාගාරවල හෝ කිසිවකු නොමැතිව තනිවම නොතැබිය යුතුය.

 

ආයුර්වේද වෛද්‍ය

දිනුෂ්කා හලංගොඩ

ග්‍රාමීය සිද්ධ රෝහල, සෙට්ටිකුලම

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.