මීන ලග්නයට හිමි රැකියා

දෙසැම්බර් 2, 2022

මීන ලග්නයට හිමි රැකියා ගැන බැලීමේ දී ලග්නාධිපති හා දහවැන්නාධිපති වන ගුරු ගැන බැලිය යුතුයි. මීන රාශිය ආපෝ ගුණයෙන් යුත් උභය රාශියකි. එකිනෙකට වෙනස් අදහස් එකවර ක්‍රියාත්මක කිරීමට මීන ලග්න හිමියන් උත්සාහ කරයි. මීන ලග්න හිමියන් තම සැබෑ චරිතය සඟවාගෙන වෙනත් දෙයක් පෙන්වන දෙබිඩි ගුප්තාකාර අයයි. ගුරු, වෛද්‍ය, බැංකු, නාවික, වරාය, කලා ක්ෂේත්‍ර, දියර වර්ග නිෂ්පාදන වැනි අංශ තමන්ගේ ආශාවන්ට ගැළපෙන පරිදි රැකියා වශයෙන් තෝරා ගනී.

ලග්නය වූ මීනයත් දහවැන්න වූ ධනුවත් උභය රාශීන් වේ. මොවුන්ට එකතැන රැකියා කිරීමට අපහසු වන අතර මොවුන් එකවර රැකියා කිහිපයක් කිරීමට දක්ෂ වේ. ලග්නාධිපතිත් දහවැන්නාධිපතිත් ගුරු බැවින් බොහෝවිට ස්ථිර රැකියාවක යොදවයි. රැකියා ස්ථානයේ ප්‍රධානියෙක් බවට පත්වීමට ඉඩ තිබේ. ආණ්ඩුවේ තනතුරුවලට යහපත් වේ. ගුරු ග්‍රහයාගේ පිහිටීම මත ගුරු අයත් ස්ථානවල දියුණුවක් ඇති කරයි.
මීන ලග්න හිමියන්ගේ ඉගෙනීම ගැන බැලීමේ දී අධ්‍යාපන කාරක බුධත් පස්වැන්නාධිපති සඳුත් ගැන බැලිය යුතු වේ. අධ්‍යාපන කාරක බුධගේ බලයත් පස්වැන්නාධිපති වන සඳුගේ බලයත් තිබූ තැන හොඳ උසස් අධ්‍යාපනයක් සහ උසස් රැකියාවක් කිරීමට හැකිවේ. ගුරු, වෛද්‍ය නාවික ක්ෂේත්‍රවල ඉහළට යාමට හැකිවේ.
සෑම ලග්නයකටම වගේ ම මීන ලග්නයටත් රාහු හා කේතු ග්‍රහයන්ගේ පිහිටීම රැකියාව තීරණය කිරීමට බලපායි. රාහු සිටින රාශියේ අධිපතීත්වය වගේම මෙම ග්‍රහයන් සිටින ස්ථානයත් සිටින නැකතත් නැකත් හිමියාගේ පිහිටීමත් රැකියාවට බලපායි.
මීන ලග්න හිමියාගේ ලග්නාධිපති හා දහවැන්නාධිපති වන ගුරුගේ පිහිටීමත් මොවුන් නියෝජනය කරන නැකතත් අධ්‍යාපන කාරක බුධගේ පිහිටීමත් රාජ්‍ය කාරක රවිගේ පිහිටීමත් රාහු හා කේතු නියෝජනය කරන නැකතත් සිටින ස්ථානත් දහවැන්නේ සිටින ග්‍රහයනුත් ගැන විමසා බලා මෙයින් වඩාත්ම බලවත් ග්‍රහයාට අයත් රැකියාව ජන්මියාට උරුම වේ.
ඕනෑම ජන්මියකුගේ රැකියාව ගැන බැලීමේ දී කර්මස්ථානය වශයෙන් හඳුන්වනු ලබන දහවැනිභාවයත් එහි අධිපතියා හා ඒ ග්‍රහයා සිටින රාශියත්, රාජ්‍ය කාරක රවිගේ පිහිටීමත්, කර්ම පාලන ග්‍රහයන් දෙදෙනා වන රාහු හා කේතු ගේ නැකත සහ එම නැකත් අධිපතියාගේ පිහිටීමත් ලග්නාධිපති හා දහවැන්නාධිපති අතර ඇති සම්බන්ධකමත් වෘත්තීය කාරක ශනිගේ බලයත් කේන්ද්‍රයේ සඳුගේ බලයත් බලා එයින් වඩාත්ම බලවත්ම ග්‍රහයාට හිමි රැකියාව ජන්මියාට උරුම වේ.

චතුරිකා දිල්හානි ගමආරිය
 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.