ග්‍රහයන්ගේ වක්‍ර වීම ඔබේ ලග්නයට බලපාන්නේ කෙසේද?

නොවැම්බර් 18, 2022

 

ග්‍රහයෙක් වක්‍ර වීම යන්න මේ දිනවල ඔබ නිතර අසනු ලබන දෙයකි. එසේ වක්‍ර වීම ඔබේ ලග්නයට කෙසේ බලපාන්නේ ද කියා විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.

ග්‍රහයාගේ ගමන නැවතී අනෙකුත් ග්‍රහයන් පෙරට ගමන් කිරීම සිදු වේ. මෙසේ සිදුවන ග්‍රහ ගමන තුළ ඇතිවන පසුබෑම වක්‍රවීම නම් වෙයි. එසේ නොමැතිව ග්‍රහයා ආපස්සට ගමන් කිරීමක් කිසි විටෙකත් සිදු නොවන බව තරයේ සිතට ගත යුතු ය.

මේෂ ලග්නය ඇතුළු ලග්න 12ට ග්‍රහයන් වක්‍ර වීමේ බලපෑම මෙලෙස විග්‍රහ කළ හැක. මේෂ ලග්නයට දෙක, හත අධිපති ශුක්‍ර ද තුන හය අධිපති බුධ මාරක විපත් ගෙන දෙන ග්‍රහයෝ බැවින් මොවුන්ගේ වක්‍ර වීම අශුභ පලදායකයි. දහය එකොළහ අධිපති සෙනසුරු කේන්ද්‍ර ත්‍රිකෝණ අධිපති රවි සඳුද එක, අට අධිපති කුජ වක්‍ර වීම සුබඵල ගෙන එයි.

වෘෂභ ලග්නයට නවය, දහය අධිපති සෙනසුරු ද දෙක පහ අධිපති බුධ හත දොළහ අධිපති කුජද එක, හය අධිපති සිකුරු ද යහපත් වේ. අට එකොළහ අධිපති ගුරුගේ වක්‍ර වීම මාරක ඵල දෙයි.

මිථුන ලග්නයට එක හතර අධිපති බුධ සහ දොළහ අධිපති ශුක්‍ර (සිකුරු) වක්‍ර වීම සුබයි. හත දහය අධිපති ගුරුද නවය අට අධිපති ශනි ද වක්‍ර වීම, මධ්‍යස්ථයි. හය එකොළහ අධිපති කුජ වක්‍රවීම මාරක විපත් ගෙන දෙයි.

කටක ලග්නයට හත දහය අධිපති කුජද හය නවය අධිපති ගුරු ද වක්‍රවීම සුබයි. හතර එකොළහ අධිපති සිකුරු වක්‍ර වීම හදිසි විපත්වලට හේතු වේ.

සිංහ ලග්නයට කේන්ද්‍ර ත්‍රිකෝණ අධිපති කුජ වක්‍රවීම අධ්‍යාපනයෙන් ජය ගෙන දෙයි. අට, දහ අධිපති සිකුරු වක්‍රවීම මධ්‍යමයි. බුධ වක්‍රය මධ්‍යමයි. හය, හත අධිපති ශනි වක්‍රවීම මාරක විපත් ගෙන දෙයි.

කන්‍යා ලග්න බුධ, සිකුරු වක්‍රවීම සුබයි. ලෞකික සැපසම්පත් නොඅඩුව ලබාදෙයි. තුන අට අධිපති කුජගේ වක්‍රය මාරක විපත් ගෙන දෙයි. ගුරු, ශනි දෙදෙනාගේ වක්‍රය මධ්‍යමයි.

තුලා ලග්නයට ශුක්‍ර සෙනසුරු ස්වක්ෂේත්‍රයි, උච්චයි. සෙනසුරු සිකුරු දෙදෙනාගේ වක්‍රය ලෞකික සැප සම්පත් ලබා දෙයි.

වෘශ්චික ලග්නයට 2 - 5 අධිපති ගුරු හා කුජ වක්‍රය ඉතා සුබයි. ධනය උගත්කම ලස්සන සහකරුවෙක් සහකාරියක් ලබයි. සිකුරු ශනි වක්‍රය අශුභයි. බධා කරදර ගෙන එයි. ධනු ලග්නයේ ගුරු කුජ වක්‍රය සුබයි. අශුභ ගෙන දෙන්නේ ශනි සිකුරු වක්‍ර වීමයි.

මකරයට සිකුරු වක්‍ර වීම සුබයි. බුධ වක්‍ර වීම සුබයි. මධ්‍යස්ථ වන්නේ කුජ වක්‍ර වීමයි. 2, 12 අධිපති ගුරුගේ වක්‍ර වීම අශුභයි.

කුම්භ ලග්නයට සිකුරු බුධ වක්‍ර වීම සුබයි. ශනි වක්‍රය සුබයි. කුජගේ වක්‍ර වීම මාරක රිය අනතුරුවලින් හදිසි විපත් ගෙන දෙයි.

මීන ලග්නයට කුජගේ වක්‍ර වීම සුබ වන අතර සිකුරුගේ වක්‍ර වීම අශුභයි. බුධ වක්‍රය සුබඵල ගෙන දෙයි.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.