බුධ හා සිකුරු අතර ප්‍රබල ග්‍රහ සටනක්

ලග්න රැසකට ධන යෝග
නොවැම්බර් 18, 2022

 

රාජ්‍ය තාන්ත්‍රික කටයුතු දියුණුව ඇති වේ

ධනාත්මක බවකින් යුතුව ආර්ථික නිෂ්පාදන කටයුතු සිදුවන කාල පරාසයකි

කෘෂිකාර්මික හා කාර්මික අංශයන්හි නව පිබිදීමක්
 

22 වැනි කුජ දා අලුයම 04.26 ට විශ්ව තාරකා මන්දාකිණියෙහි ප්‍රබල බුධ හා සිකුරු ග්‍රහයුද්ධය සිද්ධ වන්නේ ය. සිකුරු ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අසිරිමත් සිදුවීම් රැසක් පෙළ ගැසෙන කාලයක් ඉදිරියට ජනී ජනයාට උදාවනු ඇත. ජනතාවට වඩාත් සුබපල ලබාදීමේ ග්‍රහයන් අතර සිකුරු විස්මිත ග්‍රහයෙක් වන්නේ ය.

ඒ අනුව, වෘෂභ, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන රාශි හයට සුබපල ගෙන දෙන කාලසර්ප හා කුජ දීප්ත යෝග උදාවෙයි. මේෂ, කටක, තුලා, මකර රාශි හතරට සස යෝග බලය ද මිථුන, කන්‍යා, ධනු, මීන රාශි හතරට හංස යෝග බලය ද උදාවනු ඇත.

සිකුරුගේ ජයගැනීමත් සමඟ යානවාහන, ඉඩකඩම්, ගෙවල් දොරවල්, ඇඟලුම් රෙදි පිළි මෙන් ම රන් රිදී මුතු මැණික් ආශි‍්‍රත ව්‍යාපාර සශ්‍රීක වෙයි. ඒවාහි නිෂ්පාදන ධාරිතාව ඉහළ යනු ඇත.

සම්භාවනීය, මෙන්ම ආකර්ෂණීය ගුණාත්මක කලාකෘති නිර්මාණයට, එළිදැක්වීමට සුදුසු කාල පරාසයකි. දෙස් විදෙස් ආධාර ගලා එන කාලයකි. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු දියුණුව ඇතිවේ. ධනාත්මක බවකින් යුතුව ආර්ථික නිෂ්පාදන කටයුතු සිදුවන කාල පරාසයකි. කෘෂිකාර්මික හා කාර්මික අංශයන්හි නව පිබිදීමක් ඇතිවන කාලයකි.

මේ සිදුවීම් මෙසේ වෙත් දී විද්වත් සමිති සමාගම්වලට, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, අධ්‍යාපනික ක්ෂේත්‍රයට මෙන්ම සමගියට සමාදානයට ද බුධ ග්‍රහයාගේ පරාජය බොහෝ දුරට බලපවත්වන බව ද පැවැසිය යුතුම ය.

පාරිසරික සාධක කෙරෙහි ද එය අයහපත් අයුරින් බලපෑම් කරනු ඇත. අධික වර්ෂාපතනයේ අඩුවක් නොවන අතර ගංවතුර තර්ජන ද ඉදිරියේ ඇතිවිය හැක. ගිනි ගැනීම්, නාවික, ගුවන් අනතුරු මෙන්ම උගතුන් ගේ හදිසි පෙළ ගැසීම්වලටද හේතු වේ.

ග්‍රහ යුද්ධය ඔබේ ලග්නයට බලපාන හැටි

මේෂ

අඟහරු හිමි මේෂ රාශි උදාවෙහි පදිංචි නිවෙස/භූමිය කෙරෙහි මෙන්ම ලැබීම් ක්ෂේත්‍රයෙහි උද්‍යෝගිමත් කාල පරාසයක් උදාවන්නේ ය. සබඳතා, යුගදිවිය, අලංකාරය, දියුණුව ආශි‍්‍රතව නව ගමන් මඟක් ඇරඹෙන කාලයකි.

වෘෂභ

ගනුදෙනු අංශයෙහි මෙන්ම ගෘහ ජීවිතයෙහි සුවිශේෂ වූ තෘප්තිමත් දියුණුවක් සැලැසෙයි. ප්‍රමාදව හෝ අවුල් සහගත සබඳතා විවාහ කටයුතු සාර්ථක වෙයි. අරමුණු නොවූ ශුභවාදී පැතිකඩක් විවරණය වෙයි.

මිථුන

රෝගා බාධක / සතුරු කරදර සහ රැකියා ආදායම් මාර්ග ආශි‍්‍රත අර්බුද සමථයකට හැරෙයි. අභිමතාර්ථයන් මුඳුන් පැමිණෙයි. එළැඹෙන අභියෝග සියල්ල මර්දනය කරගනිමින් ඉදිරි අනාගතය භාග්‍යවත්වීමට කරුණු සැලසෙයි.

කටක

සබඳතා, විවාහය, අධ්‍යාපන, තුරඟ තරග, විභාග, රැකියා ආදායම් මාර්ග කටයුතු සාර්ථක වන කාල පරාසයකි. අර්බුද ගැටලුකාරී අතිශය දුෂ්කරබව දුරුවී යන හිතවාදී කාල පරාසයකි.

සිංහ

පදිංචි ස්ථානය, රැකියා ආදායම් මාර්ග දියුණු වෙයි. ලැබීම් අංශයෙහි ප්‍රමාද බාධක යෙදෙයි. අප්‍රතිහත ධෛර්යයේ හා නොපසුබට උත්සාහය මත අනාගතය උසස්ම දියුණුවක් කරා යොමුවෙයි.

කන්‍යා

රැකියා ආදායම් මාර්ග මෙන්ම තැන්පත් ධනය දේපළ වස්තු ගොඩමඩ ඉඩකඩම් සඳහා ආකූල ව්‍යාකූල බවක් විද්‍යාමාන කෙරෙයි. සබඳතා / විවාහය ආදී අංශවල ගැටලුකාරී බවක් පෙනෙයි. හදිසි තීරණ ගත යුතු නොවෙයි.

තුලා

තැන්පත් ධනය දේපළ වස්තු ආශි‍්‍රත ගැටලුකාරී බව දුරුවෙයි. පදිංචි ස්ථානගත දියුණුව සැලසෙයි. නිතර හිතේ යටපත්ව ඇති හේතු කරුණු කාරණා එළියට නොඑයි. එනිසා දියුණුවට බාධක ද ඇති විය හැක.

වෘශ්චික

සෑම අරමුණක්ම සඵල කෙරෙන කාලයකි. අභීත තීන්දු තීරණ ගන්නා සමයකි. ජීවිතයෙහි නැවුම් සිතැගියාවන් සඵල වෙයි. නාමික, නිර්ණාමික සතුරන් මර්දනය වෙයි. අසිරිමත් ජීවිතයට මුල පිරෙන ශුභවාදී කාල පරාසයකි.

ධනු

බොහෝ දුරට අභිමානත්වයෙන් යුතුව කටයුතු කළ හැකි කාලයකි. සියලු අභියෝගයන් කෙරෙහි සෘජුව මුහුණ දෙමින් කටයුතු සාර්ථක කර ගනී. සබඳතා, රැකියා, විවාහ, පදිංචිය ආශි‍්‍රත ගැටලු පැවති යේ නම් ඒවා විසඳෙන බවත් පෙනෙන ග්‍රහචාරයකි. ලැබීම් අතින් යහපත් වෙයි.

මකර

නිර්මාණශීලී ඔබගේ සිතුම් පැතුම් මෙන්ම නැවතූ කටයුතු සියල්ල නැවත ආරම්භ කිරීමට සුදුසු කාල පරාසයකි. රෝග සහ සතුරු එදිරිවාදිකම් නැවත හිස ඔසවන ලකුණු පෙනෙයි. එනිසා පරිස්සම් සහගත වීම සුදුසු ය. ආර්ථික ලැබීම් අතින් යහපත් කාලයකි.

කුම්භ

ගොඩමඩ ඉඩකඩම් දේපළ වස්තු සරුවෙයි. තරවෙයි. ආදායම් මාර්ග සරුවෙයි. තැන්පත් ධනය, සම්පත් ලැබීම් අතින් යහපත් වෙයි. සතුරු එදිරිවාදිකම් රෝග දුරුවෙයි.

මීන

ලෝකෝත්තර ජීවිතය සතුටුදායක කෙරෙයි. ලෞකික දිවිය පුරාවට කළකිරෙයි. දුක ශෝකය ඉහ වහා යයි. අභියෝග මැඬ පැවැත්වෙයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.