මාර්තු 02 බුධ-ශනි යුද්ධයෙන් ‍ශනි ජය ගනී

පෙබරවාරි 25, 2022

 

2022 මාර්තු 02 බදාදා රාත්‍රී 10.04 ට බුද, ශනි යුද වදී. එයින් ශනිට ජය අයත් වේ. ග්‍රහයන් දෙදෙනකු එකම රාශියේ එකම අංශකයේ ගමන් කරන විට එක ග්‍රහයකුගේ කිරණවළල්ලට අනෙක් ග්‍රහයා ආවරණය වීම ග්‍රහයුද්ධ ලෙස හැඳින්වේ.

 

 

2022 මාර්තු 02 බදාදා රාත්‍රී 10.04 ට බුද, ශනි යුද වදී. එයින් ශනිට ජය අයත් වේ. ග්‍රහයන් දෙදෙනකු එකම රාශියේ එකම අංශකයේ ගමන් කරන විට එක ග්‍රහයකුගේ කිරණවළල්ලට අනෙක් ග්‍රහයා ආවරණය වීම ග්‍රහයුද්ධ ලෙස හැඳින්වේ. යුද වදින ග්‍රහයන් දෙදෙනාගෙන් උතුරින් සිටින ග්‍රහයා ජය ලබයි. පැරදුන ග්‍රහයා අසුබ සහ බල අඩු ග්‍රහයෙක් ලෙස ගණන් ගනී. ග්‍රහයුද්ධ ඇතිවන දිනය සුබ කටයුතු සඳහා නොගනී.

තත්කාල තුලා ලග්නය උදාව මකර රාශියේදී සිදුවන මෙම ග්‍රහ යුද්ධයේ දී තරමක අසුබලඵල ඇති කරයි. එදින කාලසර්ප යෝගයද පවතී. ළඟ ළඟ ග්‍රහ යුද්ධ කීපයක්ම පවතී. පෙබරවාරි 16 රාත්‍රී 8.00 ට සිකුරු කුජ යුද්ධය, කුජට ජය අත්වේ. මාර්තු 6 දවල් 12.44 සිදුවන සිකුරු කුජ යුද්ධයෙන් සිකුරාට ජය අත්වේ.

බුධ, ශනි යුද්ධයේ දී ඇතිවන ප්‍රතිඵල අනුව කුඩා ළමයින්ට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බුද්ධිමතුන්ට උගතුන්ට වෙළඳ ප්‍රජාවට බාධා කරදර ඇති කරයි. ජලජ ප්‍රාණීන්ට අශ්ව ආදී සතුන්ට අපල උපද්‍රව යෙදිය හැක. රසවත් කෑම වර්ගවල මිල ඉහළ යයි. රසවත් කෑම වර්ගවල මිල ඉහළ යයි. මහජන හිතසුව පිණිස කරන කටයුතු දියුණු වේ. 2022 අප්‍රේල් දක්වා කාලය ග්‍රහ ගමන් අනුව එතරම් සුබ නැත. ධාර්මික සිතිවිලි යහපත් අදහස් ඇති කරගෙන සන්සුන්ව මෛත්‍රියෙන් යුතුව කටයුතු කළ යුතු ය. ගමනා ගමන අනතුරු බහුල කාලයක් නිසා ප්‍රවේශම ඉතා වැදගත් වේ.

 

ලග්නවලට බලපාන අයුරු

මේෂ

මේෂ ලග්නයේ දස වැන්න වන කර්ම ස්ථානයේ දී මෙම ග්‍රහ යුද්ධය සිදුවේ. කරන කියන කටයුතුවලට රැකියා අංශවලට බාධා කරදර එල්ලවිය හැක. කල්පනාකාරීව කටයුතු කරන්න. අනතුරු පීඩා ගැන සැලකිලිමත් විය යුතු ය.

වෘෂභ

වෘෂභ ලග්නයේ භාග්‍යස්ථානයේ දී මෙම ග්‍රහ සටන ඇතිවීම අනුව තම වාසනාවට පෙර පුණ්‍යබලය සුළුවෙන් හෝ බාධා ඇතිවිය හැක. ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් අවබෝධයෙන් කටයුතු කළ යුතු ය.

මිථුන

මිථුන ලග්නයේ අටවැන්නේ මෙම ග්‍රහ යුද්ධය ඇතිවේ. නොසිතූ විරුද්ධවාදීකම් බාධාකරදර ඇතිවිය හැක.සාමය සතුට මෙන්ම ශරීර සනීපයට බාධා ඇතිවේ. තම වාසනාවට බාධා ඇතිවිය හැක.

කටක

කටක ලග්නයේ හත්වැන්න වන කලතෘස්ථානයේ ග්‍රහ සටන ඇතිවේ. විරුද්ධවාදකම්වලට මුහුණපෑමට සිදුවේ. අප්‍රේල් දක්වා වූ මෙම කෙටි කාලයේ ඉවසීමෙන් කටයුතු කළ යුතු ය.

සිංහ

සිංහ ලග්නයේ හය වැන්න වන රෝගස්ථානයේ සිදුවන මෙම සටන අනුව ධනහානි ඇතිවනවා මෙන්ම ධන ලැබීම් ද ඇතිවේ. සතුරන් කරන කොට එම කරුණු දෙකම සිදුවේ. උදරගත රෝගපීඩාද යෙදිය හැක.

කන්‍යා

කන්‍යා ලග්නයේ පස්වැන්න වන විද්‍යාස්ථානයේ සිදුවන මෙම සටනින් ඉගෙන ගන්නා අයගේ එම කටයුතුවලට බාධා යෙදේ. අනෙක් අයට දියුණුව ඇති කරයි. වැඩිහිටි අයගේ දරුවන්ට අපල ගෙනදේ.

තුලා

තුලා ලග්නයේ හතරවැන්නේ මෙම ග්‍රහසටන ඇතිවේ. විවේකය අඩුකරන අතර වියදම් වැඩිවේ. ඉඩකඩම් දේපල පිළිබඳ නඩු ඇති අයට ගැටලු මතුවිය හැක. තමාට ජයද අත්වේ. දරුවන්ගේ දියුණුව යෙදේ.

වෘශ්චික

වෘශ්චික ලග්නයේ තුන්වැන්නේ ග්‍රහ සටන සිදුවේ. මිල මුදල් අතින් කරදර ඇතිවිය හැක. කන්වල අත්වල පීඩාදායක තත්ත්ව ඇතිවීමට ඉඩ තිබේ. ආශ්‍රය කරන අයගෙන් කරදර ඇතිවේ. හිතන ආකාරයට කටයුතු කිරීමටද හැකිවේ.

ධනු

ධනු ලග්නයේ දෙවැන්නේ සිදුවන මෙම ග්‍රහ සටන හේතු කොට මධ්‍යස්ථ ප්‍රතිඵල ඇති කරයි. ගමන් බිමන් යෙදෙන අතර උගුරේ සෙම් දෝෂ දත්වල අමාරු ඇතිවිය හැක. තමා අදහස් කරන කටයුතු ඉටු කර ගැනීමට හැකිවේ.

මකර

මකර රාශියේ ලග්නයේම සිදුවන ග්‍රහ සටන නිසා හොඳින් ක්‍රමානුකූලව සිතාමතා කටයුතු කළ හැක. හිසේ අමාරු උදරගත රෝග පීඩා ඇතිවිය හැක. දියුණුවද ඇති කරයි. දැරීමේ සහ ඉවසීමේ ශක්තිය ද ඇති කරයි.

කුම්භ

කුම්භ රාශියේ දොළොස්වැන්නේ සිදුවන ග්‍රහ සටන නිසා අනතුරු පීඩාවලට ලක්වීමට ඉඩ තිබේ. ඒ ගැන සැලකිලිමත් විය යුතු ය. කකුල්වල වාතපීඩා ඇතිවිය හැක. දියුණුව ප්‍රමාද වේ. බලාපොරොත්තු නොවූ ලෙස පහසුකම් හා ආධාර ලැබේ.

මීන

මීන ලග්නයේ අයස්ථානය වන එකොළොස් වැන්නේ ග්‍රහ සටන සිදුවේ. ආදායම් තත්ත්වය අයහපත් නොවේ. කරන කියන කටයුතු සුබ පලදේ. ඥානය යොදවා කරන කටයුතු විශේෂයෙන් දියුණු වේ.

මෛත්‍රී සහගතව සහ ඉවසිලිමත්ව සද්ධර්මයට අනුව කටයුතු කිරීමෙන් බොහෝ අනතුරු අපල උපද්‍රව මඟ හරවා ගත හැක. දරුණු අපලවල බලය අඩුකරගත හැක.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.