භව ගාමියා ලෞකික ලොවේ සැරිසරනවාද?

මාර්තු 19, 2021

ලොව ඉපදුන හැම කෙනෙක්ම මිය යන්නට ඕන බවත් ඇතිවුණ හැම දෙයක්ම නැතිවන බවත් අපි දන්නවා. ජීවත්වන කාලය තුළදී රැස්කළ හැම දෙයක්ම අත්හල යුතු බවනෙ ඔය කියන්නෙ. ඒක තවත් විස්තරාත්මක වශයෙන් කිව්වොත් රැස්කළ හැම දෙයක්ම අත් හැරියට ඒ භෞතික වශයෙන්, නැත්නම් ලෞකික වශයෙන් නමුත් ලෝකෝත්තර වශයෙන් රැස්කරගන්නා ලද කුසල් අකුසල් පමණක් එතෙරටත් එතැනින් එහාටත් අරගෙන යනවා.

 

ඔය තත්ත්වයට කියන්නෙ භවගාමි ගමන කියලා. භව ගාමියා කොහාටද යන්නෙ. කොහෙට වත් යන්නෙ නැහැ. මේ භවයෙම සැරිසරනවා. එක එක කරුණු මත මේ භව ගාමියා ඊළඟ ආත්මය තදින් අල්ලා ගන්නවා. කූඩැල්ලො වගේ. නමුත් ඉතාම සුළු කොටසක් යහපත්ව හෝ අයහපත්ව අන්තර්භවයෙ සැරිසරනවා. අන්තර්භවයේ සැරිසරන කිසිකෙනෙකුට කිසිම කායානු ස්වරූපයක් හෝ සංයුතියක් නැහැ. ස්වකීය කුසලා කුසලයන්ට අනුරූපිව නියමිත ගැබක් ජීවයක් එනම් මනුෂ්‍ය, සත්ව, ප්‍රේත ආදී ආත්මයක් ලබා ගැනීම සඳහා ඒ භවයේ සැරිසරනවා. මෙසේ සැරිසරන භව ගාමියා දිගු කලක් සාමාන්‍යයෙන් ඉන්නෙ නැහැ. මෙතැනදී එක විශේෂයක් ගැන කියන්න ඕනෑ අපි හිතමු ප්‍රේත ආත්මයක් ලබලා ජල පිපාසයෙන් හෝ නිර්වස්ත්‍රව සිටීමට හේතුපල වනව කියලා. ඒ අවස්ථාවේ දී සාමාන්‍ය මිනිසා ජලය ටිකක් හෝ වස්ත්‍රයක් දුන්නට ඒවා පරිහරණය කරන්නට හැකියාවක් නැහැ.

ලෞකික ලෝකයේ මියයන මිනිස් සංයුතියට එය සදාකාලික හැරයාමක් ලෙස පෙනුනත් භවගාමියට එම ගමනේ එක පියවරක් පමණයි එය. එසේ මියයන මානුෂික සත්වයා නොමැති නම් මිනිස් සත්වයා දින තුනක් ස්වකීය ගේ දොර වතුපිටි ආශි‍්‍රතව ද සතියක් හෝ සති දෙකක් මානසිකය, තදින් අල්ලා ගත් ස්ථානවලද සැරිසරනව ඇත. විශේෂයෙන් භූමියෙන් ඇතිවුණ අපි භූමියටම යන අවසාන දිනය සිට කෙටි කලක් එවැනි ස්ථානවල සැරි සැරීම ප්‍රකට කරුණක්. මෙසේ සැරිසරන අන්තර භව ගාමියා හැකි ඉක්මනින් කිසියම් හෝ ගැබක් හෝ ආරූඪයක් ලබාගත යුතුමය. එය ප්‍රේත, සත්ව, මනුෂ්‍ය විය හැකියි. මනුෂ්‍ය, සත්ව නොමැති ඒක ශෛලිය ආත්ම කිසියම් හෝ මිනිස් ජීවිතයකට පහසුවෙන් ආරූඪ වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. මෙම කරුණුවලට චුති චිත්තය බොහෝ සෙයින් උපයෝගී වේ.

මනුෂ්‍යයාගේ ඇස පිහිටා ඇත්තේ වඩා රළු දේවල් දැකීම සඳහා ය. ඉතා සියුම් දේ දැකීමට ඇස් පුංචි කර බලන්නෙ ඒ නිසාය. තවද මනුෂ්‍ය නෙත්වලට ඕනෑම දෙයක් වඩා තියුණුවට දකින්නේ ඇස් ඉදිරියෙන් නොව වම් අංශයෙන් හෝ දකුණු අංශයෙන් ය. මේ අයුරින්ම මනුෂ්‍යයාට ප්‍රේතයා දකින්න අවශ්‍ය නම් බැලිය යුත්තේ ඇස් කොනින්ය. එනම් වමින් හෝ දකුණින් ය. මිනිස් ඇස්වලට ප්‍රේතයා වැඩි කාලයක් දකින්ට නොලැබෙන්නේ ප්‍රේතයා තම ස්වරූපය නැත්නම් සංයුතිය ඉක්මනින් වෙනස් කර ගන්නා හෙයිනි. කලින් සඳහන් කළ පරිදි මෙලොව හැරයන මනුෂ්‍ය ශරීරයේ අයිතිකාර භව ගාමියා ශරීරය හැර ගිය ද ඔහු හෝ ඇය අවසානවරට සිටි තැනට නැවත පැමිණීම සාමාන්‍ය දෙයකි. එවැනි කායික ශරීරයන් දුටු බොහෝ දෙනා අප අතර සිටින බව ඊට සාක්ෂි වේ. එවැනි ස්වරූප දැක බිය වීමට කිසිදු සාධකයක් නැත. පංචේන්ද්‍රිය ක්‍රියාකාරීත්වය නැති වුවද, ශාරීරික ඕරාව නැත්නම් ශරීර රැස්වල්ල ශරීරයෙන් ඉවත් වූ බවට නිදසුනකි. මෙය සත්‍ය වශයෙන්ම සිදුවන බව ආදී යුගයේ ජීවත් වූ මිනිසා පවා දන්නා කරුණකි. අවමගුල් දිනයේ සිට දින තුනක් වත් එම ස්ථානයේ මාලකවි එසේත් නැත්නම් වෙස්සන්තර ජාතකය ගායනා කරන්නෙ ස්ථානීය පාළුව මැකීමත් සමගම මළගිය ප්‍රාණකාරයට ඇහෙන ලෙසත් ය. සුළු වශයෙන් වුවත් භවගාමියට සුදුසු ගැබක් ලබා ගැනීමට එම කවි ස්වර ප්‍රමාණවත් ය.

කෙනෙක් මියගිය සැණින් ඔහු හෝ ඇය මිය ගියා නොවේ. මළගිය ප්‍රාණකාරයාගේ ශරීර

උෂ්ණත්වය මඳ වේලාවක් පවත්නවා සේම ශරීරයේ ආත්ම රැස්වළල්ල එසේම නොමැරි සිට මොහොතින් ශරීරයෙන් ඉවත් වී යයි. ලෞකික ගමන එතැනින් නැවතුණ ද භව ගමන සුපුරුදු පරිදි ඉදිරියට යයි. එසේ මියගිය ආත්මලාභියා සසර ගමනෙ දි පූර්ව භවයන්වල කරනා ලද කුසලාකුසලයට අනුරූපිව සන්ධිස්ථානයක් ලැබේ. මනුෂ්‍ය ආත්මයක් ලබන සෑම කෙනෙක්ම පින්වන්තයෙක් බව සඳහන් කළේ එහෙයිනි. කිසියම් හෝ අකුසල කර්මයකින් පීඩා විඳින භව ගාමියා එය ක්ෂය කර ගැනීමට අවශ්‍ය සියලුම ප්‍රතිකර්මයන් කළ හැක්කේ මනුෂ්‍ය ආත්මයකදී පමණකි.

මීට වසර 35 කට ඉහත දී කලුකොහුතැන්න නම් ග්‍රාමයට යාමට අවශ්‍යතාවයක් විය. මෙම ග්‍රාමය පිහිටියේ අවිස්සාවේල්ල, කෑගල්ල ප්‍රසිද්ධ මාර්ගයේ කරවනැල්ල මංසන්දියෙන් යටියන්තොට නගරයෙන් සැතපුම් පහක් පමණ දුර කැලණි ගං ඉවුරේ ය. මෙය ඉතාම නොදියුණු වැඩිම උනොත් ගෙවල් 5ක් හෝ 6ක් පමණක් ඇති ඉතා දුක්බර ගමක්.

එක්තරා ගුප්ත කටයුත්තක් සඳහා ගුරු ඇදුරු මහතෙක් හමුවීමට යෑමට සිදුවිය. ඔහු බලිතොවිල් ගුරුකම්වලට දක්ෂතාවයක් ඇති නමින් ජිනෝරිස් විය. මමත් සමඟ ගුරුකම් කළ නිසා ඔහුගේ පවුලේ අය මා සමඟ කුළුපග විය. යටියන්තොට නගරයට යාමට සෘජු බසයක් නොවුයෙන් කරවනැල්ල හන්දියෙන් බැස පයින්ම යාමට සිදුවිය. කරවනැල්ල සිට යටියන්තොට කුඩා නගරයට යාමට පැය 1 1/2 ක් පමණ ගතවිය. එවිට වේලාව සවස 5 ට විතර විය. දැන් එතැන් සිට රට මැද දිශාවට අතුපාරවල් දිගේ කැලෑ මැදින් මාගේ ගමන ආරම්භ කළෙමි. පවුල් මිනීවළ වල් කීපයක් පසුකළ මම සවස 6 වන විට ජිනොරිස් කට්ටාඩි මහතාගේ නිවස පෙනෙන නොපෙනෙන දුරකට යා හැකි විය. මගදි ඇති වූ වෙහෙස හා හීන්භීතිය පහව ගියේ ජිනෝරිස් අයියා මගදීම හමුවූ නිසා ය. ඔහු ඉපැරණි මිනීවළක වල්පැළ ගලවමින් සිටි. මාගේ වුවමනාව දැන්වීමටත් පෙර ඔහු මෙසේ කියන්න විය. “මහත්තයා එන බව මම දන්නවා. ගෙදර යන්න මම එන්නම්” කියාය. තරමක සැහැල්ලු සුසුමක් හෙළු මෙම සුපුරුදු පරිදි එම ගෙදරට ගියෙමි. ඉදිරියේ තිබූ ලණු පුටුවේ ඉඳගත් මට ඔහුගේ පුතා තැඹිලි වීදුරුවකින් සංග්‍රහ කෙරිණි. මා පැමිණි කාරණය ඔහුගේ පුතාට හා බිරිඳට දැන්වීමි. සවන්දුන් එම අය “අනේ මහත්තයා තාත්තා මැරිලා ඊයෙට දින 8 යි. මේ සතියේ දානය පන්සලට පුජා කළේ ඊයේ වුණේ.” මට මා වටහා ගැනීමට නොහැකිවිය. කිසිත් නොකිවූ මම පසුදින රැයින්ම ආපසු ආවෙමි. මෙවැනි සිදුවීම් මට සුපුරුදු ය. මේ කවුද? පිළිතුරු ඔබට භාරයි.

මළගිය භව ගාමියා දුර ගමනක් යනු ඇත. මමද ඔබද එසේම ය. අමනුෂ්‍යයන් ගැන පරීක්ෂණ පවත්වන බොහෝ දෙනාට අපූරු සම්බන්ධතාවයන් කීපයක් සොයාගත හැකි විය. අමනුෂ්‍යයන් අහඹුලෙස දුටු අවස්ථාවන් වැඩිම ප්‍රමාණයකදී අඳුරේ ඔවුන් දර්ශනය වීම හා ඔවුන් දැකගත හැකි වන්නේ ඇස් කොනින් වීම කදිම නිදර්ශන විය. මනුෂ්‍යයාට පේ‍්‍රතයන් දැකීම අඩු තරමකින් වුවද ඔවුන්ට මනුෂ්‍යාව හොඳට පෙනෙයි. මනුෂ්‍යයා කරන කියන සියලු දේ ප්‍රේතයා සියුම්ව වටහා ගනී. මේ බව ඉතා පැහැදිලි සේ තිබ්බතීය අධිමානසික විද්‍යාවේ සඳහන් කරයි. ප්‍රේතයා ද එක ආත්මභවයක ජීවියෙකි. එනම් භව ගාමියෙකි. සාමාන්‍යයෙන් ප්‍රේතයා අහිංසක වූ ආත්මයෙන් මිදීමට නොහැකිව පින් බලාපොරොත්තු වන කෙනෙක් මිස භූතාත්මය කරන ක්‍රියා නොකරයි. ප්‍රේතයා තම භව ආත්මය මිදෙන තෙක් පින් බලාගෙන සිටියි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.