ඔබ කුජ භෞම දෝෂයට බියට පත්ව ඇත්ද

මාර්තු 12, 2021

ජන්ම කේන්ද්‍රයක භෞම වශයෙන් හඳුන්වන අඟහරු අවස්ථා ගණනාවක සිටිය හැකි ය. නැකත් 27 ම නියෝජනය කළ හැකි ය. එවිට 27 ආකාරයකි.

 

උච්චව නීචව සතුරුව, ස්වක්ෂේත්‍රව සිටිය හැකි අතර ආරෝහන ගමනක මෙන්ම අවරෝහන ගමනක යෙදී සිටියි. (වක්‍රව, නිවෘතව සිටිය හැක) පාප දෘෂ්ටි හෝ ශුභ දෘෂ්ටි සහිතව සිටියි. මාරක අංශකයක සිටිය හැකි ය. 22 වන දෙර්කාණාධිපති විෂේව 22 වන දෙර්කානාධිපතිගේ නැකතක සිටිය හැක. පාප කර්තරි වී සිටිය හැක. තවත් විවිධ ආකාරයෙන් සිටිය හැක. බාධක ග්‍රහයා 64 වන නවාංශකාධිපති ග්‍රහයා වශයෙන් ද සිටිය හැක. එම නිසා මෙම අඟහරු කොහොම කෙනෙක් දැයි ඉවසිල්ලෙන් තේරුම් ගත යුතු ය.

එහෙයින් කුජ දෝෂ කේන්ද්‍රයක් වූ පමණින් දෝෂ සහිත යැයි නිගමනය නොකර එම දෝෂය බිඳේදැයි පරීක්ෂාකර බැලිය යුතු ය.

භෞම දෝෂ අයහපත් බව සැබෑය. එම අඟහරු තවත් පාපියකුගේ නැකතක හෝ තවත් පාපියකුගේ දෘෂ්ටියට ලක්ව සිටියේ නම් එහි දෝෂය දෙගුණ වෙයි. විවාහයකදී භෞම දෝෂය විවාහය බිඳ දැමීමට වුවත් බලපායි.

ආදරය පමණක් ප්‍රමුඛ කොට විවාහ වූ බොහෝ දෙනෙකු ජීවන ගමනේ අතරමගදී යුග ජීවිතය බිඳ දමා වෙන් වූ අවස්ථා කොපමණවත් අප දැක ඇත. විවාහය පරම සුන්දර සන්ධි ස්ථානයක් කර ගැනීමට නම් පොරොන්දම් ගැළපීමේ දී කේන්ද්‍ර සටහන් දෙකට මුල්තැන දීම සිදු කළ යුතු ය. එතනදී කුජ භෞම දෝෂවලට අමතරව තවත් විවිධ දෝෂ තත්ත්වයන් පෙන්නුම් කරනු ඇත. පොරොන්දම් ප්‍රතිශතය 100%ක වුවත් කේන්ද්‍ර සටහන් දෝෂ සහිතනම් විවාහ ජීවිතයේ ගැටලු ඇතිවීමටත් විවාහය බිඳ වැටීමටත් හේතුවනු ඇත. කේන්ද්‍රයක භෞම දෝෂ බිඳෙන අවස්ථාවන් බොහෝ වේ. අඟහරු එක කේන්ද්‍රයක 1, 2, 4, 7, 8, 12 යන රාශියක සිටියදී හෝ අනෙක් කේන්ද්‍රයේ එම රාශියෙම සිටින පාප ග්‍රහයා කුජගේ නැකතක සිටියේ නම් භෞම දෝෂ බිඳේ.

එසේම මේෂ ලග්න කේන්ද්‍රයක කුජ ලග්න ගතවද, ධනු ලග්නයෙන් ඉපිද කුජ 12 වැන්නේ ද වෘශ්චිකයෙන් ඉපිද කුජ 4 වැන්නේ ද වෘෂභ ලග්නයෙන් ඉපිද කුජ 7 වැන්නේ ද කුම්භ ලග්නයෙන් ඉපිද කුජ 08 වැන්නේ ද වූයේ නම් කුජ භෞම දෝෂ නැත.

හත් වැන්නට දෘෂ්ටි හෙළන සෙනසුරු අඟහරුගේ නැකතක නම් භෞම දෝෂ නැත. බලවත් වූ ගුරු හෝ සිකුරු දෙදෙනා ලග්නයේ හෝ කුජගෙන් හත් වැන්නේ සිටියේ නම් භෞම දෝෂ නැත. කුජ නීචව වක්‍රව හෝ සතුරුව සිටියේ නම් කුජ භෞම දෝෂ නැත. ජන්ම කේන්ද්‍රයක කේන්ද්‍රස්ථානවූ 1, 4, 7, 10 යන ස්ථානයක ශුභ ග්‍රහයෝ ද 3, 6, 11 යන නැකත පාපියෝද සිටි නම් කුජ භෞම දෝෂ නැත.

හත් වැන්න අධිපති 7 වැන්නේ සිටියේ නම් භෞම දෝෂ නැත. මෙවැනි තවත් භෞම දෝෂ භංග වන අවස්ථාවන් බොහෝ ඇති බැවින් ඔබගේ කේන්ද්‍රය හොඳින් පරීක්ෂා කර විවාහය සිදු කර ගැනීමෙන් යුග දිවිය සාර්ථක කර ගැනීමට හැකි වනු ඇත.

 

ජ්‍යෙතිෂ රත්නාකර

ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.