සසර සහකරුවා හා විවාහය

මාර්තු 12, 2021

ස්ත්‍රියට විවාහ කාරකයා කුජ වන විට පුරුෂයින්ට විවාහ කාරක වනුයේ ‘සිකුරුය’. පුරුෂ කේන්‍ද්‍රයක හත්වැන්න, හත්වැන්නාධිපති හා සිකුරු ගේ තත්‍ත්වය විශේෂයෙන් පිරික්සිය යුතුවේ.

 

විවාහය යනු මිනිසාගේ දෙවෙනි උපත යැයි සැලකේ. එහෙයින් එයට අපගේ උප්පත්ති ජන්ම බලය ඉහළට ඔසවා තැබීමට හෝ පහතට ඇද දෑමීමට හැකියාවක් ඇත. සරලව කීවොත් දුවන මිනිහෙකුට උත්තේජකයක් ලැබීම හා සමාන වේ.

ජනවහරේ එන කියමනක් වන “හැම සාර්ථක මිනිසෙකු පිටුපස ඔහුට ශක්තිය දෙන ගැහැනියක සිටි” යන අදහස පෙර අපර දෙදිගම පිළිගෙන ඇති සත්‍යකි. එය පුරුෂයෙකුට ගැහැනියක ලෙස අරුත් දක්වා තිබුණ ද මෙය දෙපාර්ශ්වයටම අදාළ වේ. විවාහයක ආර්ථිකය හා කුටුම්භ සංරක්‍ෂණය මූලිකව ම පුරුෂයාට භාරවන අතර දරුවන් හා ස්වාමියාගේ පෝෂණය හා සෞඛ්‍ය ප්‍රධානව සියලු වගකීම් ගැහැනියට පැවරෙනු ඇත. අද වන විට මෙම තත්‍ත්වය තරමක් වෙනස් මුහුණුවරක් ගත්ත ද යුවතිපති දෙදෙනාගේ කාර්යභාරය එය වේ.

ඇත්තෙන්ම සංස්කෘතිකමය හා සමාජ සම්මත වශයෙන් විවාහයට විවිධ වූ අගයන් දී ඇත.

ගැහැනියෙකු හා පුරුෂයෙකු සමාජ සම්මතයට ගරුකොට, එහි පැවැත්මට දායකත්‍වය සැපයීම විවාහය මගින් සනිටුහන් කරයි. ස්ත්‍රියට පුරුෂයාත් පුරුෂයාට ස්ත්‍රියත් ගසට වැල මෙන් ස්වභාව ධර්මය මගින් බැ¼දී ඇත. ලෝකෝත්තර ගමනක් යන මිනිසුන් විනා පෘතග්ජන මනුෂ්‍යයින් කුටුම්භයක් තනාගෙන සමාජ පැවැත්මට දායකත්‍වය දැක්විය යුතුවේ.

එහෙත් ඒ සඳහා සහකරුවෙකු හකාරියක සොයා ගත යුතුවේ. සසර සැරිසරන මනුෂ්‍යයාට ජීවන යාත්‍රාව පදවාගෙන යාමට එවැනි අයෙකු සොයාගැනීම එතරම් අපහසු කාරණයක් නොවුණත්, එකිනෙකාගේ රුචි අරුචිකම්වලට බොහෝ සමාන අයෙකු සොයාගැනීම ඇත්තෙන්ම දුර්ලභ කාර්යයකි. විවිධ වූ ශාස්ත්‍රයන් ගේ පිහිට ඒ සඳහා පතන මිනිසාට ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් අන් සියලු විද්‍යාවනට වඩා සාර්ථක විසඳුම් ලබා ගත හැකිය. ජන්ම කේන්‍ද්‍රය අපගේ ජීවිතයේ

සියලු පැතිකඩයන් නිරූපණය කරන්නාසේ අපට උරුම ‘ජීවන සහකරු හෝ සහකාරිය’ පිළිබඳ බෙහෝ තතු කියාපාන කැඩපතක් බඳු වේ. පරිණත දක්‍ෂ ඡ්‍යොතිර්වේදියෙකුට කේන්‍ද්‍රයක් බලා කෙනෙකුගේ විවාහය කෙබඳු එකක් ද, එය දුකද සැප ද, තමාට කුමන විදිහේ සහකරුවෙක් සහකාරියක් හිමි ද යන්න කල්තියා පැවසිය හැකිය.

ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට ලැදි පාඨකයින් සහ ආධුනික සිසු සිසුවියන් ගේ දැනුම වර්ධනය පිණිස ඒ පිළිබඳ සරල කරුණු කිහිපයක් මේ ලිපියෙන් දැක්වීමට අදහස් කරමි. කේන්‍ද්‍රයක විවාහය, සහකරු හා ඒ සම්බන්‍ධ කරුණු නිවේදනය වන්නේ හත්වැනි භාවයෙන් බව ඡ්‍යොතිෂ පිළිබඳ මූලික දැනීමක් ඇති කවරෙකු වුවද දන්නා කාරණයකි. එහෙත් හත්වැන්න විවාහයට අමතරව අප හා සම්බන්‍ධ වන අන්‍ය පාර්ශ්ව, හවුල්කරුවන් මෙන්ම, තරගයක නම් විරුද්ධවාදී පාර්ශ්වය,

වෙළෙඳ කටයුතු හා රැකියාවේ දී සේවාදායකයන් යන බොහොමයක් පිළිබඳ තොරතුරු දක්වන්නක්. ඒ වාගේම දෙවැනි භාවය, විවාහයෙන් පසු ජීවිතය හෙවත් “කුටුම්භ” සම්බන්‍ධව බල පවත්වන්නක්. මේ හැම භාවයකින් ම එකකට වඩා බොහෝ තොරතුරු නිරූපිතයි.

බොහෝ නියැදියක් අතරින් ප්‍රධාන වැදගත් එකක් තෝරා ගන්නේ කෙසේදැයි යන පැනය බොහෝවිට මේ විෂයට ආධුනිකයින්ට අපහසුවක් විය හැකිය. එනිසා හත්වැනි භාවයට අමතරව තවත් ඡ්‍යොතිෂමය කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වුවමනා කරයි. ලග්නය මුල්කොට ඇති හැම භාවයකින්ම ‘මම’ හෙවත් ජන්මියා කේන්‍ද්‍ර කොටගත් ඔහු වටා ගොඩනැඟෙන

ලෝකයත්, ඔහුත් ලෝකයත් අතර අන්තර් සම්බන්‍ධතා ගණනාවක් පිළිඹිබු කරයි. එහෙයින් එක් භාවයකින් බොහෝ තොරතුරු දත හැකිය. ඉහත සඳහන් කළ ආකාරයට හත්වැන්නෙන් දැක්වෙන ප්‍රධාන ‘ඥාතියා’ බිරිඳ හෝ ස්වාමිපුරුෂයායි.

හත්වැනි භාවයත්, හත්වැන්නාධිපතියා ත්, දෙස පමණක් බලා එම තීන්දුවට ආ නොහැකිය.

මෙම භාවයත් භාවාධිපතිත් ශුභ භාවයක පිහිටා ඇත්නම් ඉක්මන් මෙන්ම නිසි කල විවාහයක් ඉෂ්ට සිද්ධ වීමට එය හේතුවක් වේ. යම් හෙයකින් දුෂ්ට ස්ථානයකට (6 - 8 - 12) සම්බන්‍ධ වුනිද විවාහ සැපත අඩු, විවාහයක් සිදු වුණිද එය ගැටලුකාරී එකක් වීමට හැකියාව පවතී. එමෙන්ම හත්වැනි භාවය යහපත් වූ තරමට නෛසර්ගික පාප ග්‍රහයින් ගේ බලපෑමෙන් තොරවීමත් සැපවත් විවාහ ජීවිතයක් ලැබීමට හේතුවේ.

ජන්මියාගේ විවාහය කෙබඳු එකක් දැයි ඉහත කරුණු මගින් දත හැකි වුවද, ඔහු හෝ ඇය ලබන ස්වාමියා හෝ භාර්යාව පිළිබඳ නිවැරදිම අදහසක් දත නොහැකිය. ඡ්‍යොතිෂ ශාස්ත්‍රය අපට දායාද කළ ‘ඍෂිවරු’ ගේ උගැන්වීමට අනුව විවාහයට ‘කාරක වන ග්‍රහයෙක්’ දක්වා ඇත.

ඒ අනුව ස්ත්‍රියක් මුල්කොට බලන කල ඇයගේ ස්වාමියා පිළිබඳ ‘කුජ’ ග්‍රහයාගේ පිහිටීම ඉතා වැදගත් වේ. කේන්‍ද්‍රයේ කුජ යහපත් භාවයක හා රාශියක බලවත්ව පිහිටා ඇතිනම් ඇය වීර්යවන්ත දක්‍ෂ ස්වාමිපුරුෂයෙකු ලබන බව පැවසිය හැකිය. එසේම කුජ හා සංයෝගයෙන් සිටින අනෙක් ග්‍රහයින් අනුව මෙම තත්‍ත්වය අඩු හෝ වැඩි වීමට හැකියාව පවතී. ඒ අනුව බලා තීරණ වලට එළැඹිය යුතුය. ඊට අමතරව කුජගේ පිහිටීම මගින් බොහෝ තොරතුරු දත හැකිය.

ස්ත්‍රියට විවාහ කාරකයා කුජ වන විට පුරුෂයින්ට විවාහ කාරක වනුයේ ‘සිකුරුය’. පුරුෂ කේන්‍ද්‍රයක හත්වැන්න, හත්වැන්නාධිපති හා සිකුරු ගේ තත්‍ත්වය විශේෂයෙන් පිරික්සිය යුතුවේ.

පොදුවේ ගත්කල ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ‘සිකුරු’ විවාහයට බලපෑවද පුරුෂයා විවාහවන ‘භාර්යාවගේ’ භූමිකාව විශේෂයෙන් නිරූපිත වේ. එනිසා සිකුරු යහපත් භාවයක යහපත් රාශියක බලවත්ව පිහිටා සිටීම ගුණවත් ධෛර්යවන්ත පින්වන්ත බිරිඳක් ලැබීමට හේතුවනු ඇත. පෙර සඳහන් කළ ආකාරයටම සිකුරු හා සංයෝග වූ ග්‍රහයින් හා දෘෂ්ටි දෙන ග්‍රහයින් අනුව තීන්දුවලට එළැඹීම වඩාත් නිවැරදි වූ ක්‍රමවේදය වේ.

ඡ්‍යොතිෂයට ආධුනික ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුය. පුරුෂ

කේන්‍ද්‍රයක සිකුරු හතරවැනි භාවයේ බලවත්ව පාප දෘෂ්ටින්ගෙන් තොරව සිටීනම් එවැනි ජන්මියාට උගත්, ධනවත්, ගුණවත් සහකාරියක් ලැබේ. ඒ සිකුරු ග්‍රහයාට බලවත් ගුරුගේ දෘෂ්ටියක් ලැබුණි නම්, එම තත්‍ත්වය වඩ වඩාත් තීව්‍ර කර දේ. එවැනි පුරුෂයින් විවාහයෙන් පසු බොහෝ දියුණුවට පත්ව ඇති තැන් අප අත්දැක ඇත. එලෙසම ස්ත්‍රී කේන්‍ද්‍රයක කුජ ග්‍රහයා දසවැන්නේ බලවත්ව ශුභ දෘෂ්ටි ඇතිව පිහිටා ඇත්නම් ඇය ලබන ස්වාමිපුරුෂයා ද උගත්, ධනවත්, බලවත් අයෙකු වේ. එම කුජට ද බලවත් වූ ගුරු ග්‍රහයාගේ සම්බන්‍ධයක් ලැබුණි ද එය

එලෙසම ප්‍රතිඵල ගෙනදුන් අවස්ථා අප අත්දැක ඇත. එවැනි ස්ත්‍රීන් විවාහයෙන් පසු බොහෝ සැප සම්පත් ලැබ දියුණුවට පත් වන බව දක්නට ලැබී ඇත.

මනුෂ්‍යයෙක් ලෙස ඉපදෙන අපට ආහාර, ජලය, ඔක්සිජන් වැනි මූලික අවශ්‍යතාවයන් ස්වභාව ධර්මයා විසින් නොමිලේම සපුරා දෙනු ඇත. එයට අමතරව අපගේ උත්සාහයෙන් අප විසින් අපගේ ජීවිතවලට එකතු කරගන්නා ජීවී අජීවී වස්තූන් ද ඇත. එලෙස කේන්‍ද්‍රයේ හත්වැනි භාවයෙන් හා හත්වැන්නාධිපතියාගෙන් අප විසින් සසරේ එක්රැස් කරන ලද කර්ම ශක්තිය හා

වර්තමාන අපගේ උත්සාහය හා ක්‍රියාකාරකම් මත අපගේ ජීවිතයට එක්තු කරගන්නා සහකරු හෝ සහකාරිය පිළිබඳව ද දක්වයි. එසේනම් කාරකයාගෙන් අපට කුමක් අරුත් ගන්වයි ද? ඒ ස්වභාව ධර්මයට අනුව විශ්ව නීතියට අනුව අපට උරුම වන සසර සහකරුවා හෝ සහකාරිය නොවේද?

 

 

ඡ්‍යොතිෂ ආචාරිණී

ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී

ලෝලනි රණසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.