වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
විශ්මිත අනාවැකි ප්‍රකාශ කළ හැකි ක්‍රිෂ්ණ මූර්ති පද්ධති ක්‍රමය
ක්‍රිෂ්ණ මූර්ති පඬිතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙම ක්‍රිෂ්ණ මූර්ති පද්ධති ක්‍රමය අද සමාජයේ මිනිසාට තමාගේ විවිධ අවශ්‍යතාවයන් සඳහා යොදා ගත හැකි අමරණීය වූ ද කෘතහස්ත වූද ඡ්‍යොතිෂ්‍ය න්‍යායකි
1908 නොවැම්බර් මස 01 වැනි දින ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ටැන්ජෝර් දිස්ත්‍රික්කයේ උපත ලද කේ.එස්. ක්‍රිෂ්ණ මූර්ති පඬිතුමා “ෂෝඩිත මන්නත් ඡ්‍යොතීෂ් මර්තන්ඩ” යන විරුදාවලියෙන් පිදුම් ලත් විසිවැනි සියවසේ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ඡ්‍යොතීර් විද්‍යාඥයා වශයෙන් සමස්ත පෙරදිග ලෝකයේම ගෞරවාදරයට පත් විය.
එතුමා විසින් පෙර අපරදෙදිග ඡ්‍යොතිෂ්‍ය ක්‍රම පිළිබඳව පුළුල් පර්යේෂණයකට ලක් කරමින් එම ඡ්‍යොතිෂ්‍ය සිද්ධාන්තයන්හි සහ ඒවා ආදේශ ක්‍රමයන්හි විවිධ අඩුපාඩු සොයා ගන්නා ලදී. එතුමා දිගින් දිගටම කරන ලද පර්යේෂණවල අවසාන ප්‍රතිඵලය වූයේ “ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය” හෙවත් පාලක ග්‍රහයන් සහ උප අධිපති සංකල්පය නිර්මාණය වීමයි. හින්දු ඡ්‍යොතිෂ්‍යය තුළ නිවුන් දරු උපත්වලදී සැකසෙන ජන්ම පත්‍රවල එකම ලග්නය, එකම නවාංශකය මෙන්ම සමාන ග්‍රහ පිහිටීම් ද දක්නට ලැබේ. නමුත් එම ජන්ම පත්‍ර හිමියන්ගේ ජීවන රටාවන් සහ ගති පැවතුම්වල එතරම් සමාන බවක් නැති බව එතුමාගේ පර්යේෂණ තුළින් හෙළි විය. පර්යේෂණවලට ලක් කරන ලද සමාන රූපී කේන්ද්‍ර හිමි නිවුන් දරුවන්ගේ ජීවන රටාවන්, ගති පැවතුම්, රැකී රක්ෂා, අධ්‍යාපනය ආදී සාමාන්‍ය ජීවන තොරතුරුවල අසමානකම් ඇති බව එතුමා විසින් පෙන්වා දෙන ලදී. එමෙන්ම එකම මොහොතක උපන් නිවුන් දරුවන් අතරින් එක් අයෙක් අල්පායුෂ හා අනෙක් අය දීර්ඝායුෂ විය. සමාන ග්‍රහ පිහිටීම් ඇති ජන්ම පත්‍රවලින් මෙම වෙනස්කම් හඳුනා ගැනීමට නොහැකි බව ක්‍රිෂ්ණ මූර්ති පඬිතුමා පෙන්වා දුන්නේය. ඒ අනුව මෙම ක්‍රමයන්ට වඩා සියුම් ආකාරයකට ප්‍රතිඵල කිව හැකි ක්‍රමයක අවශ්‍යතාවය එතුමා පෙන්වා දෙමින් තවදුරටත් පුළුල්ව පර්යේෂණ කරමින් සාම්ප්‍රදායික නවාංශක ක්‍රමයෙන් බැහැරව විංශෝත්තරි දශාව මුල්කොට ගෙන නක්ෂත්‍ර 27 සියුම් කොටස්වලට බෙදා ඒ අනුව බැලීමේදි එකම වේලාවක උපන් නිවුන් දරුවන්ගේ ජන්ම පත්‍රවල විවිධ වෙනස්කම් හෙළිකර ගැනීමට එතුමාට හැකිවිය. ඔවුන්ගේ ජීවන තොරතුරු, හැඩරුව,අධ්‍යාපනය, රැකියාව වැනි ජීවිතයේ විවිධ පැතිකඩයන් වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමට හැකි විය. විංශෝත්තරී දශාව මුල්කොට ගෙන නැකැත් 27 සියුම් ආකාරයට කොටස් 249 කට බෙදා ගනිමින් නිවැරදි අනාවැකි සහ පලාපල කිව හැකි ක්‍රමය ක්‍රිෂ්ණ මූර්ති පද්ධති ක්‍රමය ලෙස ලොවට බිහි විය.
අංශක 360 ක් වන රාශි චක්‍රයේ ලග්න 12 ක් සහ නක්ෂත්‍ර 27 ක් ඇත. ග්‍රහයින් 9 දෙනා අතරේ එක් ග්‍රහයෙකුට නක්ෂත්‍ර 3 බැගින් මෙම නැකැත් 27 බෙදා දී තිබේ. මේෂ රාශියේ සිට සිංහ රාශිය දක්වාත් සිංහ රාශියේ සිට ධනු රාශිය දක්වාත් ධනු රාශියේ සිට මේෂ රාශිය දක්වාත් කොටස් 03 කට බෙදා ඒ තුළ ඇති නක්ෂත්‍ර ග්‍රහයන්ට වෙන් කර දී ඇත. නැකතක් අංශක 13 යි කලා 20 විංශෝත්තරි මහා දශාවේදි මෙන් අංශක කලා විකලා වශයෙන් අසමාන කොටස් 09 කට බෙදා එම කොටස් උපස්ථාන” ලෙස නම් කරන ලදී. එසේ කොටස් කරන ලද නැකැත් 27 උපස්ථාන 243 ක් වෙයි. රාශි චක්‍රයේ නැකතක් රාශි 2 කට අයත් වන ස්ථාන 6 ක් තිබේ. මෙම ස්ථාන 6 ද රාශිය නැකත උපස්ථානය වශයෙන් සැලකීමේදී රාශි චක්‍රයේ කොටස් 249 ක් වෙයි. එම උපස්ථාන 249 ලග්න ස්ඵුට වශයෙන් සලකනු ලැබේ. ඒ අනුව ජන්ම පත්‍රයක් නිවැරදිව සකස් කළ පසු ලග්න ස්ඵුටය රාශිය නැකත උපස්ථානය වශයෙන් ගත් කළ උපස්ථානාධිපතිගේ පිහිටීම අනුව ජන්මියාගේ ආයුෂ, අධ්‍යාපනය, විවාහය, රෝග පීඩා යනාදිය ඉතාමත් නිවැරදිව ප්‍රකාශ කළ හැකිය. මේ අනුව නිවුන් දරු උපත් වලදි ලග්න ස්ඵුට දෙකක් ලැබෙන නිසා උපස්ථාන දෙකක් වෙයි. එම නිසා නිවුන් දරුවන්ගේ ජීවන රටාවන් වෙන් වෙන් වශයෙන් හඳුනාගත හැකි බව ක්‍රිෂ්ණ මූර්ති පඬිතුමා පෙන්වා දුන්නේය.
ග්‍රහ ස්ඵුටද නිවැරදිව ගණනය කරගෙන ඒ ඒ ග්‍රහයන් සිටින රාශිය , නැකත, උපස්ථානය සොයා ගත්විට එම ග්‍රහයන්ගේ බල දුබලතා සොයා ගත හැකි වේ. ග්‍රහයන් කිහිප දෙනෙක් එක් රාශියක එකම නැකතක සිටියත් ඔවුන් තැන්පත්ව සිටින උපස්ථානය මත ඔවුන්ගේ බල දුබලතා හඳුනාගත හැකිය. ග්‍රහයන් අසුබ ස්ථානවල ලැගුම් ගෙන සිටියත් ඔවුන්ගේ බල දුබලකම් ඔවුන් තැන්පත් නැකතේ උපස්ථානය මත රඳා පවතී.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>