කර්මය ඇසුරින් කේන්ද්‍රයක භාව දොළොස

නොවැම්බර් 15, 2019

සත්වයාගේ උත්පාදනයට ප්‍රධාන හේතුව කර්මයයි. කර්මය යනු ක්‍රියාත්මක ශක්තියයි. එක් එක් පුද්ගලයාගේ කර්මය වශයෙන් සඳහන් කරන විට එය පොදු ධර්මතාවක් වශයෙන් නොපෙනුන ද කර්මය ද විශ්වය වශයෙන් සැලකෙන විට පොදු ධර්මතාවයක් පමණකි.

කර්මය හෙවත් ක්‍රියාත්මක ශක්තිය ක්‍රියාවේ යෙදෙන සෑම අවස්ථාවකම පුද්ගල වාදයක් ඇතිවීම සිරිතකි. එයට හේතුව කර්මය ක්‍රියාකාරි එක් කොටසකට සම්බන්ධිතව ක්‍රියාත්මක වීම නිසාය. මිනිසා හෝ සත්වයා හෝ ගහකොළ හෝ ඛනිජ වර්ග හෝ කර්මයේ කොටස් වශයෙන් ක්‍රියාකාරි බවට පරිවර්තනය වී ඇති ආකාරය පමණකි. එහෙත් කර්ම වාදය අනුව හේතු ඵල ප්‍රත්‍යයන් නිසා කර්මය ක්‍රියාත්මක වීමේදී නැවත නැවතත් උපදවනු ලබන කර්මය නිසා ලෝකයේ ක්‍රියාත්මක භාවය නොනැසී පවත්නා බව පැහැදිළි වේ.

කර්මයේ මූලික අවස්ථාවක් ගැන කල්පනා කළ හැකි නොවේ. එයට හේතුව ක්‍රියාත්මක භාවය යනු රෝදයකට සමාන පදනමක් හෙයිනි. විශ්වය ගැන සිතන විට එහි ක්‍රියාත්මක භාවය හෙවත් ග්‍රහ ලෝක, සූර්යයා, තාරකා, චන්ද්‍රයන්, මෙන්ම ග්‍රහ ලෝකවල ජීවත්වන සත්වයා ගහකොළ , ඛනිජ ජාති ආදි වස්තූන් යම් දිනෙක සම්පූර්ණයෙන් ම විනාශයට පත්වී ගොස් වායුවක් බවට පත් විය හැකි අවස්ථාවක් ඇත්තේය. මේ අවස්ථාවේ කර්මය කෙබඳු තත්වයකින් පැවතිය හැකිද යනු සලකා බැලීමෙන් කර්මය යනු පුද්ගල වාදයෙන් බැහැර වූ එකම පොදු ධර්මතාවයක් යන්න අවබෝධ වනු ඇත. එහෙත් මේ තත්ත්වයේ සිට නැවතත් කර්මයේ ක්‍රියාකාරි බව පදනම් වීමෙන් සුර්යයා ග්‍රහලෝක තාරකා ආදි විශ්ව වස්තූන් සෑදීමෙන් අනතුරුව අප ඒ පුද්ගල වාදය වශයෙන් සැලකූ තත්ත්වයටම නැවතත් කර්මය එළඹිය හැකි බව කර්මවාදය අනුව විශ්වාස කරනු ලැබේ.

මිනිසාගේ කර්ම තත්ත්වය ගැන වග විභාග කිරීමේදී කිසියම් ජීවිතයක මිනිසා ගත කරන අවස්ථාව ඔහුගේ කර්ම ශක්තිය වශයෙන් ගණන ගනු ලැබේ. මෙහිදි අප විසින් සැලකිල්ලට භාජනය කළ යුතුව ඇත්තේ කෙබඳු ජීවන මාවතක ඔහුගේ කර්මය මගින් ඔහුව ගෙන යනු ලබයි ද යන ප්‍රශ්ණයයි. මේ කාරණයේදී මිනිසත් බවක් ලැබූ සෑම අයෙකුටම මූලික න්‍යායක් ස්වභාවයෙන් ඇති විය යුතු බව අප විසින් කල්පනා කළ යුත්තේ ය. එම න්‍යාය ධර්මය කොයි තරම් දුරට අප ඒ කල්පනා කරනු ලබන මිනිසත් බවට අනුකූලව ඇත්දැයි දැන් අපට සලකා බැලිය හැකිය.

ලෝකයේ පැවතීම නියාම ධර්ම පසකින් සමන්විතව පවතී. එනම් ඍතු (උතු) බීජ, චිත්තා,ධර්ම හා කර්ම නියාම යනුවෙනි. මේ නියාම ධර්මයන්ගේ අනුකූලතාව ලෝකයේ පෝෂණය වී සම්පූර්ණ වූයේ යම් දිනක ද එදින සිට මිනිසා ලෝකයේ ජීවත් විය යුතු බව සලකා ඇත්තේය. භෞතික පැවතීම ඍතු බීජ නියාම ධර්ම නිසා ද, චිත්ත හා කර්ම නියාම ධර්මයන් අනුව අධ්‍යාත්මික පැවතීම ද වේ. මේ දෙයාකාර නියාම ධර්මයන්ගේ සම්බන්ධය නිසා ගොඩනැගෙන ලෝක ස්වභාවය ධර්ම නියාම නම් වේ. මේ අනුව ලෝක පැවැත්ම සිදුවන ආකාරයකි. ඒවා ධාතු, මූල, ජීව නම් වෙති. ධාතු ගණයේ වැඩෙන ලෝකය කර්මය හා සම්බන්ධ වන විට භෞතික ලෝකයට පමණක් සීමා වූ ඍතු නියාම ධර්මයට අනුකූලව ගොඩනැගෙන බව සළකා ඇත්තේය. මූල ගණයේ පැවැත්ම ජීව ගණය ආරම්භ කිරීමේ මූලික පියවර වශයෙන් ද සැලකිය හැකිය. ජීව ගණය ලෝකයේ ආරම්භ වූයේ මූල අවස්ථාවේ සිට යනු ජීව විද්‍යාඥයා විශ්වාස කරනුයේ මේ නිසා ය. එහෙත් ජීව ලෝකයේ ආරම්භය තෘණ වර්ගයාගෙන් පසු ඇරඹුනු සත්ව ගණයේ සිට බව ඉපැරැණි විද්වතුන් දක්වති. මෙයට හේතුව ධාතු, මූල, ජීව වශයෙන් සලකනු ලබන ලෝක ස්වභාවයේ පූර්ණතාව ඇති වනුයේ ලෝකයේ ආධ්‍යාත්මික බව ක්‍රියාත්මක වීමෙන් පසුව යයි සලකන බැවිනි. අධ්‍යාත්මික බව ලෝකයේ ක්‍රියාත්මක වනුයේ චිත්ත කර්ම, නියාම ධර්මයන්ට අනුව බව සලකති. සත්ව ලෝකයේ ආරම්භය ද මෙතැන් සිට ය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.