පිරිමි දරුවන්ට මල්වර වට්ටියේ කෑම අකැප ද?

අප්‍රේල් 23, 2021

රටක් ජාතියක් දියුණු වෙන්නෙ දූ පුතුන් නිසා. එවගේම රටක් ජාතියක් වැනසෙන්නෙත් ඒ අය නිසාමයි. පුංචි කාලේ ඉඳලම කිසිම දෙමව්පියෙක් තම දූ දරුවන් ලොකු දුවක් හෝ ලොකු පුතෙක් කරන්න උත්සාහ කරන්න එපා කියලා යෝජනා කරනවා.

 

අපිට ඕනෑ හොඳ යහපත් පුරවැසියෝ. පාසලක් විවෘත වනවා කීවේ හිරගෙයක් වහනවා කියන එකනේ. තව දෙයක් තමයි හැම කෙනෙක්ම හිතන්නෙ තම දරුවො දොස්තර හෝ ඉංජිනේරුවරයො කරන්න. ඒක නිවැරදි නැහැ. සෑම රස්සාවකම රටට සේවයක්, දැයට සේවයක් සිදු නොවෙනවා නොවේ. අඩුම ගානෙ රටේ රෝගීන් නැත්නම් දොස්තරවරුන්ගෙන් වැඩක් නැහැ.

ඕනෑම දරුවෙකුට උත්පත්තියෙන්ම කිසියම් හෝ සහජ කුසලතාවයක් ගෙනෙනවා. අන්න ඒ කුසලතාවය වටහාගෙන ඒක වැඩි දියුණුූ කරනවා නම් තමයි වැදගත්. ඉස්සර කාලේ ගැහැනු දරුවෙකු වැඩිපුරම රජයේ හෝ සංස්ථා සමාගම්වල රස්සාවල්වලට යැවුවේ නැහැ. ඒක නිසාම වැඩිදුර ඉගෙනීමට යැවුවෙත් නැහැ. නමුත් අද ඊට වඩා බොහෝසෙයින්ම වෙනස්. දරුවන්ගේ ඉගෙනීම ආරම්භ කරන්නෙ “මොන්ටිසෝරි” යෙන් වුණාට වර්තමානයේ නම් ඊටත් කලින් දරුවට ඉගෙනීම ආරම්භ කරනවා.

පුංචි දුවනියගේ වැඩිම පුතාලට වඩා ටිකක් වේගයෙන් සිදුවන බව දන්නවා. ඒ දවස්වල නම් අඩුම තරමින් වයස අවුරුදු 10-12 ක් වත් වන්ට ඕනෑ මල්වර වන්න කියල තමයි සමස්තය . නමුත් කාලගුණය හා අප ගන්නා ආහාර මත අඩු වයසින් ද මල්වර වනවා. මේ මල්වරය තමයි ගැහැනු දරුවෙකුට වන ප්‍රථම සන්ධිස්ථානය වන්නේ. දුවනියට වර තුනක් මහ බ්‍රහ්මයා දීල තිබෙනවා. මේවා නමින් මල්වර නොකිවුවට ඒ ඔක්කොම එකම වර්ගයේ තමයි. ප්‍රථම වරය තමයි මේ මල්වරය. දෙවැන්න තමයි කසාදය. තෙවැන්න තමයි ප්‍රථම දරු උපත. තව දරුවො ලැබීම නරකයි කිවුව නොවෙයි, යහපත් දරුවො සම්පතක්. මේ තුන් වතාවෙම ගැහැනිය නැත්නම් ගැහැනු දරුවා හැම අතින්ම වෙනස් වනවා.

උත්පත්තියෙන් ගෙන ආ සමහර ග්‍රහ යෝග පවා වෙනස් වනවා. ඒකට නම් චන්ද්‍රයා මූලික වනවා. ක්‍රමයෙන් වැඩී ලමිස්සියක් වෙලා දීගෙක යාමට සුදුසුකම් ලබනවා. මේ වන විට ගතින් මනසින් ඇය දියුණු වෙලා . මෙන්න මේ වයසට තමයි ගමේ ඉල්ලන් දැරියන් කියන නම් පටබැඳුණු ඉලන්දාරින්ට මේ කෙලී ගැන ඉව වැටෙන්නෙ. දීගෙක යන්න මවුපියන් සියලුම කටයුතු ඒකරාශි කරනවා. උපන්දා සිට අම්මගෙන් බීපු කිරිවලට පවු ගෙවන්නත් අවස්ථාවක් එනවා. ඒ මංගල පෝරුවේදි මංගල්‍යයෙන් පසු ස්වකීය පවිත්‍රතාවය සනාථ කළ පිරිසුදු යුවතිය දැන් පතිනියක්. මාස 10 ක් වසරක් විතර දැඩි නිහඬතාවයකින් පසු කුළුදුල් දරුවො බිහිකරනවා. ගෙදර ඔක්කොම වගේ පි‍්‍රතියි තමයි .කිසිම තහංචියක් නැහැ. ඒ වුණාට ඡ්‍යොතිෂ මාමාගෙන් යන්ත්‍ර පැලැඳි අයට ආගමික ආශිර්වාද,දේව කටයුතුවල යෙදුණු අයට නම් තියුණු තහංචියක් පැනවෙනවා. ඒ තමයි දරු ප්‍රසූතියෙන් පසු දින 90 ක් යනකං වැදුගෙවල්වලට නොයෑමට. ඔය කිව්වේ ගමේ භාෂාවෙන්. ඊට පසු කාලීනව ශරීරයට ලැබෙන පෝෂණ තත්ත්වය හා මානසික නිදහස මත ශරීරය වැහැරෙනවා.

ඕනෑම ගැහැනියකට බලාපොරොත්තු ඇති කළ දරු උපතෙදි යන්ත්‍ර පැලැඳි අයට. දේවාශිර්වාද ලැබූ අයට එම නිවසට යාම අත්හිටුවන්නෙ ඇයි.? මේ තමයි පළමු කිල්ල. දරු ප්‍රසූතියෙදී ගැහැනිය විශාල වශයෙන් කිල්ල නැත්නම් විෂබීජ රැසක් සමාජයට එකතු කරනවා. මේ තමයි ගැහැනියකගේ ප්‍රථම කිල්ල. දේවාශිර්වාද ලැබූ යන්ත්‍ර පැළැඳි අය කිසිවෙක් මේ කිල්ලට අසු වුණොත් ආශීර්වාද බලය අහෝසිවනවා. සමහර යන්ත්‍ර සූත්‍ර පුපුරනවා.

පළමු කිල්ල වැදුගෙයි කිල්ල නම් දෙවන කිල්ල කුමක්ද? ඒ තමයි මල්වර කිල්ල. ලස්සනයි කියු හැමදෙයකම පිටුපස අවලක්ෂණය තිබෙනවා. මල්වර වු පින්බර දුවණිය දින කීපයක් එක ස්ථානයකට කොටු නොවී කාලය ගත කරනවා. එතැන පොල්තෙල් පහනක් තිරය කැරකැවි දැල්වෙනවා. ඇය ශරීරයෙන් පිටකරන විෂබීජ වැඩි හරියක් මේ ගිනිදැල්ල මරා දමනවා. නියමිත දිනය වනතෙක් බිමට නොකැඩූ පොල්මල ඇයට සෙත, සොම්නස, ඉවසීමද පුරුදු කරනවා.

පහන් දැල්ල විෂබීජ මරනවා. එකම යුද්ධයක් බලනකොට. මෙපමණ ආරක්ෂාව තිබෙන නිසා කළුකුමාරයාට නම් ඇයට ආදරය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කනගාටුවෙන් හෝ මේ කුමාරියගෙන් සමුගන්න සිදුවනවා. නමුත් සම්පූර්ණ වශයෙන් ඔහු යන්නෙ නැහැ. දරුවා ස්නානය කරන තුරු ඇගේ ශරීරයෙන් දහඩිය ගන්ධය පිට වන තුරු ඇයව ලුහුබඳිනවා. ඒ ඇයගේ ශරීරයෙන් පිටවන කිසියම් හුමාලයකට ආශාව නිසා මිස ඇයට ඇති ආදරයකට නොවේ. මේ බව දන්න අම්මා කළුකුමාරයාට කිට්ටුවන්ටවත් එන්න බැරිවන්න සම්පූර්ණ ආරක්ෂාව සපයනවා. කළුකුමාරයා කිවුවේ පාතාලගිරි යක්ෂයන්ට ආවතේව කරන බලවේගයක්. එපමණක් ද නොවේ, මේ කාමරයේ සිටිනා කාලය තුළ මේ දැරිවියගේ මුහුණ යාන්තම් තෙත රෙදි කැබැල්ලකින් පිසදමනු හැර ශරීරය පිරිසුදු නොකිරීමට වගබලාගන්නවා. කිසිදු පිරිමි යොවුන් දරුවෙකුට ඒ ස්ථානයට යාමට අවසර නැහැ. ඒ ටික දින ඔවුන්ට තහනම් ප්‍රදේශයක් වනවා. ගැහැනු දරුවන්ට ඒ තහංචිය නැහැ. මේ තහංචිය අවුරුදු 05 සිට මුහුකුරා යනකන් බලපවත්වනවා. අවුරුදු 5 සිට සාමාන්‍යයෙන් 15 වන තෙක් අයට සම්පූර්ණයෙන් තහංචියි. ඡ්‍යොතිෂ මාමාගෙන් ලත් නියමිත දිනයට කලින් දින සවස් කාලයේ ඖෂධ කළය ඒ ඡ්‍යොතිෂ මාමාගෙන් ලබාගෙන උඩකින් තියනවා. නියමිත වේලාවට අම්මා හෝ රෙදි නැන්දා මේ බෙහෙත් කළයෙන් ප්‍රථමයෙන් නාවා, ඊට පසු නිවුණු ජලයෙන් ස්නානය කරනවා. සබන් ආලේපය කිරීමක් නැහැ. අවශ්‍ය නම් කොකුම් කියන ඖෂධයෙන් ශරරය ගල්වනවා.

ඒ ශරීරය රන්වන් පැහැගැන්වීමයි. මෙපමණ දිනක් අපිරිසුදුව සිටි ඇය ක්ෂණයෙන් පිරිසුදු වී පිපුණු මලක ස්වභාවය ගන්නවා. විශේෂයෙන් දත යුතු කරුණක් තමයි කොච්චර ලස්සන වුණත් මේ අවස්ථාවේදි විතරක් ඇයට ඇස්වහ කටවහ වදින්න මේ කළුකුමාරයා ඉඩ තියෙන්නේ නැහැ. කිසිම ඉඩක් නොලැබුණු කළුකුමාරයා ඇගෙන් ඉවත්වී පැවැති ආදරය කරුණාව හේතු කොටගෙන ඇයටම වෙන්වූ තෙල් කැවිලි වට්ටිය වෙනත් පිරිමි කෙනෙකුට ඉඳුල් නොකිරීමට ආරක්ෂා කරනවා.

මල්වර ස්නානයෙන් පසුව ඇයට පමණක් උදෙසා වූ කැවිලි වට්ටියට කිරිබත්, කැවිලි, කෙසෙල්ගෙඩිවලින් පිරෙනවා. පහන් 7 ක් නිවා දැමූ ඇය කිසියම් හෝ කැවිලි වර්ගයක් ඉඳුල් කරනවා. දෙවනුව මවුපියන්ට , ඥාතීන්ට , වැඩිහිටියන්ට ආචාර සමාචාර කරනවා. මේ මල්වර කැවිලි වට්ටිය රෙදි නැන්දට හැරෙන්න වෙන කිසිවෙකුට අයිති නැහැ.

අතපසුවීමකින් හෝ මේ මල්වර යුවතියට අයත් කැවිලි වට්ටියේ කිසියම් හෝ කෑමක් යොවුන් දරුවෙක් කිවුවේ පිරිමි දරුවෙක් අනුභව කළොත් ඒ දරුවට අශුභයක්ම වන්නට මේ කළුකුමාරයා වගබලා ගන්නවා. අඩුම තරමින් අතක් හෝ කකුලක් වත් කඩා දමා පළිගන්නවා. එම නිසා මේ වට්ටියේ කිසිම දෙයක් යොවුන් පිරිමි දරුවකුට නොදෙන්න වැඩිහිටියෝ වගබලාගන්නවා. මේ සියලුම දේ එනම් මල්වර දරුව ඇඳගෙන සිටි වස්ත්‍ර, ස්වර්ණාභරණ, මල්වර වට්ටිය රැගෙන රෙදි නැන්දා නිවසින් පිටවනවා. උගත් ඡ්‍යොතිෂ මාමා පිටවීම සඳහා සූර්ය උදාව හෝ බ්‍රහ්ම මූර්තිය නම් කරනවා.

වටපිට සිටින කවුරුත් මේ රෙදි නැන්දා අලුයම මුණ නොගැසෙන්න වගබලා ගන්නවා. මේ මල්වර වීම පුර තිථියට වන බවත් සමාන වයසේ සිටින අනිත් ගැහැනු ළමයින්ට ද බෝවෙන බවත්, වැඩිහිටියෝ දන්නවා.

කැවිලි වට්ටියේ ඇති කිසිම ආහාරයක් යොවුන් පිරිමි දරුවන් ඉඳුල් නොකළ යුතු බව දැනගත යුතුමය. ඔවුන් එසේ කළහොත් කළුකුමාරයාගේ කිසියම් දඬුවමකට යටත් විය යුතුමයි.

 

පාරම්පරික ඡ්‍යොතිර්වේදී /ගුප්ත ශාස්ත්‍රඥ

සම්මාන – සහතික ලාභි

මීපේගණිතගේ රන්ජිත්

විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.