සුරගුරු හා අසුරගුරු බලවත් වීමෙන් යෙදෙන අෂ්ට ලක්ෂ්මී යෝගය

ඔක්තෝබර් 4, 2024

ඡ්‍යොතිෂයේදී ඍෂි මතානුකූලව ඉතා ප්‍රබල යෝග දහස් ගණනක් දක්වා ඇත. මෙහිදී යෝග යනුවෙන් අදහස් කරනුයේ කේන්දරයේ ග්‍රහ පිහිටීම්වලට අදාළව ඒ ඒ ග්‍රහයන් නිසා ඇති කරන සුවිශේෂ සත්‍ය තත්ත්ව මත උදාවන බලයයි.

සියලුම ග්‍රහයෝ යම් යම් දෑ සඳහා කාරකවනු ඇත. ඒ අනුව රවි, කුජ, ශනි, රාහු, කේතු ආදී ග්‍රහයන් යම් යම් දෑ නියෝජනය කරන අතර සඳු, බුධ, ගුරු, සිකුරු යනුවෙන් හඳුන්වනු ලබන සෞම්‍ය ජනක ග්‍රහයෝද සුවිශේෂී දෑ නිරූපණය කරවයි. සූර්යයා නිසා සියලු ග්‍රහයෝ තම තම කක්ෂ වටා යමින් සමබරව සිටින්නා සේ ශරීරයේද කොඳු නාරටිය නිසාම මුළු මහත් ශරීරයේ සමබරව පවතින්නේය. භාෂාවේ පවා ආ ඊ උ ඒ ඕ යන ස්වරයන් නිසාම භාෂාවට පණ ලැබේ. සූර්යයා නිසා ග්‍රහයන් පවතී.

ඡ්‍යොතිෂය මහා විද්‍යාවකි. දැනට විද්‍යාවෙහි ප්‍රගතිය ඇතිවී ඇත්තේ වසර පන්සියයක් පමණ කාලය තුළදීය. එහෙත් අපේ පෞරාණික සෘෂිවරු නැමති මහා විද්‍යාඥයෝ ඊට පෙර මේ ග්‍රහලෝක විද්‍යාව දැනගෙන සිටියහ.

රාහු හා කේතු

ඉර වටා පොළව ගමන් කරන්නේය. පොළව වටා සඳු ගමන් කරන්නේය. මේ ගමනේදී උතුරුපස කක්ෂ ඡේදනය (North Node) රාහු නමින් හඳුන්වන අතර දකුණු පස කක්ෂ ඡේදනය  (South Node)  කේතු නමින් හැඳීන්වේ. රාහු යනුවෙන් නමක් යෙදුවත් එය එක් අතකින් ගණිතමය ලක්ෂ්‍යයකි. කේතුද එසේය. ඒ අනුව පැරැණි සෘෂිවරු අද සිටින විද්‍යාඥයන්ට වඩා විද්‍යාත්මක සිද්ධාන්ත මනා ලෙස දැන සිටිය අය බව පැහැදිලි කරුණකි. බුදුරජාණන් වහන්සේ මහා විද්‍යාඥයෙකි. ලෝක විදූ යැයි හඳුන්වා ඇත්තේ එනිසාය. උන්වහන්සේ මේ විඥානය පාදක කරගනිමින් සසරේ විමුක්තිය උදෙසා දේශනා කරන ලද සේක. ඍෂිවරු එවැනි පසකට යොමු නොවුණත් ඔවුන්ද බුදුන් වහන්සේ මෙන් ශ්‍රේෂ්ඨතම නොවුණත් ග්‍රහලෝක විද්‍යාව දත් විද්‍යාඥයෝම වූහ.

අප මෙහිදී ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වනුයේ ග්‍රහයන්ගෙන් සැකසෙන දහසකුත් එකක් ග්‍රහයෝගයන් අතර බොහෝ අය භාවිත නොකරන ජනප්‍රියත්වයෙන් තොර අතිවිශිෂ්ට ප්‍රධාන යෝගයක් පිළිබඳවය. එය අෂ්ට ලක්ෂ්මී යෝගයයි. මෙහිදී ග්‍රහ මඬුල්ලේ සෞභාග්‍යකාරක ධනකාරක, ජීවකාරක වශයෙන් හඳුන්වන බ්‍රහස්පති ඉතාම ප්‍රධාන තැනක් ගන්නවා සේම ඡයා ග්‍රහයකු වන රාහුද මීට අදාළව ප්‍රධාන තැනක් ගනී. මේ අනුව අසුර ගුරු වන රාහු සහ ග්‍රහමඬුල්ලේ සුරගුරු යැයි හැඳින්වෙන බ්‍රහස්පති පදනම් කරගෙන ඉතාම ඉහළ මට්ටමේ යෝගයන් ඡ්‍යොතිෂයේදී ඍෂිවරු දක්වා ඇත. අෂ්ට ලක්ෂ්මී යෝගය ඉන් එකකි.

අෂ්ට ලක්ෂ්මී යෝගය

අෂ්ට ලක්ෂ්මී යෝගය සෑදෙනුයේ මෙසේය. රාහු 6 වැන්නේ සිටියදී බ්‍රහස්පති ලග්නයෙන් කේන්ද්‍රගතව ( 1, 4,7, 10) සිටීමෙන් මේ යෝගය සෑදේ. අප තවදුරටත් තේරුම්ගත යුතු කරුණක් නම් මෙය ඉමහත් ශක්තිමත් යෝගයක් බවට පත්වීමට නම් රාහු ද බලවත්ව සිටිය යුත්තාසේම බ්‍රහස්පති ද කේන්ද්‍රගතව යහපත් ලෙස සිටිය යුතු බවයි. එසේ නොවුණොත් මේ යෝගයේ පලය එතරම් ඉහළටම නොලැබෙනු ඇත.

ලග්නය හා චන්ද්‍ර ලග්නය

මේ පිළිබඳ විස්තර කිරීමේදී ලග්නය පාදක කර ගනිමින් මෙසේ යෙදුණු විට අෂ්ට ලක්ෂ්මී යෝගය යෙදෙන්නා සේ ම මීට පරිබාහිරව චන්ද්‍ර ලග්නය පදනම් කර ගනිමින් වුවද මෙය යෙදිය හැකිය. ඒ අනුව චන්ද්‍රයාගෙන් 6 වැන්නේ රාහු සිටිය දී සඳුගෙන් කේන්ද්‍රගතව බ්‍රහස්පති සිටීමෙන්ද මේ යෝගය යෙදේ. එයත් අෂ්ට ලක්ෂ්මී යෝගයයි. ලග්නයෙන් යෙදෙන තරමටම මෙය ප්‍රබල නැතත් චන්ද්‍ර ලග්නය පරිදි යෙදෙන මේ යෝගය ඉතා සැලකිය යුතු බලයකින් යුතුය.

ජන්මියාට ගෙන දෙන සුබපල

අෂ්ට ලක්ෂ්මී යෝගයෙන් ජන්මියාට පහත සඳහන් සුබපල අට ගෙනදෙයි. 1. අධි ලක්ෂ්මී 2. ධන ලක්ෂ්මී 3. ඓශ්චර්ය ලක්ෂ්මී 4. ධාන්‍ය ලක්ෂ්මී 5. සන්ථාන ලක්ෂ්මී 6. වීර්ය ලක්ෂ්මී 7. ගජ ලක්ෂ්මී 8. විජය ලක්ෂ්මී වේ. මෙහිදී අධි ලක්ෂ්මී යනු පොදුවේ සෞභාග්‍යය ලබන බලයයි. ධන ලක්ෂ්මී යනු ධනයෙන් ආඪ්‍ය වීමයි. ඓෂ්චර්ය ලක්ෂ්මි යනු යමෙක් ලෝකයෙහි ඉහළ මට්ටමට පත්වීමේ අභිලාෂයන් සපුරා ගැනීමයි. ධාන්‍ය ලක්ෂ්මී යනු සහල් ධාන්‍ය වර්ග ආදී නොයෙක් නොයෙක් දෙයට ගැළපෙන දෑ පිළිබඳ පරිපූර්ණත්වයක් ලැබීමයි. සන්ථාන ලක්ෂ්මී යනු දූ දරුවන්ගෙන් යුක්ත වීමයි. වීර්ය ලක්ෂ්මී යනු නිර්භීත, එඩිතර, සටන්කාමී, වික්‍රමවත් භාවයයි. ගජලක්ෂ්මී යනු ශක්තිමත් බව රාජ්‍යමය බලතලවලින් යුක්තවීමයි. විජය ලක්ෂ්මී යනු සියලු දෑවලින් ජයග්‍රහණය කිරීමයි. මේ අනුව ඡායා ග්‍රහයකු වන රාහු 6 වැන්න වන උපචය ස්ථානයේ වී නම් මහා බලවත් පිහිටීමක් ලෙස මෙමඟින් නිවේදනය කරනු ඇත. උපචය යනු ඉහළ මට්ටමේ බලයකි. රාහුට 6 වැන්න මහා බලයක් ලබා දෙයි. රාහු 6 වැන්නේ ඇත්නම් එම රාහුගෙන් ලැබිය යුතු සුබපල නොඅඩුව ලැබෙනු ඇත.

බ්‍රහස්පතිගේ බලපෑම

මීළඟට ග්‍රහයන් අතර සෞභාග්‍ය කාරක ලෙස සලකන බ්‍රහස්පති කේන්ද්‍රගත වීම සිදුවිය යුතුය. මෙහිදී රාහු 6 වැන්නේ සිටියදී බ්‍රහස්පති කේන්ද්‍රගතවීම අත්‍යවශ්‍යය. එසේ වුවහොත් පමණි. අෂ්ට ලක්ෂ්මී යෝගය යෙදෙනුයේ. මෙසේ නොමැති නම් විකල්ප අෂ්ට ලක්ෂ්මී යෝගය නම් චන්ද්‍රයාගෙන් 6 වැන්නේ රාහු සිටියදී සඳුගෙන් කේන්ද්‍රගතව බ්‍රහස්පති සිටීමයි. මෙවැනි පිහිටීම් ඇති අයවලුන් පවා ධනය, ගේදොර, ඉඩකඩම්, යානවාහන, දේපළ වස්තු සම්පත් හා දූදරුවන් සහිත හොඳ මට්ටමේ ජීවිතයක් ගත කරනවා සේම සමාජයෙහි කැපී පෙනෙන වාසනාවන්තයන් බවට පත් වී ඇති බව අපි දනිමු. මේ ආකාරයෙන් ලග්න කේන්දර හෝ චන්ද්‍ර කේන්දරයෙන් යෙදී ඇති අෂ්ට ලක්ෂ්මී යෝගය මෙකී පුද්ගලයාගේ මහත් වාසනාවට හේතු වන්නේය.

ආචාර්ය ජී. ඇම්. ගුණපාල

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.