සඳුගෙන් ගුණ ලබන්න

ජූලි 5, 2024

ග්‍රහලොව මව ලෙස හඳුන්වන්නේ චන්ද්‍රයා හෙවත් සඳු ග්‍රහයා වෙයි.

රාත්‍රී උපන් අයට සඳු මව වෙයි. ඒ උතුම් මවු පදවියේ ගෞරවය පුර පක්ෂයේ සඳු ග්‍රහයා ජන්මියාට නිතරම ලබා දෙයි.

කේන්දරවල බලවත් වූ පුර පක්ෂයේ සඳු ජන්මියාට සිතේ සතුට, සැනසුම වගේම ඉගෙනුම ලබාදී හොඳ රැකියාවක් ලබාදීම, යහපත් වාසස්ථාන ලබාදීම, යහපත් විවාහයන් ලබාදීම හා විදේශගත වීම, වාහන ලබාදීම, සතුටින් සිටීමට ලැබීම හා මෙලොව හා පරලොව දියුණුවට යහපත් වූ පුණ්‍ය කි‍්‍රයාවන් කරමින් ජීවිතය යහපත්ව ගෙවීමට ජන්මියා පොලඹවාලයි. සිත යහපත් ක්‍රියාවන්ට යොමු කරවයි.

ඔබගේ රූපය, ලක්ෂණ බව, පි‍්‍රයමනාප බව හා ඉගෙනුම ලබාදීමට සඳුගෙන් විශාල මෙහෙයක් ඉටු කරදෙයි.

පුර පක්ෂයේ බලවත් සඳු තම දරුවකු ආදරයෙන් රැක බලා ගන්නා මවක මෙන් ජන්මියාව ආරක්ෂා කරයි. දියුණුව යහපත, සිතේ සතුට ලබා දෙයි. උගත්කම හා ධනය ලබාදෙයි.

එහෙත් අව පක්ෂයේ දුර්වල පාප පීඩිත වූ සඳු ජන්මියාට දුක දීම, පීඩා ගෙන දීම, මනස අවුල් කිරීම, සෙම් රෝග ඇති කිරීම, සෙම නරක් වීම. හතිය ඇතිවීම, ඇඳුම රෝග, පපුවේ සෙම් බව මතුවීම, මහා දුක දැනෙන සෙම් මඟින් හට ගන්නා රෝග මඟින් ජන්මියාට නිතරම දුක කරදරම ලබාදෙයි.

සඳු වෘෂභ රාශිය තුළ මුල් අංශක 3 (තුන) දී ඇති උත්තම උච්ච භාවයට පැමිණෙයි.

වෘෂභ රාශියේ අංශක 27 (විසිහත) සඳුට මුල ත්‍රිකෝණ බලය ලබාදෙයි.

සඳු ග්‍රහයා නීචභාවයට පත්වන්නේ වෘශ්චික රාශිය තුළ අංශක 3 (තුන) දී ය.

ස්ත්‍රීන් සම්බන්ධ බොහෝ සුබ අසුබ දේට සඳු මුල් වෙයි.

ඉගෙන ගන්නා ළමයින්ට සඳු බලවත් කර ගැනීම තුළින් ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට, මනස නිරවුල්ව ඉගෙන ගන්නා දේ මතකයේ තබා ගැනීමට, නිතරම සඳු ග්‍රහයා බලවත් වී සඳුගේ යහපත් ග්‍රහ කිරණ ලබා ගැනීමට උනන්දු විය යුතුය.

පුර පක්ෂයේ බලවත් වූ සඳු විසින් ශුභඵල ගෙන දුන්න ද අවපක්ෂයේ දුර්වල සඳු නපුරු කුඩම්මා කෙනකු මෙන් ජන්මියාට පීඩා ගෙන දෙයි. නපුරු දේම කරයි.

හිතට දුක දෙයි. සිත් කලකිරීම් , භයවීම්, තැති ගැන්ම, මුළු ගැන්වීම, උනන්දුව හා උත්සාහය නැති කර දමයි. නිතරම සෙම් රෝග සාදයි. හෘද රෝග මතු වෙයි.

 

තමා මොන දේ කරන්නට හැදුවත් බාධාවන් පැමිණෙයි. තමා සිතන දේ හරි නොයයි. කලකිරීම මුළු ජීවිත කාලය පුරාම ලබා දෙයි.

ඔබගේ කේන්ද්‍රය තුළ සඳු ග්‍රහයා දුර්වල විණි නම් ඊට ප්‍රධානම හේතුව පෙර බොහෝ කර්ම කර ඇති බව හා ස්ත්‍රී පක්ෂයේ අයට අවමන් කිරීම, පින්වන්ත අහිංසක ගුණවන්ත කාන්තාවන්ට නිරපරාදේ විපත් හා කරදර කිරීම, නින්දා අපහාස කිරීම, පෙරභවයන්හි දීත් තම මවට නොසැලකීම, මවට දුකදීම, මවගේ දුක දැක දැක ඊට පිටුපෑම, මවට කළ යුතු යුතුකම් ඉටු නොකිරීම, තමා මහ ලොක්කෙකු යයි සිතා මවට හිත රිදෙන දේම කිරීමයි.

එහෙත් ඔබට එම අවපස දුර්වල සඳුව බලවත් කර ගැනීමට හා සඳුගෙන් ලැබෙන පීඩාදිය යම්තාක් දුරට හෝ සමනය වීමට අද සිටම තම මවට සැලකීම, අඩුපාඩු සොයා බලා ඒවා ඉටු කිරීම, මවට කිසිම දුකක් වේදනාවක් නොවන ලෙස මවගේ හිත සතුටින් තැබීම අවශ්‍ය බේත් වර්ග හා ආහාරපාන වර්ග ලබාදීම කළ හැකිය. හැමවිටම තමාට පුළුවන් අයුරින් මවට සැලකීම. ඒ සමඟම ඔබ විවාහක නම් තම ආදර බර බිරිඳට සැලකීම, තම දරුවන්ට වගේම බිරිඳට සැලකීම තමා අතින් යම් හිත රිදීමක් වුනානම් වරදක් වුණා නම් එය නැවත නොවන්නට වගබලා ගැනීම හා තමා අතින් වරදක් වුණු බව පිළිගැනීම හා හිත සන්සුන් කර ගැනීමයි.

සඳුගේ අගුණ සමනය වීමට බොහෝ වත්පිළිවෙත් ඇතත් ඔබට කිරීමට පහසු මෙම වත්පිළිවෙත් කර යහපත ලබාගන්න.

නිතරම බෝධි පූජාවන් තබා සුදු නෙළුම් මල් පූජා කර සුමන සමන් දෙවියන්ට පින්දීම, කහ මල් පූජා කර පත්තිනි මෑණියන්ට පින්දීම, ඇළ දොළ වැනි ගලාගෙන යන ජලයේ මාළුන්ට කෑමදීම, මාළුවන් අනුභවය හැකි පමණ අඩු කිරීම හෝ මාළු කෑම අත්හැරීම.

සඳුගේ අපලය දුරු කරන

සඳු ප්‍රසාදක ජපය

දධි සංඛ තුෂෘර හං

ක්ෂි රොදා නීච සම්භවම්

නමාමි ශශි නම් සොභමි

ශම්භොර් මුකූට භූෂ නම්

යම් කෙනකු ඉතාම සන්සුන් සිතින් උදේ, සවස සඳු ජපය 7 වර කියන්නේ නම් යහපත සතුට හිමි වෙයි. සඳුගේ දෝෂ බොහෝ අඩුවෙයි. ශුභව සිටි සඳු නම් තවත් ශුභඵලම දෙයි. ජන්මියා උසස්ම කර තබයි.

සඳු ග්‍රහයාගේ දෝෂ දුරුවීමට මේ ශාන්තිකර්මවල යෙදෙන්න.

නිතරම දිඹුල් වෘක්ෂයට සාත්තු කරන්න. මුතු ගලක් යොදා මුදුව සාදා අත පලඳින්න.

දියේ පිපෙන මල් වට්ටියක් පිරිසුදුව ගෙන සුමන සමන් දෙවියන්ට පූජා කර තල තෙල් පහන් 7ක් බෝධිය ළඟ හෝ සුමන සමන් දේව රූපය ළඟ දල්වා පින් දෙන්න.

සතුන්ට පවා ආදරය, කරුණාව දක්වන්න. මේ යහපත් පුණ්‍ය කටයුතු ටික දිනක් කරන විට සඳුගේ දෝෂය මඟින් වන අගුණ ටික ටික සමනය වන බව ඔබටම අත්දැකීමට ලැබෙනු ඇත. එමඟින් ඔබ සතුටට පත්වීම හා සිතට සතුට ලබාදී ඔබව යහපත් පුරවැසියෙකු වීම ඒකාන්තයෙන්ම සිදුවනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.