ඔබේ ලග්නය මේෂ නම්

පෙබරවාරි 2, 2024

 

හැඩරුව, රැකියාව, විවාහය, රෝගාබාධ මෙන්ම අවසානය මෙසේ විය හැකියි.

රාශි චක්‍රයේ ලග්න දොළසකි. මෙලොව ඉපදුණ සියලුම අයට ලග්නයක් හිමිය. ලෝකයේ කොතැනක කුමන වේලාවක උපත ලැබුවත් එම මොහොතේ නැඟෙනහිර අහසේ උදාවන තාරකාව ලග්නය වශයෙන් හඳුන්වයි. දළ වශයෙන් ඔරලෝසු වේලාවෙන් එක ලග්නයක් පැය දෙකක් පමණ උදාවෙමින් පවතී. ඒ අනුව පැය විසිහතරට ලග්න දොළසක් උදාවේ. ඒ අනුව එනම් ලග්නය අනුව බලපාන එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ ජීවිත තොරතුරු හා චරිත ලක්ෂණ කෙසේදැයි දැන් සොයා බලමු.

රාශි චක්‍රයේ මුල්ම රාශිය මේෂ රාශියයි. ග්‍රහ මණ්ඩලයේ කුජට හෙවත් අඟහරුට හිමි වෙන මේෂ ලග්නය සංකේතවත් කරන්නේ එළුවෙකුගේ ස්වරූපයයි. විෂම චර පුරුෂ රාශියක් වන මේෂ රාශිය තුළ අස්විද නැකත, බෙරණ නැකත සහ කැති නැකතේ එක් පාදයකුත් හිමි වෙයි. වේගවත් බවින් හා අධික සටන්කාමි බවෙන් යුතු තරුණකම නියෝජනය කරන අඟහරු හිමි මේෂ රාශියෙන් උපත ලැබු අය බොහෝවිට සාමාන්‍ය මධ්‍ය ප්‍රමාණයේ සිරුරකට හිමිකම් කියයි. දික්වු මුහුණක් හා ගෙලක් හිමි වෙන අතර, යහපත් අංග සම්පූර්ණ අඟ පසඟින් යුක්තය. කඩිසර මෙන්ම ක්‍රියාශීලිය. ගමන් කිරීමේදී හිස කෙළින් තබා ගෙන යාම කැපී පෙනෙන ලක්ෂණයකි. නිතර සටන්කාමීත්වයට බර මොවුන් හැම අවස්ථාවකදීම මූලිකත්වය ලබා ගැනීමට කැමැත්තක් දක්වයි. හැමවිටම තමන්ගේ මතයටම අනුව ක්‍රියා කිරීමට පෙලඹෙයි. තවත් කෙනෙකුට යටත්වීමට හෝ ඔහුගේ මතයට එකඟවීමට මැළිකමක් දක්වයි. තමාට අවශ්‍ය දෙය කෙසේ හෝ ලබා ගැනීමට උත්සාහ දරයි. අන් අයගෙන් කීර්ති ප්‍රශංසා ලබා ගැනීමට වඩාත් කැමැතියි. මේෂ ලග්නයෙන් උපන් අය සමඟ තර්ක, විතර්ක කිරීම, වාද විවාදවලට යාම සුභදායක නොවේ. එයින් ඔහුට පරාජය ලැබුණත් දබර කර ගැනීමෙන් හෝ එතැනින් ජය ගැනීමට ඔවුන් පෙලඹෙන බැවිනි. කිසිම කාර්යයක් සුළුවෙන් කිරීමට කැමති නැත. හදිසි තීරණ ගැනීමට පෙලඹෙන අය වෙති. හදිසියේම ගන්නා එම තීරණවලින් බොහෝවිට පාඩු සිදු කර ගනී.

ප්‍රධාන හමුදා නිලධාරීන්, දේශපාලන නායකයන්, කාර්මික ශිල්පීන්, රසායන විද්‍යාඥයින්, විදුහල්පතීන්, වෛද්‍යවරුන්ද බොහෝවිට මේෂ ලග්නයෙන් ඉපදී ඇත. ගිනි, විදුලිය, ඉන්ධනවලට සම්බන්ධ රැකියා මේෂ ලග්න හිමියන්ට ලැබේ. පොළව ආශි‍්‍රතව කරන කටයුතුවලින්ද වඩාත් ලාභ ප්‍රයෝජන හිමි කර ගැනීමට භාග්‍යය ඇත. යන්ත්‍ර සූත්‍ර ආදිය කරවීම සම්බන්ධ රැකියාද මේෂ ලග්න හිමියන්ට උරුම විය හැකිය. ස්ව උත්සාහයෙන් කෙසේ හෝ උසස් තත්ත්වයකට ඒම ඔවුන්ගේ ලක්ෂණයකි. වහා අවබෝධ වන තීක්ෂණ නුවණක්ද හිමිය.

මේෂය චර රාශියක් නිසා සිතේ චංචල බවක් ඇති කරයි. එහෙත් ගිනි රාශියක් බැවින් යමක් කරගෙන යාමට සිතුවොත් එය කෙසේ හෝ කරගෙන යයි. සිත තුළ ඇති චංචල ගතිය පිටතට නොපෙන්වයි. තමාට කෙනෙක් පක්ෂපාතී නම් ඔහුට හෝ ඇයට ඉතාම හිතවත් වේ. විරුද්ධ නම් කෙසේ හෝ ඔහු යටත්කර ගැනීමට සිතයි. මේෂ රාශිය හිමි කුජ තරුණ බැවින්ද තද කාමයට ආශා ඇත්තෙකු බැවින්ද කොයි කාට යටත් නූනත් සහකරුට හෝ සහකාරියට යටහත් බවක් දක්වයි.

ඇයගේ හෝ ඔහුගේ අදහස්වලට සැලකිලිමත් වේ. භයානක දේවල්වලට පවා නිර්භයව ඉදිරිපත්වීම මේෂ ලග්න හිමියන්ගේ ලක්ෂණයකි. ආරක්ෂක අංශවල රැකියාවලටද මොවුන් වඩා ගැළපේ. නිතර කෑම බීම්වලට පි‍්‍රයකරන අතර ලස්සනට ඇඳීමට, පැලඳීමට හා දුරගමන්බිමන්වලටද ළැදිකමක් දක්වයි. නොඉවසිලිමත් බව සාමයට ගරු නොකිරීම මොවුන් තුළ දැකිය හැකි දුර්වලකම් වේ.

මේෂ ලග්නයෙන් උපන් අයට තුලා, මකර, කුම්භ ලග්න හිමියන් ඇසුරට වඩා යෝග්‍ය වේ. විවාහයේදී මේ ලග්නවලින් උපන් සහකරුවකු හෝ සහකාරියක හිමි වුවහොත් විවාහ දිවිය වඩාත් වාසනාවන්ත වේ. මේෂ ලග්න හිමියන්ට වෘශ්චික, මීන යන ලග්න හිමියන් කිසිසේත්ම නොගැළපේ. විවාහයේදී ප්‍රශ්න ඇතිවෙයි. ඔවුනොවුන් හැමවිටම නුරුස්සන ගතියක් පෙන්නුම් කරයි.

මේෂ ලග්නයෙන් උපන් අයට නිතර නිතර ශරීරයේ ඌෂ්ණ රෝග ඇති කරයි. තේජෝ ගුණය වැඩිවීම ඌෂ්ණ රෝගවලට හේතු වේ. මේෂ ලග්න හිමියන්ට වැලඳෙන රෝග අතර, ඇඟපත දැවිල්ල, හිසරදය, හිසකෙස් යාම, මොළයේ පීඩා, ක්ලාන්තය සිහි නැතිවීම, රත්පිත් රෝග, ලේවල සීනි හිඟවීම ආදි රෝග වේ.

ශනි, බුධ, සිකුරු ග්‍රහයෝ මේෂ ලග්න හිමියන්ට අශුභඵල උදා කරයි. රවි හා ගුරු හැමවිට ශුභපල උදාකරන ග්‍රහයෝ වෙති. ගුරු, ශනි යෝගය මේෂ ලග්න හිමියන්ට එතරම් ශුභදායක නොවේ. මේෂ ලග්නයෙන් උපන් තැනැත්තාට මාරක ග්‍රහයා වනුයේ සිකුරුය. සිකුරු දශා, අනු දශා කාලවලදී ඔවුන්ට විවිධ බාධකවලට මුහුණ පෑමට සිදුවේ. දුර්වල ග්‍රහ ගමනක යෙදෙන කාලවලදී මරණය පවා ගෙන දෙයි.

මේෂ ලග්න හිමියකුගේ කේන්දරයේ අටවැන්නේ බුධ, කුජ, ශනි නම් වඩාත්ම සැලකිලිමත් විය යුතුය. මෙසේවූ විට මෙම ග්‍රහයන්ගේ දශා කාලය තුළදීද හදිසි අනතුරුවලින් දිවි හානිවීමටද පුළුවන. මේෂ ලග්න හිමියන් බොහෝ විට රිය අනතුරු, විදුලි අනතුරු, බෝම්බ පිපිරීම් ආදියෙන් අනතුරු පෙන්නුම් කරයි. මේෂ ලග්නයෙන් උපන් අයට ශනි, බුධ, සිකුරු දශා අනු දශා තුළදී අධිකව ශුභ ඵල උදා කරයි.

 

(මීළඟට වෘෂභ ලග්නය පිළිබඳවයි)

ජෝතිෂ්‍යවේදී

හිඹුටානේ පියතිලක ද අල්විස්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.