ඉරහඳ ගමන අනුව ගණින යමකාලය

ජනවාරි 19, 2024

“කොකාට වාරයක් වේ නම් තිත්තයාටද වාරයක් පැමිණේ” මෙය ශාස්ත්‍රීය න්‍යායක පෙරවදනක් බව ඔබ දැන නොසිටින්නට ඇත. ලොව සියලු දේ සංකල්පමය වශයෙන් දෙකට බෙදෙනු ඇත. ව්‍යවහාරයේ ඇති උඩ - යට, උතුර – දකුණ, නැඟෙනහිර – බටහිර, උස – කොට, කළු – සුදු , ආදී පද බොහෝ සඳහන් කළ හැකිය. එහෙත් ශාස්ත්‍රීය කෝණයකින් මේ දෙස බැලුවෝ ඊට විශේෂිත නාම එක් කළහ. ඉසිරිස් – ඔසිරිස්, යින් – යැන්, ශිව – ශක්ති මේ කීපයකි. දර්ශනයෙහි යම් යම් වෙනස්කම් පැවතුණේ නමුදු සැඟව ඇති සත්‍ය නම් එකක්ම වේ. මේ අන් කවරක් හෝ නොව ස්ත්‍රී පුරුෂ සංකල්පයයි. ස්ත්‍රී පුරුෂ සංයෝගයේ විසංයෝගයේ සම්භෝගයේ සැඟවුණු කලාවයි. බොහෝ දෙනෙකු මේ පිළිබඳව සාකච්ඡා කරති. එහි ගණිතමය පදනම අමතක කරති.

මේ අන් කිසිවක් නොව ඉර සහ සඳෙහි හැසිරීමය. ඊට සාපේක්ෂව සියලු ස්ත්‍රී පුරුෂ සබඳතා පවත්වාගෙන යාම පිළිබඳව එනම් ලොව ඉගැන්වෙන අෂ්ට මහා විද්‍යා, ක්ෂුද්‍ර විද්‍යා, මෝක්ෂ විද්‍යා යන විද්‍යාත්‍රය භාවිතය පිළිබඳ අවශ්‍ය ගණිතමය සංකල්පය මෙම ‘ද්වන්ධ මානය’ නමැති වදනින් හෙළිදරව් කෙරෙනු ඇත. එය ඡ්‍යොතිෂය වේ. ගණිතමය රටාව හෙළි කරනුයේ ඡ්‍යොතිෂයෙනි. සූර්යාගේ සහ චන්ද්‍රයාගේ අලංකාරවූ වශීකෘත වූ අද්භූත ජනක හැසිරීම ඡ්‍යොතිෂයෙන් හෙළිදරව් කෙරේ.

පුලතිසි මහ ඍෂීන් විසින් නිර්මාණය කරන ලදැයි පැවසෙන, පළමුවන විජයබාහු නිරිඳුන් විසින් රචනා කරන ලදැයි සැලකෙන ‘සිවලිත’ ග්‍රන්ථයට අනුවත්, තොටගමුවේ ශ්‍රී රහල් හිමියන් විසින් රචනාකොට ඇති “යමයුද’ කාව්‍ය සංග්‍රහයට අනුවත් සිංහල නැකැත් කලාව තුළ මේ ගණිතය, දියකාවා, මොනරා මූලික වෙයි. පෙර කියන ලද “ශිව ශක්ති” සංකල්පයක් ව්‍යුහය ක්‍රියාත්මක වන ආකාරය දියකා මොනර සත්ව සංකේතාශ්‍රයෙන් පෙන්වා දී තිබේ. එම ශාස්ත්‍රයට දඬුමරණය යැයි කියති. යමෙක් ඊට දඬු මොනරය යැයිද පවසති.

මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා සියල්ල සමනල කඳු මුදුනින් ඇරඹී මහ මුහුදට බැසයන ආකාරයෙන් මේ ද්වන්ධ මාන සංකල්පය අධ්‍යයනය සඳහා විවිධ මාර්ග වේ. එය දඬුමරණයෙන් ඇරඹ වෙන න්‍යාය ධර්මවලට පිවිසිය හැකි එකකි. හොඳ මූලික න්‍යායන්ට අයත් ශිල්ප ශාස්ත්‍ර ඇසුරින් දඬු මරණයට පිවිසිය හැකි එකකි.

මේ ශාස්ත්‍රයට පැරැන්නෝ “උමා හෝරා ශාස්ත්‍රය’ යැයි කියන ලදී. “හෝරා ශාස්ත්‍රය” ට ඡ්‍යොතිෂය යන නමද ඔවුන් විසින් දී තිබිණි. මේ පිළිබඳ සනිටුහන්වන සම්භාවනීය ශාස්ත්‍ර ග්‍රන්ථ අනුව ඡ්‍යොතිෂය ප්‍රධාන කොටස් දෙකකට බෙදී යයි. පෘථිවි කේන්ද්‍රීය ක්‍රමය සහ සූර්ය කේන්ද්‍රීය ක්‍රමය යනුවෙනි. මේ දෙකෙහි සුසංයෝගය නැතහොත් පෙර පවසන ලද ‘ද්වන්ධමාන’ සංකල්පයේම හරය “උමා හෝරා ශාස්ත්‍රය, උමා ඡ්‍යොතිෂය නම් වෙයි.

අප ඔබ දන්නා ඡ්‍යොතිෂ ගණිතයෙහි දවසට රාශි දොළොසක් උදාවේ. ඒ ඒ භූමියෙහි ස්වභාවය, පවත්නා ප්‍රදේශය අනුව එහි උදා කාලය වෙනස් වේ. ලංකාවට සාපේක්ෂව ආසන්න වශයෙන් එක් රැසක උදාව ඉංගී‍්‍රසි පැය දෙකකි. සාපේක්ෂ සූර්ය චලිතය වර්ෂයකදී මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික ධනු, මකර, කුම්භ, සහ මීන යන රාශි දොළොස මත සිදු වේ. එය ‘ද්වාදශ ආදිත්‍ය’ සංකල්පයයි.. මේ ද්වාදශ ආදිත්‍ය දවසක් තුළ ක්‍රියාත්මක වන්නේ යැයි සලකා එනම් සූර්ය වර්ෂයක් දවසකට සමාන කොට නිපදවන ලද ශාස්ත්‍රය ඡ්‍යොතිෂ ශාස්ත්‍රය වේ. එම දවස දෙකට බෙදා දිවා – රාත්‍රී වශයෙන් ගෙන දිවා කල්හි රාශි දොළොසක්ද රාත්‍රි කල්හි රාශි දොළොසක්ද වශයෙන් ගෙන තිස් පැයකට එනම් ඉංගී‍්‍රසි පැය දොළොසකදී රාශි දොළොස දොළොස රාශි විසි හතරක් සේ උදාවන අහස් ගණිතය උමා ඡ්‍යොතිෂ් ශාස්ත්‍රය වේ. මේ යම කාලය වේ. එය සිංහල උමා ඡ්‍යොතිෂයෙහි එන සප්තයෝග ශාස්ත්‍රයෙහි එන්නකි.

යම කාලය ගැන එතෙර ග්‍රන්ථවල එතෙර ඉගැන්වීම්වල විශේෂයෙන් භාරතීය ඉගැන්වීම්වල සඳහන් තොරතුරු පළමුව විමසා බලමු. සූර්යාට ශාරන්‍යා සහ ඡායා යනුවෙන් භාර්යාවන් දෙදෙනකු සිටින බව ද මේ දෙදෙනාට දාව යම සහ කාල උපත ලැබූ බවද ඉර උදාව සහ ඉර බැසීම සලකාගෙන සිදුවන දවසේ ගණිතය යමකාලය බවද මහා කාලය ලොව කවරම රටක වුවත් උදේ 6.00ට ඇරඹෙන බවද ඒවායෙහි ඉගැන්වේ. යම දෙවියන් පිළිබඳ බොහෝ විස්තරද ඔබට අන්තර්ජාලය පරීක්ෂා කිරීමෙන් ලබා ගත හැකිය.

දැන් අප සිංහල උමා ඡ්‍යොතිෂයෙහි එන යම කාලය විමසමු. එහි ‘යම’ අරුත දෙක, ද්විකය, ද්වන්ධමානය, නිරූපණය කෙරේ. යමක ගී යනු අදහස් දෙකක් ප්‍රකට වන කාව්‍යයයි. යමා මහ පෙළහර ගින්දර සහ වතුර එකවර ශ්‍රී සිරුරෙන් විහිදී යන බව පෙනෙන්නට සැලැස් වු ප්‍රාතිහාර්යයි. මෙහිදි දවස කොටස් දෙකකට බෙදේ එයට ‘යම කාලය’ වේ. හැට පැය තිස්පැය, තිස්පැය දෙකොටසකට බෙදා නිර්මාණය වූයේ යම කාලයය. ඉදින් පෙර කියන ලද්දේ ද්වන්ධ මානය අනෙකක් නොව යම කාලයමය. ‘යම ද්විත්ව අරුතක් ඇති පදයක් බව පෙර පවසන ලදී. එනයින් දියකා, මොනර සංකල්පයද යමකාලය තුළම උපදින බව පෙනේ. මෙහි එතෙර කියනු ලබන මහාකාල සංකල්පය සහ උමා ඡ්‍යොතිෂයෙහි මෙතෙර ඉගැන්වෙන මහාකාලය අතර වෙනසකි එය පසුව විමසා බලමු.

 

උමා හෝරා සංකල්පයෙන් ප්‍රකාශ වන්නේද යම කාලයමය. දිවා කාලයේ හෝරා දොළොසකි. රාශි දොළොසක් උදාවේ. රාත්‍රි කාලයේ රාශි දොළසකි. හෝරා දොළොසකි. මේ අනුව දිවා තිස් පැයේත්, රාත්‍රි තිස් පැයේත් විසිහතරක් සම්පූර්ණයෙන් උදාවේ. උමා ඡ්‍යොතිෂය හෝ කවරම හෝ ඡ්‍යොතිෂ ක්‍රමයක් හෝ කවරම හෝ විෂයක කාලය පිළිබඳ සංකල්පය තේරුම් ගැනීම ඵලදායක වනු ඇත. පෙර කියන ලද අයුරින්ම කවර ගංගාවක හෝ ජලය මහ මුහුද සමඟ එක්වන නිසායෙන් විෂයෙහි විශේෂ මාතෘකා කවරකින් ප්‍රවේශ වන්නෙකුට වුවද මේ ද්වන්ධමානය නැතහොත් යම කාලය මුණගැසෙනු ඇත.

සිංහල උමා ඡ්‍යොතිෂයට අනුව විසල් ගංගා සතෙකි. එකට සප්තයෝග ශාස්ත්‍රය යැයි කියනු ලැබේ.

1. ගුරුළුවාය 2. දඬුමරණයය 3. යමකාලයය 4. පංච පක්ෂියාය 5. ඊසක ලිතය 6. දින මුර්තුවය 7. ශිවාලිතය

යන මේ සතය ඒ. මේ සත නිර්මාණය වනුයේ ඉර – හඳ ගමන අනුවය. එය ස්ත්‍රීත්වය සහ පුරුෂත්වය නිරූපණය කෙරේ. ලෞකික හෝ අධ්‍යාත්මික ආදරයේ මෙන්ම විශ්වයේ රිද්මය පෙන්වනු ඇත. ජීවිත ගැටලු බොහොමයක් විශ්වාසයෙන්, වේගයෙන්, සාර්ථකව විසඳා ගැනීමට සමස්ත ඡ්‍යොතිෂ විෂයම ඔබට උපකාර වනු ඇත.

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ

හෙක්ටර් පද්මසිරි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.