වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
නෑදෑයන් ගැන කියන ඔබේ කේන්දරය
ජන්ම පත්‍රයක පලාපල විමසීමට හෝ විවාහ පරීක්ෂාව සමඟ පොරොන්දම් ගළපා ගැනීමට මෙන්ම අලුත උපන් බිලිඳාට නම තැබීමට ගැළපෙන ශුභ අක්ෂර ලබා ගැනීම සඳහා වැනි කටයුත්තකට ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයකු වෙත පැමිණෙන සේවාලාභියෙකු අදාළ කාරණය සම්බන්ධයෙන් විමසනු ලබන කරුණු අපමණය.
මේ අයගේ (ජන්මියාගේ) අනාගතය කොහොමද? පොදුවේ, අධ්‍යාපනය රැකියාව වැනි කරුණුවලට අමතරව විවාහයට ලැබෙන්නේ කොහොම කෙනෙක්ද? යෝජිත තැනැත්තා/ තැනැත්තිය ශුභද / ඒ අයගේ ඥාතීන් හොඳ අයද? නැන්දා මාමා පවුලේ අය හොඳයිද? අලුත උපන් බිලිඳකුගේ නම් මවට, පියාට යහපත්ද? සහෝදර සහෝදරියන්ට අපලද? වැනි විවිධාකාර ප්‍රශ්න ගණනාවක්ම විමසන අවස්ථා ඇත. එබැවින් එම අදාළ ජන්මියාගේ කේන්ද්‍රය ඇසුරෙන්, එහි භාව දොළස මඟින් ඒ අයගේ නෑදෑකම පිළිබඳ කරුණු ගවේෂණය කොට ඊට අදාළ ශාස්ත්‍රීය තොරතුරු සොයා ගත යුතුය.
ප්‍රධාන වශයෙන් ඥාතීන් කොටස් දෙකකි. ඒ ලේ ඥාතීන් සහ බන්ධන ඥාතීන් හෙවත් නීතිමය ඥාතීන් යන දෙකොටසයි. මේ දෙවර්ගය තුළ ලේ නෑයන්, මවුපිය පාර්ශ්වයේ නෑයන්, හතර වරිගයේ නෑයන්, ඇවැස්ස නෑයන්, පවුලට බැඳුණ නෑයන්, ඉදිරියේදී සම්බන්ධ වන නෑයන් ලෙස භාවිතයේ ඇති කොටස් කීපයක්ම සිටී. දේපළ, ඉඩකඩම්, වස්තුව, පාරම්පරික උරුමයන්, පිළිබඳව කරුණු විමසන විට අතීතයේ සිටි ඇතැම් විටක තමා නුදුටු අත්තා මුත්තා ආදීන් ගැනද, වර්තමානයේ සිටින ඥාතීන් ගැනද, එමෙන්ම අනාගතයේදී කෙනකුට අවිනිශ්චිතව ලැබෙන නෑදෑයන්, එම අයගේ ක්‍රියාකලාපයන් ගති ලක්ෂණ පිළිබඳවද විමසන අවස්ථා අපමණවත් ඇත. ජන්ම කේන්ද්‍රයේ භාව දොළොස තුළින් එම අදාළ නෑදැ ස්ථානය සොයා ගත යුතු අතර, එම භාවය තුළින් ප්‍රකාශ වන ඥාතියා හෙවත් ඥාතිත්වයේ පුද්ගලයා කවරෙක්ද යන්න හඳුනා ගැනීම ඉතාම වැදගත්ය.
ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේදී පුද්ගලයාගේ ජීවන තත්ත්වය පිළිබඳව පූර්ණ කරුණු විග්‍රහයේදී පළමු භාවය ප්‍රමුඛ, හතර කේන්ද්‍රය වන 1,4,7,10 යන භාවයන් මූලික කරගනු ලබයි. දෙපාර්ශ්වයේම සමීපතම ළඟම නෑදෑයන් සොයා ගැනීමේදීද එම සිද්ධාන්තය බොහෝ දුරටම එලෙසමය. තවදුරටත් ඉදිරියට සෙසු ඥාතීන් සොයා ගැනීමට මේ සඳහා ශාස්ත්‍රයේ දැක්වෙන භාවත් භාව ක්‍රමය උපයෝගී කර ගත යුතුය. මූලික වශයෙන්ම ලග්න භාවයෙන් කරුණු ප්‍රකාශ වන්නේ ජන්මියා ගැන හෙවත් අදාළ පුද්ගලයා ගැනය. ජන්ම කේන්ද්‍රය ඔබේ නම් ඔබ ගැනය. මගේ නම් මා ගැනය.
ලග්නාධිපති ලග්නයේ සිටීම, ලග්නය දැකීම ලග්නාධිපති අපරිමිත ශක්ති බලයකින් යුතුව ශුභ ග්‍රහයකුට අයත් රාශියක සිටීම. ඒ සිටින්නේ කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණ ස්ථානයක නම්, ශුභ ග්‍රහයන් එම ග්‍රහයා දකී නම්, එම ජන්මියාගෙග් කීර්තිමත්භාවය සාගරයද ඉක්මවා පැතිරෙතැයි ජාතක රත්නාකරය නම් ශාස්ත්‍රීය ග්‍රන්ථයේ සඳහන් වේ. ලග්නාධිපති ග්‍රහයා ශුභ ග්‍රහයන් සමඟ යෝග නම් එම යෝග වූ ග්‍රහයන් අතර ද සබඳතාවය ශුභ නම්, එසේම ශුභ ග්‍රහ යෝගයක් ඇති වී, තිබේනම්, ගෙවනු ලබන දශාවද ශුභ නම් ජන්මියාට ලැබෙන ශුභ පල අපමණය.
පළමු භාව අධිපතියා හෙවත් ලග්නාධිපතියා හය,අට, දොළහ යන අශුභ භාව ස්ථානයක සිටී නම්, එම අයගේ ජීවිතය අඳුරට බරය. ලග්නාධිපති පාපී ග්‍රහයකු වී පාපී ස්ථානයක සිටී නම්, තවත් පාපීන්ට පෙනේ නම්, පාපීන් සමඟ යෝග නම් දීප්තිමත් බවින් අඩු උත්සාහයෙන් තොර මෙන්ම ජීවන අවශ්‍යතාවයක් නොසපිරුණ ඉලක්ක සපුරා නොගන්නා කෙනකුවේ.
එය එසේ වුවත් ඇතැම් විටක ශුභ භාව ස්ථාන ගත ග්‍රහයාගෙන් ශුභ පලයක් ලැබෙන අතරදීම තවත් පසෙකින් වෙනත් කරුණකට ජීවිතය නීරස කරන අශුභ පලයක්ද ලැබෙන අවස්ථා ඇත. අශුභ පල ලබාදෙන අශුභ ග්‍රහයා වෙනත් කරුණක් සඳහා ශුභ පලයක් ලබා දී ජීවිතය යහපත් කරවන අවස්ථාද ඇත. සිදුව ඇති වරදට (අපලය) හේතුවක් එම වරද නිවැරැදි කර ගැනීම මඟින් (සපලය) යහපත උදාකර ගැනීමට අවශ්‍ය සහයෝගය හෙවත් කරුණ මතුකර ගැනීමට ගවේෂණය කළ යුතුය. ඒ සඳහා භාවත් භාව ක්‍රමය උපයෝගී කර ගත හැකිය.
ජන්මියාගේ මානසික තත්ත්වයේ ඇති ක්‍රියාවන් වෙනසකට යොමුකර සමාජමය වශයෙන් හෝ ආගමික වශයෙන් එම සහනය සලසා ගත හැකිය.
ඒ සඳහා ග්‍රහ පූජා, ශාන්තිකර්ම ආදී පිළිවෙත් අවශ්‍ය නොවන අතර ඉවසීම, කලගුණ සැලකීම, පරිත්‍යාගය, උපකාර කිරීම, නිරහංකාර වීම වැනි මිනිස් ගුණාංගයන් මඟින් එම අදාළ සහනය සලසා ගත හැකිය. එමෙන්ම තවත් කෙනෙකුගේ ආශීර්වාදය ලබා ගැනීම මඟින්ද අශුභතාවය දුරු කර ගත හැකි අතර ශුභභාවය වර්ධනය කර ගත හැකිය.
අශුභ ඵලය ලැබෙන්නේ කුමන කරුණකටද? එම අශුභ තත්ත්වය ප්‍රායෝගික වශයෙන් දුරු කර ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද? යන්න ජන්ම කේන්ද්‍රයේ අදාළ භාවය තුළින් මතුකර ගත යුතු දෝෂය යෙදී තිබෙන්නේ තමාගේ ක්‍රියාවක වරදකින්ද, නැතහොත් වෙනත් ඥාතිවරයෙකුගෙන්ද, ඒ කුමන ඥාතිවරයාටද, ගැටලුව විසඳා ගැනීම සඳහා භාවිත කළ යුතු උපක්‍රමය කුමක්ද? යන්න සොයා ගත යුතුය. කිසියම් පිළිසරණක් උදව්වක් ලබා ගත යුතුනම් එසේ ලබාගත යුත්තේ කාගෙන්ද යන්නද දැනගත යුතුය. එබැවින් ඥාතිත්වයන් පිළිබඳව දැනගත යුතු අවස්ථා බොහෝවිට ඇතිවේ.
හතරවනභාවය මාතෘ ස්ථානයයි. හතර වැන්නෙන් තමාගේ මව ගැන තොරතුරු හෙළිකර ගත හැකිය. හතර අධිපති ශුභ ග්‍රහයකු වී හතර වැන්නේම හෝ ශුභ ස්ථානයක ශුභ ලෙස බලවත්ව සිටීම ශුභ ග්‍රහ සංයෝග පැවතීම, හතර වැන්නේ භාව කාරක ග්‍රහයා බලවත් වීම, ජන්මියාට ශුභය. මවද හොඳ ගුණ ගරුක කෙනෙකි. හතරවැන්න බන්දු ස්ථානයද වේ. ඒ අනුව හතරවැන්න මූලික කරගෙන මවගේ මෙන්ම මවගේ ඥාතීන් ගැනද අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය.
හත්වැන්න විවාහ ස්ථානය හෙවත් කලත්‍ර ස්ථානයකි. එබැවින් හත්වන භාවය මුල්කර ගෙන සහකාරිය සහකරු පිළිබඳව තොරතුරු මතුකර ගත හැකිය. හත්වැන්න ඇයගේ, ඔහුගේ ලග්න භාවය ලෙස සලකා ජන්මියාගේ ජීවන ගමනට ඇගෙන්, ඔහුගෙන් ලැබෙන සහයෝගය, සෙනෙහස, දයාව විශ්වසනීයත්වය. යුතුකම් ඉටු කිරීම, අන්‍යෝන්‍ය සුහද සබඳතාවය, කැපවීම දුබල හෝ ප්‍රබල බව පිළිබඳ කරුණු මතුකර ගත හැකිය. හත්වැන්න මුල්කර ගැනීම මඟින් කලත්‍රයාගේ පාර්ශ්වයේ නෑදෑ පිරිසේ ඥාතීන්ගේ තොරතුරු වෙන වෙනම දැනගත හැකිය.
දහවැන්න පීතෘ ස්ථානය වන බැවින් පියා ගැන කරුණුූ ගවේෂණය කර ගත යුත්තේ දහවැනි භාවයෙනි. එසේම එම භාවය මුල්කරගෙන පිය පරම්පරාවේ ඥාතීන් හෙවත් ලේ නෑයන්ගේ තත්ත්වයන් පිළිබඳ තොරතුරු හෙළිකර ගත හැකිය. තමා තම පියා, පියාගේ පියා, ලෙස අතීත පරම්පරාවටත් පියාගෙන් පුතාට, පුතාගෙන් පුතාට ලෙස වර්තමානයේ සිටි අනාගතයටත් අඛණ්ඩව එකම වාසගම පැවතීමේ මූලධර්මය වන්නේ ලේ ඥාතීත්වයයි.
මිනිස් ජීවියකු මෙලොවට බිහි වන්නේ ස්ත්‍රී පුරුෂ හෙවත් අඹු සැමි ශාරීරික සබඳතාව මඟිනි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේදී මෙය ප්‍රකාශ වන්නේ පළමුවන භාවය ජන්මියාත්, හත්වැන්න කලත්‍ර ස්ථානය බැවින් කලත්‍රයාත් මුල්වන බන්ධනය හෙවත් එක්වීම මතය. පළමුවැන්න ජන්මියාත් හත්වැන්න සහකාරියත් /සහකරුත් ගැනය. හතරවැන්න දහවැන්න මව සහ පියා ගැනය. මවගේ සහකරු පියාය. පියාගේ සහකාරිය මවය. එම ස්ථාන ද්විත්වය අතරද සප්තම සබඳතාවය පවතී. ශාස්ත්‍රානුකූලව මෙය භාවත් භාව සිද්ධාන්තයටද පොදුය. ජීවියාගේ උපත ඇතිවීමටත් පැවතීම හෙවත් පැවැත්මටත් හතර කේන්දරය මූලික වන බව මනාව පැහැදිලිව පෙනේ. පියා මව අතරත් සහ ජන්මියා, කලත්‍රයා අතරත් පවතින්නේ බැඳීම නිසාවන බන්ධන ඥාතිත්වය හෙවත් නීතිමය ඥාතිත්වයයි.
ඇතැම් විටෙක කෙනෙකුට අයිතිවාසිකමක්, දේපළක්, උරුමයක් හෝ අතීත ඥාති සම්බන්ධතා තහවුරු කර ගැනීමක් වැනි ප්‍රශ්නයකට අතීත ඥාතීන් පිළිබඳව දැනගත යුතු වන අවස්ථා ඇත. ජන්මියාගේ පිය පස – මවු පස අතීත ඥාතීන් හෙවත් පාරම්පරික සබඳතා ඇති ළඟම ඥාතීන් වන්නේ සීයා /අත්තප්පා සහ ආච්චි / අත්තම්මා යන දෙදෙනාය. තමාගේ එනම් ජන්මියාගේ පීතෘ ස්ථානය වන දහවැන්නෙන් දහවැන්න මත හත් වැන්නෙන් පියාගේ පියාවන සීයා /අත්තප්පා ගැන නිවේදනය වේ. දහවැන්නෙන් හතරවැන්න වන ලග්නයෙන් පියාගේ මව හෙවත් ආච්චි / අත්තම්මා ගැන ප්‍රකාශ වේ. එවිට හත්වැන්න හා ලග්නය අතර සප්තම සබඳතාවය ඇත. හතරවැන්න වන මාතෘ ස්ථානයෙන් දහවැන්න වන ලග්නයෙන් මවගේ පියා ගැනද හතර වැන්නෙන් හතරවැන්න වන හත් වැන්නෙන් මවගේ මව ගැනද ප්‍රකාශ වේ. එයද සප්තම සබඳතා ස්ථාන දෙකකි.
ජන්මියාගේ සහකරුගේ /සහකාරියගේ පියා මව පිළිබඳව සොයා ගැනීම ආරම්භ කළ යුත්තේ හත්වන් භාවයෙනි. හත් වැන්නෙන් දහ වැන්න වන හතර වැන්නෙන් කලත්‍රයාගේ පියා ගැනද, හත් වැන්නෙන් හතරවැන්න වන දහවැන්නෙන් මව ගැනද කියවේ. එවිටද හතර, දහය අතර සප්තම සබඳතාවය පවතී. විවාහ අපේක්ෂිත කාන්තාවක් හෝ ඇගේ මව විසින් අනාගත සහකරුගේ මව හෙවත් නැන්දා හොඳ කෙනෙක්ද? සැර පරුෂද එකට වාසය කළ හැකි කෙනෙක්ද? වෙනස්කම් කරයිද? යනුවෙන් විමසන අවස්ථා අපමණවත් ඇත. ඒ අනුව එම කාන්තාවට ලැබෙන නැන්දාගේ ගති ලක්ෂණ පිළිබඳව විමසන ප්‍රශ්නවලට ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයාට නිවැරැදිව පිළිතුරු දීමට සිදු වේ. එනිසා සහකරුගේ මව පිළිබඳව දැනගැනීමට දසවන භාවය හා එය මුල්කරගෙන ග්‍රහ තත්ත්වයන් ගැඹුරින් විමර්ශනය කොට කරුණු අනාවරණය කරගත යුතුය. ජීවිතයේ කම්සැප විඳීමට, භෞතික ජීවිතයේ යහපත් පැවැත්මට, කලත්‍ර ස්ථානය මුල්වන බැවින් එම හත්වන භාවයට සම්බන්ධ වන කරුණු ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුවේ. විවාහ ගැළපීම් පොරොන්දම් ගැළපීම් සුදර්ශන චක්‍රය වැනි විශේෂ ශාස්ත්‍රීය ක්‍රමවේදයන් ඒ සඳහා ඇත්තේද එනිසාය. හත්වන භාවයේ තත්ත්වය ශුභ වුවත් දසවන භාවයෙන් ඊට නොගැළපෙන තත්වයක් ඇතිවී තිබේනම් සහකරුගේ මවගෙන් කිසියම් අශුභදායි තත්ත්වයක පෙරනිමිති පැවතිය හැකිය. ඊට පිළියම් ලෙස පූර්ව සූදානමකින් කටයුතු කිරීම සඳහා වන මනෝවිද්‍යාත්මක උපදෙස්, අවවාද ලබා දීම, ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයාගේ යුතුකම හා වගකීම වන්නේය. එමෙන්ම බින්න විවාහයකදීද එම පුරුෂ ජන්මියාගේ හතරවැන්න මාමා හෙවත් සහකාරියගේ පියා ගැන හෙළිවන එම භාවයේ කරුණූ ගැන අවබෝධය ලබා දිය යුතුය. ඊට ගැළපෙන ලෙස එවිට ජන්මියාට පූර්ව සූදානමකින් කටයුතු කිරීමට මඟ සලසා ගත හැකිය. එවිට පැරණි කියමනකට අනුව තල් අත්ත හා හුළු අත්ත මතු ප්‍රයෝජනය සඳහා ළඟ තබා ගත යුතු වන්නේ නැත. එනම් කුටුම්බයෙන් ඉවත් වී යන්නට සිදු වන්නේ නැත.
ප්‍රධාන ත්‍රිකෝණ ස්ථානයක් වන පස්වැන්න පුත්‍ර ස්ථානයයි. එම පස්වන භාවයෙන් ජන්මියාගෙන් ඉදිරියට ආරම්භ වන ඉදිරි පරම්පරාව වන දරුවන් ගැන කියවේ. එම දරුවන්ට අනාගතයේදී ලැබෙන කලත්‍රයන් ගැන දැනගත යුත්තේ පස්වැන්නෙන් හත්වැන්න වන එකොළොස් වන භාවයෙනි. පස්වැන්නෙන් පස්වැන්න වන නව වැන්නෙන් ජන්මියාගේ දරුන්ගේ දරුවන් හෙවත් මුනුපුරු මිනිබිරියන් ගැන ප්‍රකාශ වේ. එම නව වන භාවයද ප්‍රධාන ත්‍රිකෝණ ස්ථානයකට අයත් ධර්මස්ථානයයි. ලග්නයෙන් ජන්මියා, පස්වැන්නෙන් දරුවන්, නව වැන්නෙන් මුනුපුරු මිනිපිරියන් ලෙස ප්‍රධාන ත්‍රිකේණාස්ථාන තුන අන්‍යෝන්‍ය ලෙස බැඳෙන අතර එම පිරිස ඉතා සමීප සබඳතා තිබෙන ලේ ඥාති පිරිස වේ. මුනුපුරු මිනිබිිරියන් ගැන කියවෙන නව වැන්නෙන් හත් වැන්න වන තුන්වැන්න මඟින් එම පිරිසගේ කලත්‍රයන් ගැන දැනගත හැකිය. අතීතයෙත්, වර්තමානයටත් ඉන් ඉදිරියට අනාගතයටත් ඥාතිත්වය සොයා ගැනීමට භාවත් භාව ක්‍රම සිද්ධාන්තය මඟින් එලෙස හැකියාව ලැබේ.
භාවත් භාව සිද්ධාන්තය මඟින් යම් කරුණක් පර්යේෂණාත්මකව අධ්‍යයනය කරන විට එය ක්ෂුද්‍ර ලෙස නොසිතිය යුතුය. එහි ක්ෂුද්‍ර බවක් නැත.
කරුණු හදාරන්නට හදාරන්නට එහි ක්ෂේත්‍රය පුළුල් වෙයි. එනිසා එම ක්‍රමයද පුළුල් විෂය පරාසයක්ය. ජන්මියාගේ සහෝදර ස්ථානය තුන්වැන්නයි. තුන්වැන්නේ තත්ත්වය මඟින් ජන්මියාගේ සහෝදර සහෝදරියන් ගැන දැන ගත හැකිය.තුන්වැන්නෙන් හත්වැන්න වන නව වැනි භාවයෙන් එම සහෝදර සහෝදරියන්ගේ කලත්‍රයන් පිළිබඳ කියවේ. ජන්මියාගේ සහෝදර සහෝදරියන් පිරිස ලේ ඥාතින් වන අතර එම පිරිසට විවාහයෙන් එකතුවන පිරිස බන්ධනීය හෙවත් නීතිමය සහෝදර සහෝදරියන් වේ එම පිරිස නෑනලා සහ මස්සිනාලා වේ.
මාතෘ ස්ථානයෙන් තුන්වැන්න වන හය වැනි භාවය මඟින් මවගේ සහෝදර සහෝදරියන් ගැන ප්‍රකාශ වේ. මවගේ සහෝදරයන් ජන්මියාට මාමාලා වේ. සහෝදරියන් ලොකු අම්මලා, පුංචි අම්මලා වේ. පීතෘ ස්ථානයෙන් තුන්වැන්න වන දොළොස්වන භාවය මඟින් පියාගේ සහෝදර සහෝදරියන් ගැන කියවේ. පියාගේ සහෝදරයන් ජන්මියාට ලොකු අප්පච්චිලාත් බාප්පා වේ. සහේදරියන් නැන්දලා වේ. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේදී සාමාන්‍යයෙන් අශුභ භාව දෙකක් ලෙස සැලකෙන සප්තම භාව දෙකක් වන හය වැන්න හා දොළොස්වැන්න මූලාශ්‍රයෙන් ජන්මියාට උපතින්ම අතිවිශාල ඥාති පරපුර රාශියක උරුමය සමඟ නියෝජනය හිමිවේ. මඟුලට මරණෙට, ලෙඩට, දුකට, බණට පින්කමට, අත්තමට කයියට, තනි නොතනියට ඕනෑ කරන ලෙස පවතින අත් නොහරින නැදෑ සමූහය ලෙස සමාජමය ව්‍යවහාරයේ හඳුන්වන ජන්මියාගේ සමීපතම ඥාති පිරිසට එම අයද එම අයගේ දරු පිරිස්ද අයත් වේ.
පියාගේ සහෝදර සහෝදරයන් ජන්මියාගේ ලේ නෑයන් වේ. මවගේ සහෝදර සහෝදරියන් මවු පාර්ශ්වයෙන් හෙවත් මවගේ පියාගේ පාර්ශ්වයෙන් මාතෘත්වයේ ලේ නෑයන් වේ. මවගේ සහෝදරයන් මාමලාද, පියාගේ සහෝදරියන් නැන්දම්මලාද වශයෙන් එම ඥාතිත්වය මඟින්ම ඇවැස්ස නෑදෑකමක් ලෙස ඥාතිත්වයක්ද පිරිනමයි. පවුල් දෙකෙහි ඥාතිත්වය අනාගතයට තවදුරටත් සමීපව පවත්වා ගත යුතු නම් පියාගේ සහෝදරියකට මවගේ සහෝදරයෙකු සමඟ විවාහයට ඇතුළත් විය හැකිය. එවිට එම යුවළ ජන්මියාට මාමා සහ නැන්දා වේ. ඒ දෙදෙනාගෙන් ජනිත වන දරු පිරිසද ජන්මියාට ඇවැස්ස ඥාතින් වේ. සහෝදරිය නෑනා වන අතර සහෝදරයා මස්සිනා වේ. පියාගේ සහෝදරියකට මවගේ සහෝදරියක සමඟද එලෙසින්ම විවාහ දිවියට එක්වීමට හැකිය. එම දෙදෙනාගෙන් ජනිත වන දරුවන් ජන්මියාට තමන්ගේම සහෝදර සහෝදරියන් ලෙස ලේ ඥාතින් වේ. පියාගේ සහෝදරයා පියා ලෙසම මවගේ සහෝදරිය මව ලෙසම ඉතාම ළඟ ඥාතිත්වයක් පවතී. ඇතැම්විට කෙනෙකු ජීවත්ව සිටියදී බිරිද මිය ගිය පසු බිරිදගේ සහෝදරියක් එම අය සරණ පවා ගැනීමද එයට සමාන ඥාති තත්ත්වයකි. එම තැනැත්තිය ජන්මියාට පුංචි අම්මා වේ.
ජන්මියාගේ පියාගේ සහෝදරයකුගේ දියණියකට තවත් සහෝදරයකුගේ පුත්‍රයකු සමඟ විවාහ විය නොහැකිය. එම අය එකම ලේ ඥාතිත්වයක් ඇති ඥාතින්ය. එමෙන්ම මවගේ සහෝදරියකගේ දියණියකටද තවත් සහෝදරියකගේ පුත්‍රයකු සමඟ විවාහ විය නොහැකිය. එම දෙදෙනාද මවු පාර්ශ්වයේ ලේ ඥාතින්ය. විශේෂයෙන් එම චාරිත්‍රය ලාංකික සිංහල ජන සමාජය තුළ ස්ථිර ලෙසම පවතින සියලුදෙනාම ඒකීය ලෙස පිළිගෙන ඇති මේ දක්වාම අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන ගෞරවණීය කුල සිරිතකි. එය ඉදිරියටත් එලෙසම පවතී.
ජන්මියාට ( පුද්ගලයාට) තම පියාගේ පියා මවගේ මව ලෙසින් පවතින අතීත පරම්පරා දෙපාර්ශ්වයද, තම මවගේ මව, මවගේ පියා ලෙසින් එලෙසම පවත්නා අතීත පරම්පරා දෙපාර්ශ්වයද හතර වරිගයේ ඥාතීන් ලෙස හඳුන්වයි. එලෙසින්ම ජන්මියාගේ කලත්‍රයාටද ඒ ලෙසින්ම හතර වරිගයේ ඥාති සමූහයක් සිටී. එවිට එම අට වැදෑරුම් ඥාති පිරිසේ ඥාති සමූහය තුළ සිටින පුද්ගලයන්ද එම අය ඔවුනොවුන්ගේ අනාගතය සඳහා සබඳතා ඇති කරගත් ඥාතින් සමඟම ජන්මියා ඥාතිත්වයෙන් බැඳී යයි. එවිට එම තැනැත්තා අතිවිශාල පරාසයක පිරිසක් සමඟ ඥාතිත්වයෙන් බැඳී සිටින කෙනෙකු බව පැහැදිලිය. “නෑයකු නොවන කිසිවකු නැත” යනුවෙන් සමහර දෙනෙකු අතර ව්‍යවහාරමය මතයක් පැවතෙන්නේද එනිසා විය යුතුය.
ඇතැම් විටෙක සංස්කෘතිකමය ලෙස හේ කුල මල වශයෙන් ජාතිමය ආගමික වශයෙන් ඇතිවන සමාජමය වශයෙන් අසම්මත යැයිද පිළිගන්නා විවාහයක් යම් දෙදෙනෙකු ඇති කර ගත් අවස්ථාද සමාජයේ ඇත. එවිට එම අය සමීප ඥාතින් විසින් ඇසුරෙන් ඉවත් කළද ඥාතිත්වය ඉවත්වන්නේ නැත. ඥාතියා ඥාතියාමය.
ජන්මියාගේ පියාගේ, සහෝදර, සහෝදරියන්ගේ දරුවන් ගැන ප්‍රකාශ වන හතර වැන්නෙන් පස්වැන්න වන අටවැන්නෙන් එම අයගේ දරුවන් ගැන ප්‍රකාශ වේ. මවගේ සහෝදර සහෝදරියන්ගේ දරුවන් ගැන කියන දහවැන්නෙන් පස්වැන්න වන දෙවැන්නෙන් එම දරුවන්ගේ දරුවන් ගැන ප්‍රකාශ වේ.
මේ පිරිස් ජන්මියාට ඥාතිත්වයෙන් මුනුපුරු මිනිපිරියන් වේ. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේදී අටවැන්න හා දෙවැන්න මාරක ස්ථාන ලෙස සැලකේ. එම භාව දෙක විමසා බැලීමේදී මරණය, බෝවීම, වෙන්වීම, නැතිවීම, ඉවත්වීම දුරස්ථවීම ක්ෂයවීම යන අර්ථයන්ද ගැබ්වී ඇත.
එලෙස අටවැනි හා දෙවැනි භාව දෙකෙන් ජන්මියාට ඥාතිත්වයෙන් හිමිවූ මුනුපුරු මිනිබිරියන් සමහරකු තුළ සමහර විට ජන්මියා නොහඳුනන අයද සිටිය හැකිය. ඒ වන විට සොබාදහම විසින් ජන්මියා වැඩිහිටි වියටද පත්කර ඇත. එලෙස පුළුල් වූ මුනුපුරු මිනිබිරියන් පිරිස් වෙනත් පාර්ශ්ව සමඟ බන්ධනය වී ඇති බැවින් ජන්මියා සමඟ ඇති ඥාති සබඳතාවයේ බැඳීමද ක්ෂය වී ගොස් ඇත. හිමිව තිබුණ හා උපයා සපයාගත් වස්තුව දේපළ, ධනය, සම්පත්, ඉඩකඩම් හා මිල මුදල් ආදී සියල්ලම ස්වාභාවිකවම දරු මුනුපුරන්ට හිමිවී අන්සතු වී ඇත. සමහර විට ජන්මියා ජීවිතයෙන්ද සමුගෙන ඇත. ඉතිරි වන්නේ එතෙක් කළ හොඳ නරක පමණි. ජොතිෂ ශාස්ත්‍රයේ සත්‍යයද සොබාදහමේ නීතියද, කර්මයේ පලයද ධර්මයේ යථාර්ථයද එයයි. ඒ අනුව ඥාතින් පිළිබඳ කරුණු ගවේණයේදීද අටවන භාවය හා දෙවන භාවය ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ පවතින භාව සිද්ධාන්ත තුළ මාරක ස්ථාන ලෙස නොවෙනස්ව ඉස්මතු වී පෙනේ.ඡ්‍යොතිෂ විදුරවි ටිකිරි බණ්ඩාර හේරත්