ජීවන ගමන කියන කුජ රේඛාව

සැප්තැම්බර් 8, 2023

 

ජීවන රේඛාවට සමාන්තරව මහපට ඇගිල්ල පැත්තෙන් විහිදෙන රේඛාව කුජ රේඛාව ලෙස හඳුනාගත හැකිය. ජීවන රේඛාවට පාර්ශ්වික රේඛාවක් වශයෙන් පිහිටන මේ සමහර පුද්ගලයන්ගේ අත්වල රේඛා එකකට වඩා වැඩි ගණනක් තිබිය හැකිය. රේඛාවේ නිසා ජීවන රේඛාචේ ප්‍රබලතාවය තව තවත් තීව්‍ර කරන අතර ජීවන රේඛාචේ ඇති යම් යම් දුබලතා මගහරවයි. ජීවන රේඛාවට අමතරව කුජ රේඛාවන් කිහිපයක් පිහිටි අත්ල හිමි පුද්ගලයන්ට තම ජීවන ගමන ගෙන යාමට උපකාර කරන අමතර බලවේගයන් ද ඇත.

කුජ රේඛාව අත්ලේ සටහන් පුද්ගලයා ප්‍රබල ශරිර ශක්තියක් ද මනා සෞඛ්‍ය තත්ත්වයක්ද පැහැදිලි පිළිවෙතක්ද උපතින්ම උරුම කර ගනියි. නමුත් මොවුන් ස්වයං උත්තේජන කාර්යයන් සඳහාද කැමැත්තක් දක්වයි. මේ නිසා මද්‍යසාර භාවිතය වැනි කටයුතුවලට ඇබ්බැහි විය හැකිය. මේ මඟින් ස්නායු පද්ධතිය අනිසි උත්තේජනය වීම මඟින් හෘදයාබාධ ඇතිවීමට ඉඩ ඇත. ඒ වගේම ඉවසිලිවන්ත බව අඩුකම කලබලකාරි කේන්ති ගන්නා ස්වරුපය සහ කලහාකාරි ගතියද පෙන්නුම් කරයි. එහෙත් අධිෂ්ඨානශීලි බව සහ උත්සහවන්ත බව මඟින් මෙම දුර්ගුණ මැඩ පවත්වා ගත හැකිය. මේ මඟින් ධනවත් පුද්ගලයකු විය හැකිය. එසේම මෙම රේඛා ලක්ෂණ සහිත පුද්ගලයන් අන්‍යයන් කරදරයට පත්වූ අවස්ථාවල අවස්ථානෝචිත ආකාරයට උදව් උපකාර කිරිමට ඉදිරිපත් වේ. මුල් කාලයේ ලෞකික දියුණුව සඳහා දැඩි ලෙස වෙහෙසෙන අතර වයස්ගත වු විට ලෝකෝත්තර සුවය පතා පින් දහම් කිරිමට පෙළඹේ.

පහළ කුජ මණ්ඩලය සහ සිකුරු මණ්ඩලය තුළ ජීවන රේඛාවට සමාන්තරව විහිදෙන කුජ රේඛාව ජිවන රේඛාවට ආසන්න වන ප්‍රමාණය අනුව ජීවන රේඛාවේ ප්‍රබලතාවය තව තවත් උද්දීපනය කරයි. මේ තත්ත්වය ජීවිත කාලය පුරා දීප්තිමත්ව ගත කිරීමට සහයක් වේ. මොවුන් විරුද්ධ ලිංගිකයන්ට ඇති දැඩි රුචිය නිසා අසම්මත පෙම් සබඳතාවල් පැටලීමටද පුළුවන. ජීවන රේඛාවට ඉතා සමීපයෙන් කුජ රේඛාව ගමන් කරන අත්ල හිමියා ඇවිස්සුණු ස්වභාවයෙන් කාලය ගත කරයි. නිතරම කලහාකාරි ස්වභාවයෙන් යුක්තය. නඩු හබවලට පැටලීමට ආශාකරයි. ජීවන රේඛාව සහ සමාන්තරව මුල සිට අග දක්වා විහිදෙන්නේ නම් මුළු ජීවිත කාලය පුරාම සැප පහසු දිවියක් ගත කිරිමට අවස්ථාව උදාවේ. තමන්ට ගැළපෙන විවාහ සහකාරියක් හෝ සහකාරියක් ලැබෙයි. විශේෂයෙන් ස්ත්‍රී පක්ෂයට වඩා පුරුෂ පක්ෂයට ඉතා සුදුසු ආදර වන්තියක් ලැබීමේ වාසනාව හිමිය.

ජීවන රේඛාවට ඈතින් කුජ රේඛාව පිහිටි විට තමාට බලපෑම් කරන පුද්ගලයකු සිටින අතර ඔහු තමාට වඩා දුරින් සිටින පුද්ගලයකු වේ. සමහර විට පිටරට විය හැකිය. සමාන්තර කුජ රේඛා කිහිපයක් ඇතිවිට එම අත්ල හිමියාට බලපෑම් කරන බාහිර පුද්ගලයකු හෝ පුද්ගලයෝ කිහිප දෙනකු සිටින අතර රේඛාවල ප්‍රබලතාවය අනුව බලපෑම අඩුවැඩි වේ. මෙම පුද්ගලයන් තමාගේ ළඟින් සිටින නෑදෑයන් මව්පියන් මිතුරන් සහකරු හෝ සහකාරිය විය හැකිය.

කෙටි කුජ රේඛාවක් පිහිටන්නේ නම් කුජ මණ්ඩලයේ යම් යම් ගතිගුණ පමණක් දිවිගමනට උදව් කරන පිහිටිමක් වේ. නමුත් නිතරම කාංසාව ඇති කරයි. එසේම කුජ මණ්ඩලයේ ගතිගුණ සෞඛ්‍යයට, දියුණුවට සහ තම ආරක්ෂාවට උපකාරි වේ. නිතරම සිතේ බියක් රජ කරන නිසා ලෞකික සහ ලෝකෝත්තර දියුණුවට බාධා පමුණුවයි. කුජ රේඛාවෙන් අතු ශාඛාවක් චන්ද්‍ර මණ්ඩලයට යන්නේ නම් සංචාරය ඔවුන්ගේ ජීවිතය කර ගනී. එසේම මොවුන් සුරාව සහ අනියම් කාන්තා ඇසුර සඳහා ද වැඩි කැමැත්තක් දක්වයි. නමුත් අතු රේඛාව ජීවන රේඛාව කැපෙන වයස පුද්ගලයාට කනගාටුදායක සිද්ධීන්වලට මුහුණ පෑමට සිදුවේ. කුජ රේඛාවෙන් අතු ශාඛාවක් ශීර්ෂ රේඛාව සමඟ එකතු වන්නේ නම් මානසික තත්ත්වය තවත් වැඩිවේ. එම අතු ශාඛාව ශිර්ෂ රේඛාව කපාගෙන විහිදෙන්නේ නම් උවමනාවට වඩා මානසික වෙහෙස වීම නිසා මොළයේ ශක්තියට හානි පැමිණේ.

ඉහළට විහිදෙන අතු ශාඛාවක් දෛව රේඛාව හා එකතු වන්නේ නම් ජීවන තත්ත්වය උසස් වීම ස්ථිරය. එහෙත් මේ අතු මඟින් දෛව්‍ය රේඛාව හෝ රවි රේඛාව කපයි නම් පහළ කුජ මණ්ඩලයේ ඇති අනර්ථකාරි තත්ත්වයන් රැකියාවට බලපායි. කුජ රේඛාවේ අත්තක් චන්ද්‍ර මණ්ඩලයේදි කෙළවර වන්නේ නම් කාමුක ක්‍රියාවලට පුද්ගලයා පෙලඹේ. අත්ල රළු නම් මෙම තත්ත්වය වැඩිය. කුජ රේඛාව ජීවන රේඛාව කපාගෙන කුජ තලාවට හෝ චන්ද්‍ර මණ්ඩලයට යන්නේ නම් ප්‍රමාණය ඉක්මවා කාමුක සැපවිඳ අකාලයේ මිය යයි. කුජ රේඛාවෙන් කරුවක් ලෙස බෙදී එක් ශාඛාවක් චන්ද්‍ර මණ්ඩලයට ගොස් ඇතිනම් දරදඬු පුද්ගලයකු බිහිවන අතර එසේත් නැතිනම් මානසික රෝගියකු බවට පත්වේ. එසේ චන්ද්‍ර මණ්ඩලයට යන කරු ශාඛාවේ අග තරු සලකුණක් ඇත්නම් පුද්ගලයා සුරා පානය නිසා මානසික රෝගියකු බවට පත්වේ. කුජ රේඛාව කැඩි කැඩී ගමන් කර ඇත්නම් රේඛවෙන් ලබාදෙන සුබ හෝ අසුබ තත්ත්වයන් පුද්ගලයාට බල නොපාන අතර කුජ රේඛාව දෛව්‍ය රේඛාවට වඩා ප්‍රබල නම් ඉතා උසස් කෙනකු සමඟ විවාහය සිදුවේ.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.