බලපෑම් රේඛාව හා සිකුරු රේඛාව

අගෝස්තු 18, 2023

ඕනෑම පුද්ගලයකුට ජීවිත කාලය පුරාම ගැටලු සහ ප්‍රශ්න රහිතවම ජීවත්වීමට නොහැකිය. කුමක් හෝ බධා කරදරවලට මේ ජීවත්වන කෙටි කාලය තුළ මුහුණ දීමට සිදුවේ. මේ තත්ත්වය ඉතාම නිවැරැදිව හස්ත රේඛා පරීක්ෂාවේදි බලපෑම් රේඛා පරික්ෂා කිරීමෙන් අපට තහවුරු කරගත හැකිය. සිකුරු මණ්ඩලයෙන් ඉහළ කුජ මණ්ඩලයෙන් සහ පහළ කුජ මණ්ඩලයෙන් ආරම්භ වී අනෙක් ප්‍රදේශ කරා විහිදෙන අමතර රේඛා බලපෑම් රේඛා ලෙස හැඳින්වේ. බලපෑම් රේඛාවලින් පෙන්නුම් කරන්නේ අපට බලපාන බාහිර සාධක පිළිබඳවයි. සිකුරු මණ්ඩලයෙන් එන රේඛා තමාගේ ජීවන පිළිවෙතට සහ ආදර බන්ධනවලට ඇතිවෙන බලපෑම පෙන්වයි.

යම් පුද්ගලයෙකුගේ අත්ලෙහි සිකුරු මණ්ඩලයේ සිට එන රේඛා ජීවන රේඛාව දක්වා විහිදී ඇත්නම් බාහිරව බලපෑම් කරන අයක් සිටින බවට ලක්ෂණයකි. ඒ තමාගේ ආදර සහකරු සහකාරිය නැදෑයන් දෙමාපියන් විය හැකිය. එහෙත් එම බලපෑම් රේඛා ජීවන රේඛාව හමුවීමෙන් පසු ජීවන රේඛාවේ වෙනසක් සිදු වී නැත්තම් ජීවිතයේ වෙනසක් සිදු නොවේ. බලපෑමක් සිදුවී ඇත්නම් ජීවන රේඛාවෙන් එම වයස ගණනය කර ගත හැකිය. එසේම එම රේඛා ජීවන රේඛාව කපාගෙන යන්නේ නම් ජීවන රේඛාව කැපීමෙන් පසුව ඉතිරි කොටසේ ස්වභාවය සහ අනෙකුත් රේඛාවන්හි ස්වභාවය මත බලපෑමේ තත්ත්වය තීරණය කිරීමට සිදුවේ. සිකුරු මණ්ඩලයෙන් එන රේඛාවක් මඟින් ජීවන රේඛාවේ අතු ශාඛාවක් කපා දමන්නේ නම් හෝ ආදර වන්තියගේ බලපෑම නිසා රැකියාව අහිමිවීම පෙන්වයි.

එසේම තරුවකින් සිකුරු මණ්ඩලයෙන් ආරම්භ වන බලපෑම් රේඛාවක් ගුරු මණ්ඩලයට ගමන් කරන්නේ නම් ආදරවන්තිය ආදරවන්තියගේ උදව් උපකාර ඇතිව තම ජීවිත අරමුණු බලාපොරොත්තු මල්පල ගැන්වෙන බව පෙන්වන රේඛා ලක්ෂණයකි. එසේම සිකුරු මණ්ඩලයේ දි තරුවකින් ආරම්භ වන රේඛාවක් ශීර්ෂ රේඛාවට විහිදි අවසන් වේ නම් කායික මානසික ස්වභාවය කෙරෙහි අහිතකර බලපෑමක් සිදුවන ආකාරයේ කටයුතු ආදරවන්තයා හෝ ආදරවන්තිය විසින් සිදුකරන බව පෙන්වන රේඛා ලක්ෂණයකි. එලෙස තරුවකින් රේඛාව ආරම්භ නොවී හෘද රේඛාවට තරුවකින් සම්බන්ධ වුවහොත් තමා කෙරෙහි සහකරු හෝ සහකාරිය දැඩි බලපෑම් ඇති කරන අතර එම තත්ත්වය ඉවසා ගත නොහැකිව අදර සම්බන්ධය නවතා එහි බලපෑම නැති කර ගැනීමට වුවද සිදුවේ. මෙසේ සිකුරු මණ්ඩලයෙන් එන රේඛා බිඳී ඇත්නම් සිදුවන බලපෑම තාවකාලිකව නතර වේ. එහෙත් සිකුරු මණ්ඩලයෙන් එන වක ගැසුණු බලපෑම් රේඛාවක් රවි මණ්ඩලයට ගමන් කර ඇත්නම් සහකරු හෝ සහකාරියගේ චපල ගති නිසාවෙන් විවාහයක් වී නම් දික්කසාද වීමට පවා හේතුවන කාරණා යෙදිය හැකිය.

බලපෑම් රේඛා හෙවත් කරදර රේඛා ඉහළ කුජ මණ්ඩලයෙන් ආරම්භ වන්නේ නම් එයින් පෙන්නුම් කරන්නේ පුද්ගලයාට බාහිර පුද්ගලයින්ගෙන් ඇතිවන බලපෑම් නොවන අතර තමාගේ අදහස් හා ඇදහීම් නිසා ඇතිවන බලපෑම්ය. ඉහළ කුජ මණ්ඩලයෙන් බුධ මණ්ඩලයට බලපෑම් රේඛා ගමන් කරන්නේ නම් එම පුද්ගලයා සියලු දේම සිදුකරන්නේ සහ සිතන්නේ මුදල් ලබාගැනීම අරමුණු කරගෙනය. එම පුද්ගලයාගේ මුලික අරමුණ මුදල් ඉපැයීමයි. එහෙත් රේඛාව රවි මණ්ඩලයට ගමන් කර ඇත්නම් එම පුද්ගලයා සිනමා නළුවකු හෝ නිළියක වීමට උත්සහා කරයි. ඒ සඳහා ඇති ආශාව සිතේ රජ කරවන බව පෙන්වන ලක්ෂණයකි. එසේම රේඛාව ශනි මණ්ඩලයට ගමන් කර ඇත්නම් ගුප්ත ශාස්ත්‍ර ගුප්ත දේ පුද්ගලයාගේ දිවි ගමනේ බලවේගයි. සමහර විට ඒ පිළිබඳව හැකියාව ද පෙන්වයි. එහෙත් රේඛාව ගුරු මණ්ඩලයට ගමන් කර ඇත්නම් තමාගේ විශ්වාස සහ ඇදහිලි ජීවිතයට බලපාන බව පෙන්වන ලක්ෂණයකි.

පුද්ගලයකුගේ අත්ලෙහි ගුරු ශනි ඇඟිලි අතරින් පටන් ගෙන රවි බුධ ඇඟිලි අතරින් ගමන් කරන වෘත්තාකාර රේඛා ඛණ්ඩය සිකුරු චක්‍රය ලෙස හැඳින්වේ. සමහර විට මේ රේඛා කොටස් වශයෙන්ද පැවතිය හැකිය. එසේම පුද්ගලයකුගේ අත්ලෙහි සිකුරු චක්‍ර එකකට වැඩි ගණනක් ද තිබිය හැකිය. කුඩා දෙයකින් වුවත් පෑරෙන සිතක් ඇති බුද්ධිමත් පුද්ගලයන්ගේ අත්ලේ මෙම සලකුණ පිහිටා ඇත. වරින් වර චිත්ත ස්වභාවය වෙනස්වීම, සතුටින් මෙන්ම දුකින් කාලය ගත කිරිම, අසහනකාරි සිතිවිලිවලින් යුක්ත වීම මෙවන් අත්ල හිමියන්ගේ ස්වභාවයයි. සමහර විට මානසික රෝගාබාධ තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. මේ රේඛාව ඇතිවිට තමා කැමති විෂයක් සම්බන්ධව ඉතා උනන්දුවෙන් ක්‍රියාකිරිම දැකිය හැකිය. එහෙත් සිකුරු චක්‍රය අත්ලක පිහිටීම එතරම් සුබ ලකුණක් නොවේ. මෙම රේඛාව පිහිටි පුද්ගලයෝ වැඩිවිය පැමිණීමත් සමඟම සීමාරහිත රාගික සිතුවිලිවලින් යුක්ත අයවෙති. රාගයේ මානසික පැත්ත පිළිබඳ බොහෝ කරුණු සිකුරු චක්‍රයෙන් අනාවරණය කරගත හැකි අතර රාගික කටයුතු පිළිබඳ කායික පාර්ශවය විස්තර දැක්වෙන්නේ සිකුරු මණ්ඩලයේය. තමා බලාපොරොත්තු වන ආකාරයේ රාගික සන්තුෂ්ඨිය සපුරා ගැනීමට නොහැකි වු විට මානසික රෝගීන් බවට පත්විය හැකිය. සිකුරු චක්‍රයේ දුබලතා ඇතිවිට මෙම තත්ත්වය වඩාත් ප්‍රකට වේ. මෙමඟින් ප්‍රජනන පද්ධතියේ ආබාධ පෙන්නුම් කරයි.

තද රතු පැහැති මෙවැනි රේඛාවක් දෛව්‍ය රේඛාව සහ රවි රේඛාව කපාගෙන ගොස් පිහිටි විට එමඟින් දෛව්‍ය රේඛාව සහ රවි රේඛාවල ඇති සුබ ලක්ෂණ අවම කරයි. රාගික සිතුවිලි නිසා බූද්ධිය හීන කරයි. අධික රාගික සිතුවිලි තමාගේ වෘත්තිය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරන ලක්ෂණයකි. එහෙත් රේඛාව ඉතා සිහින් පැහැදිලි රේඛාවක් නම් පුද්ගලයා පාඨකයන් ඇදබැඳ ගන්නා ආකාරයට ලේඛණ කටයුතු කළහැකි සාහිත්‍යධරයකි. එම ආකාරයේ රේඛාව රවි මණ්ඩලයේ දි කුඩා හරස් රේඛාවකින් කැපි ඇත්නම් අනවශ්‍ය ආදර සම්බන්ධතා මඟින් පුද්ගලයා දිවිගමන අඳුරු කරගනී. සිකුරු චක්‍රය කොටස් වශයෙන් පිහිටා ඇත්නම් එය ඉතා සුබ ලක්ෂණයකි. එවිට බොහෝ සංවේදි පුද්ගලයකු බිහිකරයි. සිකුරු චක්‍රය හෙවත් ශුක්‍ර මේඛලාව රවි රේඛාවට වඩා ප්‍රබලව පිහිටා රවි රේඛාව කපයි නම් තම දක්ෂතා සහ ලැබෙන අවස්ථා ඉතාම වැරැදි ආකාරයට ප්‍රයෝජනයට ගැනීම නිසා රැකියාවට හානි සිදු කර ගනි.

මෙම රේඛාවේ අවසානයේ බන්ධන රේඛා හෙවත් විවාහ රේඛාව කපයි නම් සහකරු හෝ සහකාරියගෙන් බොහෝ දේ බලාපොරොත්තු පුද්ගලයකුගේ බිහිවේ. ඔවුන්ගේ විවාහය අසාර්ථකය. රේඛාව බුධ මණ්ඩලයෙන් අවසන් වන්නේ නම් මුදල්වලට ලොල් බවක් පුද්ගලයා ඇති කර ගනී. ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගන්නේ සහකරු හෝ සහකාරියගේ බොහෝ දේ ලබා ගැනීමේ අරමුණ සහිතවය. සහකාරිය තෘප්තිමත් කරන්නේ මුදල් ලබා ගැනීමේ අරමුණ සහිතවය. එමෙන්ම මේ රේඛා එකකට වැඩි ගණනක් පිහිටා ඇත්නම් එම පුද්ගලයා සීමාන්තික සංවේදි භාවයක් සහිත පුද්ගලයෙකි. වැරැදි කිරීම මෙවන් අත්ල හිමි පුද්ගලයාගේ ලක්ණයකි. එබැවින් ඔවුන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. කිසිදා තෘප්තියට පත් නොවන ඉතා කෑදර පුද්ගලයෙකි. මේ සමඟම දුබල දෛව්‍ය රේඛාවක් ඇත්නම් ඔහු ඉතා කුසීතය. එමෙන්ම කාමුක බව මුල් කරගෙන ජීවත් වෙයි.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.