වගකීමෙන් වැඩ කරන කුකුළාගේ රාශිය

ජූලි 21, 2023

කුමන රටක, කුමන ඡ්‍යොතිෂ්‍ය ක්‍රමයකින් හෝ තමාගේ චරිත ලක්ෂණ, තමා ගෙවන ජීවිතය, අනාගතය ගැන කියවෙන තොරතුරු දැන ගැනීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වති. එම කැමැත්ත නිසාම අපි චීන ඡ්‍යොතිෂ්‍යයේ රාශි දොළහ පිළිබඳ හා එම රාශීන්ට මේ වසර ගත කිරීමේ දී ඇතිවන සුබ අසුබ ඵල කෙසේ දැයි මේ ලිපි පෙළෙන් ඉදිරිපත් කරමින් සිටින්නෙමු. ඒ අනුව මෙතෙක් අපි චීන රාශි දොළහෙන් රාශි නවයක් පිළිබඳ කතා කළ අතර ඒ පිළිබඳ ඉදිරිපත් කළ තොරතුරු සඳහා ඔබෙන් ලද ප්‍රතිචාර මේ ගැන තවත් කරුණු ඉදිරිපත් කිරීමට ලැබුණු උත්තේජකයකි.

අද අප කතා කරන්නේ චීන ඡ්‍යොතිෂ්‍යයේ දහවැනි රාශිය වන කුකුළා රාශිය පිළිබඳයි. පළමුවෙන් ම කුකුළා රාශිය හිමි පුද්ගලයන්ගේ චරිත ස්වභාවය හා එම රාශිය පිළිබඳ තොරතුරු ගැන දැන ගනිමු. කුකුළා රාශියට අයත් වන්නේ 1933, 1945, 1957, 1969, 1981, 1993, 2005, 2017 යන වසරවල ඉපදුණ අයයි. සාමාන්‍යයෙන් කුකුළා රාශියේ පුද්ගලයන් ගැඹුරින් සිතන, හොඳ සන්නිවේදනයක් සහිත, දීප්තිමත් චරිතයකට හිමිකම් කියන අයයි. ඔවුනට උණුසුම් හදවත් ඇතත් අන් අය සමඟ සම්බන්ධතා පැවැත්වීමේ දී තරමක් දුර්වල වන්නේ නිරන්තරයෙන් තමා නිවැරැදි යැයි සිතන නිසයි. කුකුළාගේ රාශියේ පුද්ගලයෝ ඔවුනගේ කාර්යයන්හි දී වගකීමෙන් වැඩ කරති. එමෙන්ම ඔවුන්ගේ ක්‍රියාවන් ඍජු හා තීරණාත්මක වේ. නොගැළපෙන හා පරිපූර්ණත්වය ගැන සිතන අය බැවින් දකින දේ ඍජුවම ක්‍රියාත්මක කරයි. තාර්කිකව කටයුතු කරන මේ පුද්ගලයන් කණ්ඩායම් කළමනාකරණයේ දක්ෂයන් වේ. පවුල යනු ඔවුනගේ රැකවරණය සපයන ස්ථානය හා පාරාදීසයයි. ඔවුන් විශාල පවුලකට ආසා කරයි. ඉන් අදහස් වන්නේ ඔවුන්ව දිරිමත් කිරීමට සහ සහයෝගය දැක්වීමට වැඩි පිරිසක් සිටින බවයි.

කොතරම් අසීරු කටයුත්තක් වුවත් අත නොහැරීම ඔවුනගේ ස්වභාවයයි. නමුත් කිසිවකු ඔවුනගේ මාර්ගය අවහිර කරන්නේ නම් ඔවුනගේ දරුණු පැත්ත විරුද්ධවාදීන්ට දැකගැනීමට සලස්වයි. පහසුවෙන් වාද විවාදවලට එළඹෙන කුකුළා රාශියේ පුද්ගලයන් කෝපයට පත් වූ විට තරමක් බිය උපදවයි. එහිදී තමාට පැරදුම ලැබුණත් ඉන් නොනවතින මොවුන් තමාගේ පැත්තට අන් අය නම්මවා ගැනීමට විවිධ උපක්‍රම භාවිත කරයි.

කුකුළාගේ රාශියේ උපන් පිරිමි පුද්ගලයන් හැමවිටම වෙනස්වන සුළු වේ. ඇතැම් විට ප්‍රීතියෙන් සිටින අතර ඇතැම් විට ආවේගශීලී වේ. නමුත් අනෙක් අයගේ ගැටලු විස¼දීමට උදවු කිරීමට කැමැත්තක් දක්වයි. තීරණයක් ගැනීමට පෙර සියලු අංශ කෙරෙහි

අධ්‍යයනය කිරීම ස්වභාවයයි. නිවෙසේ දී ඔවුන් සැලසුම් සහගතව අය වැය ගණනය කරයි. මේ පුද්ගලයන්ගේ දුර්වලතා වන්නේ චපල පෞරුෂය හා අන් අයට සවන් නොදීමයි. මේ දුර්වලතා මඟහරවා ගන්නේ නම් වඩාත් හොඳ පුද්ගලයන් වේ.

කුකුළාගේ රාශියේ උපන් කාන්තාවන් පිටතින් සරලව පෙනේ. මොවුන් අන් අයගේ වැරැදි දැකීමට අකැමැතිය. එමනිසා අනෙක් අයට සෑම විටම නිවැරැදි මාර්ගයට යාමට උපකාර කරයි. අහංකාරත්වයෙන් තොර, විශ්වාසවන්ත චරිත බව පැවසිය හැකිය. ඉහළ බලයක් සඳහා ආශා කළ ද තමාගේ පවුලට ද දැඩි ලෙස බැඳුණු චරිත වේ. අන් අය විසින් තමා අගය කරනවාට කැමැත්තක් දක්වයි. අවස්ථාවක් ලබා දෙන්නේ නම් ඔවුන් තමා සතු සැබෑ හැකියාවන් මුදා හරිනු ඇත.

කුකුළාගේ රාශියේ පුද්ගලයෝ මුදල් ගැන සැලකිල්ලක් නොදක්වති. ඔවුහු ඉක්මනින් මුදල් උපයා ගන්නා අතර ඉක්මනින් මුදල් වියදම් කරති. වෘත්තීය කුසලතා හා ධෛර්ය ඇති බැවින් බුද්ධිමත් තේරීම් සිදු කරයි. නමුත් වැදගත් තීරණ සම්බන්ධයෙන් වඩාත් ප්‍රවේසම් වෙනවා වෙනුවට ඔවුන් බොහෝ විට ඒවාට බාධා කරයි. මේ රාශියේ පුද්ගලයන්ට වඩාත් ගැළපෙන වෘත්තීන් වන්නේ ඔවුනට ප්‍රමාණවත් ඉඩක් සහ නිදහසක් ලබා දෙන වෘත්තීන් ය. මේ අනුව දේශපාලකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, සංචාරක මාර්ගෝපදේශකයන්, විලාසිතා නිර්මාණකරුවන් වැනි වෘත්තීන් ඔවුනට වඩාත් ගැළපේ.

සමස්තයක් වශයෙන් කුකුළා රාශියේ පුද්ගලයන්ට සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයක් ඇත. මෙයින් අදහස් කරන්නේ බරපතළ රෝගාබාධ නොමැති නමුත් කුඩා සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බවයි. මොවුනගේ ආහාරවේල මනෝභාවයට පවා බලපායි. එමනිසා මෙය ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලුවලට පවා හේතු විය හැකියි. මොවුනට තමාගේ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීමට හොඳම ක්‍රමය වන්නේ තමා සතු නරක පුරුදු හා අධි සංවේදී පෞරුෂය නිවැරැදි කිරීමයි.

කුකුළා රාශියේ පුද්ගලයන්ට වඩාත් ම ගැළපෙනුයේ මකරා රාශියේ පුද්ගලයන් ය. කුකුළා මකරාගේ පිටුපස සිට මකරාට සහාය වීමට කැමැත්තෙන් සිටින අතර මකරාගේ ජයග්‍රහණ කුකුළාට ආඩම්බරයකි. සර්පයකු සමඟ කුකුළාට ජීවිතය ගැන සාකච්ඡා කිරීමට සහ සිහින පසුපස හඹා යාමට හැකිවේ. ගවයා සතු අවංක බව සහ ගතානුගතිකත්වය කුකුළාගේ පෞරුෂය සමඟ හොඳීන් ගැළපේ. ඔවුනගේ සම්බන්ධතාව ස්ථාවර ලෙස වර්ධනය වේ.

නමුත් කුකුළා හාවා සමඟ දැඩි සේ ගැටෙයි. එකිනෙකාට වෙනස් අදහස් ඇති බැවින් එකිනෙකා තේරුම් ගැනීමට නොහැකි වීම මේ ගැටුම්වලට මූලික වේ. කුකුළන් හා බල්ලන් අතර ඇත්තේ සීතල සබඳතාවකි. ඔවුන්ට එකිනෙකා ඉවසා සිටිය හැකි වුවද එය ආතතියෙන් පිරී ඇති සබඳතාවකි. ඔවුන් අතර නිතර ගැටුම් ඇතිවන අතර සම්මුතියකට පැමිණීමට ද අපහසු ය.

කුකුළාගේ රාශියේ අයට වාසනාව කැඳවන වර්ණ වන්නේ රන්වන්, දුඹුරු, කහ යන වර්ණයන් ය. වාසනාව කැඳවන අංක ලෙස අංක 5, 7, 8 දැක්විය හැකිය.

වාසනාව ගෙනෙන පාෂාණ වන්නේ ස්ට්‍රෝබෙරි ක්‍රිස්ටල් ය. අවාසනාව කැඳවන වර්ණ ලෙස රතු, තැඹිලි, දම් වර්ණයන් දැක්විය හැකි අතර අවාසනාව කැඳවන අංක ලෙස අංක 2, 5, 6 දැක්විය හැකියි.

දැන් අපි මේ වසර කුකුළාගේ රාශියේ උපන් පුද්ගලයන්ට ගෙන දෙන සුබාසුබ කෙසේදැයි බලමු. මේ හාවාගේ වසර කුකුළාගේ රාශියේ පුද්ගලයන්ට සුබා සුබ මිශ්‍රව පවතී. ආදරයෙන් ඉතා සතුටට පත්වන අතර වැඩ කටයුතු දියුණු කිරීම සම්බන්ධයෙන් දැඩි අතෘප්තිමත් බවක් ඇති වේ. එසේ වුවත් ඔබ සේවා ස්ථානයේ එකතැන පල් නොවී සිටීමට මෙන්ම රැකියාව අහිමි වීමේ අවධානම නැතිකර ගැනීමට නම් හොඳීන් තමාගේ වැඩකටයුතු කිරීමට උත්සාහ කරන්න. එමෙන්ම වෘත්තීය කුසලතා ඔබේ ජීවිතයට එකතුකර ගන්න. එසේ කිරීමෙන් රැකියාව තවදුරටත් රැක ගැනීමට ඔබට හැකියාව ලැබේ.

රැකියාවේ දී ඇතිවන වෙහෙස, ආතතිය දුරු කිරීමට ආදරය හා ගෘහ ජීවිතය ඔබට උපකාරී වනු ඇත. කාර්යාලීය වැඩ නිවෙසට ගෙන යාමට ඔබ උත්සාහ නොකරන අතර එය ඉතා හොඳ පුරුද්දකි. ඔබේ සහකරුගේ මෙන්ම පවුලේ අයගේ සන්සුන් මානසිකත්වය ඔබට ද යහපත් ලෙසින් බලපෑම් කරනු ඇත. නමුත් හැම දෙයක්ම සුබවාදී වෙතැයි සිතා කටයුතු කිරීමෙන් වළකින්න.

මේ වසර කුකුළාගේ රාශියේ අයට අංශක 360ක, එනම් සම්පූර්ණ වෙනසක් අනෙක් වසරවලට වඩා ඇති වන බව කිව හැකියි. ඔබ විවාහක වුවත් අවිවාහක වුවත් ඔබේ ආදර ජීවිතය ඉදිරි කාලයට නැංගුරමක් වනු ඇත. අවිවාහක ඔබ බොහෝ අංශවලින් අන් අයගේ අවධානයට ලක්වනු ඇත. ඔබේ මිතුරු කණ්ඩායමේ සිටින අයෙක් ඔබ කෙරෙහි ඇති ඔහුගේ හෝ ඇයගේ උනන්දුව ගැන හදිසියේ ම කතා කළ හැකිය. කෙසේ වුවත් හොඳ විශ්වාසවන්ත අයකු පමණක් තෝරා ගැනීමට අවධානය යොමු කරන්න. මේ වසරේ දී විවාහක ඔබගේ ද ආදරය නැවුම් බවකින් පිරී යනු ඇත. නමුත් වෙනත් පිටස්තරයන් ඔබ ගැන උනන්දු වුවහොත් එය ඔබේ සහකරු හෝ සහකාරිය හොඳීන් බාරනොගන්නා බවද සිතට ගන්න. ඔබ වෙනුවෙන් කැප වී සිටින ඔබේ සහකරුව රැක ගැනීමට කටයුතු කරන්න. ඔබේ ආදරය ඔබේ ඉදිරි ජීවිතයට මුල් ගල වන බැවින් අනෙකුත් පිටස්තරයන්ගේ උනන්දු වීම් වලට වඩා වටින බව සිහියට ගන්න.

මේ වසරේ දී ඔබේ දෙපයින් නැගී සිටීමට උත්සාහ කරන්න. ඊට අමතරව ඔබේ රැකියා සබඳතා ශක්තිමත් කරගන්න. සතුරන් ඇතිකර ගැනීමට වඩා මිතුරන් ඇතිකර ගැනීමට උනන්දු වන්න. ඔබට යම් වැරැදීමක් සිදු වුවහොත් ඔබ වෙනුවෙන් කතා කිරීමට බොහෝ මිනිසුන් සිටිනු ඇත. මතක තබා ගන්න මේ වසරේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිතට ගන්න. ඔබට යම් කාර්යයක් කිරීමට අපහසු නම් ඒ වෙනුවෙන් අන් අයගෙන් උපකාර ඉල්ලා සිටින්න. අනවශ්‍ය අභිමානයකින් ක්‍රියා කිරීමට වඩා එය ඔබට සාර්ථකත්වය ලබා දීමට සමත් වේ.

ඔබට මේ වසරේ දී වැටුප් කප්පාදුවකට මුහුණ දීමට සිදු විය හැකියි. නැතහොත් ඔබේ රැකියාව අහිමි වී ටික කලක් විරැකියාවෙන් පීඩා විඳීමට සිදු විය හැකිය. මේ කාලය රැකියාව සඳහා ඔබ නැවත සූදානම් කිරීමට ලද විවේකයක් ලෙස සලකා කටයුතු කරන්න. එය ඔබ වඩා හොඳ තත්ත්වයකට රැගෙන යනු ඇත. ඔබේ වියහියදම් ගැන තරමක් සැලකිල්ලෙන් කටයුතු කරන්න. ආයෝජන කිරීමේ දී ඔබේ මුදල් නැති වී යාහැකි බැවින් ඒ ගැන සැලකිලිමත් නොවුණහොත් ණය තුරුස් වීමට පවා සිදු විය හැකියි.

කුහුඹුවන් වැසි කාලයට ආහාර ගබඩා කරන සේ මුදල් ඉතිරි කිරීමට සිතට ගන්න. එය ඔබගේ දුෂ්කර කාලයේ දී පිහිටක් වනු ඇති. ඔබ ඉතාමත් මහන්සි වී පාඩම් කිරීමට සිතට ගත්ත ද එය ඔබට වැඩි ආතතියක් ඇති කිරීමට හැකිය. එමනිසා කුමන කාර්යයක් කිරීමේ දී වුවද අවශ්‍ය පමණට වැඩකර යම් විවේකයක් ද ගැනීමට උනන්දු වීමෙන් එම ආතති තත්ත්වය මඟ හරවා ගත හැකියි.

කුමන දේ සිදු කළත් තමා ගැනම යම් සැලකිල්ලක් දැක්වීමට මතක තබා ගන්න. මේ වසරේ දී ඔබේ සෞඛ්‍ය ගැන වඩාත් සැලකිලිමත් වන්න. කාංසාව සහ මානසික පීඩනය ඔබේ ආහාර ජීර්ණයට සහ උදරයේ නිරෝගීතාවට බලපෑම් ඇති කරයි. අධික ලෙස ආහාර ගැනීමෙන් වළකින්න. මේ වසරේ දී මත්පැන් භාවිතය ද ඔබට සුදුසු නොවේ.

ඔබේ මනස සන්සුන්ව තබා ගැනීම සඳහා භාවනා කිරීමට පුරුදු වන්න. එමෙන්ම ශාරීරික සෞඛ්‍ය රැක ගැනීම සඳහා ව්‍යායාම කිරීම පුරුද්දක් කරගන්න.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.