හත්වන භාවය

මාර්තු 10, 2023

 

ජන්ම කේන්ද්‍රයක හත්වැනි කොටුව හෙවත් හත්වැනි භාවය කලත්‍රස්ථානය යන නමින් හඳුන්වයි. හත්වැන්න විවාහය ගැන කියන රාශිය වේ. පුරුෂයකු නම් ඔහුගේ භාර්යාව සම්බන්ධව ද ස්ත්‍රියකුගේ නම් ඇයගේ ස්වාමියා සම්බන්ධව ද ඒ දෙදෙනාගේ සම්බන්ධතා ගැන ද හතෙන් බැලිය හැකි වේ.

 

යුග ජීවිතය ගැන කියන භාවය හත්වැන්න වේ. යුග ජීවිතයේ පැවැත්ම හා දෙදරායාම පිළිබඳව හතෙන් බැලිය හැකිවේ. හතේ උච්ච ශුභ ග්‍රහයකු සිටීම උසස් විවාහයකට හේතුවේ.

වෙළහෙළඳාම, හවුල් ව්‍යාපාර, රැකී රක්ෂා ආදිය ද හතෙන් බැලිය යුතු වේ. හවුල් ව්‍යාපාර සඳහා සම්බන්ධ වන අනිත් කොටස්කරුවන්ගේ සම්බන්ධතා පිළිබඳව ද හතෙන් බැලිය හැකි වේ. රැකියාවේ ස්ථිරභාවය හෙවත් ස්ථිර රැකියාවක යෙදී සිටී ද යන්න හතෙන් බැලිය යුතු වේ. හවුලේ සිදුවන ගමන් බිමන් ගැනද හතෙන් බැලිය යුතු වේ.

හතරවැන්නෙන් හතරවැන්න, හත්වැන්න වන බැවින්, මවගේ දේපළ, වාහන සම්බන්ධවද හතෙන් බැලිය යුතුවේ. සුරැකි දේපළ සම්බන්ධව ද හතෙන් බැලිය හැකි වේ.

හත්වැන්න 8 වැන්නෙන් දොළොස්වැන්න වේ. එබැවින් හත්වැන්න මාරක ස්ථානය ද වේ. මරණය සම්බන්ධවද හත ප්‍රධාන ස්ථානයක් ගනී.

ශරීරයේ උකුල හා ඒ අවට ප්‍රදේශය හත්වැන්නට අයත් වේ. කාමය හා කාම ශක්තිය ද හතට අයිති වේ. බහු භාර්යා සේවනය, කාම සේවනය, අශීලාචාර හැසිරීම්, අනියම් හා සමලිංගික ක්‍රියා සම්බන්ධවද හතෙන් බැලිය යුතු වේ.

හත්වැන්නේ රවි සිටි විට විවාහය ප්‍රමාද වීමට ද පුළුවන. හවුලේ වැඩකටයුතු කිරීම ද අපහසු වේ. හත්වැන්නේ සඳු සිටි විට විවාහය ඉක්මන් විය හැක. චංචල ගති ඇතිවේ. ලෞකික සැප සම්පත් ලැබේ. හත්වැන්නේ කුජ ග්‍රහයා සිටි විට විවාහය ඉක්මන් වේ. හවුල් කටයුතු සම්බන්ධව එතරම් ශුභ නොවේ. රෝගී තත්ත්වයන් ඇති විය හැක. විරෝධතාවලට පවා මුහුණ පාන්නට සිදු විය හැක.

බුධ ග්‍රහයා හත්වැන්නේ සිටි විට විවාහය යහපත් වේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබිය හැකි වේ. ගුරු ග්‍රහයා හත්වැන්නේ සිටි විට විවාහය සාර්ථක වේ. විවාහයෙන් පසු ජීවිතය සාර්ථක වේ. හවුල් ව්‍යාපාරවලින් දියුණු විය හැකිවේ. ප්‍රසිද්ධියට පත්වේ. සිකුරු ග්‍රහයා හත්වැන්නේ සිටි විට විවාහය ඉක්මන් වේ. මිල මුදල් ලැබේ. විවාහයෙන් පසු ජීවිතය සාර්ථක වේ. හවුල් ව්‍යාපාර වලින් ලාභ ලැබිය හැකි වේ. හොඳ මිතුරන් ආශ්‍රයට ලැබේ.

ශනි ග්‍රහයා හතට දිග්බල වේ. හතේ ශනි බලවත්වූ විට විවාහය නියම වයසේදී සිදුවේ. මිල මුදල් වස්තුව ලැබේ. නීරෝගිභාවය ඇතිවේ. රාහු හතට එතරම් ශුභ නොවේ. ස්ථාන වෙනස් කරයි. නිතර ඇවිද්දවයි. දරුවන්ට ලෙඩ රෝග සාදයි. කේතුද හතට එතරම් ශුභ නොවේ. නොයෙක් ප්‍රශ්න ඇතිවේ. ස්ථාන මාරු ඇති කරයි. කේන්ද්‍රස්ථාන හතර අතරින් 7වැන්න ඉතා වැදගත් ස්ථානයක් වේ.

 

චතුරිකා දිල්හානි ගමආරිය

 

------------------------------

 

ශනි ඒරාෂ්ටක අපලයට ශාන්තිකර්ම

 

දැන් මේ වකවානුව තුළ ඔබට සෙනසුරුගේ ජන්ම හෝ සප්තම ශනි ඒරාෂ්ටකයක් උදා වී ඇත්නම් ඔබටම ඉතාම පහසුවෙන් කරගත හැකි අති ප්‍රබල ග්‍රහ ශාන්ති කර්මයක් හඳුන්වා දෙන්නෙමු.

 

ඔබ ඉතාම පවිත්‍ර වී කාන්තාවක් නම් කිලි දිනවලින් වැළකී සෙනසුරාදා රාත්‍රී 08.17 ට දකුණු දිසාව බලා ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ රූපයක් ඉදිරියේ නිල්මල් තබා, එළඟිතෙල් පහනක් දල්වා පැරණි තඹ කාසියක් කහ දියරින් සෝදාගෙන නිල්පාට රෙදි කෑල්ලක කෙම් බාරයක් ගැට ගසන්න. ඕං ශ්‍රී මහා විෂ්ණු දේව නමෝ නාරායන නමඞ යන ජපමන්ත්‍රය 21 වාරයක් කියා තමාට බලපාන ග්‍රහ දෝෂ සමනය වී ශාන්තිය සැලසේවායි. අධිෂ්ඨාන කරගන්න. පසු දින එළඟිතෙල් මිශ්‍ර කිරිබත් පිඬු 9ක් කපුටු දානයක් තබන්න. නිල්පාට මල් බෝධියකට පූජා කරන්න. එළඟිතෙල් පහන් 9ක් දල්වන්න.

සබ්බ පාපස්ස අකරණං ගාථාව

9 වාරයක් කියන්න. මෙම ගාථාවෙන් ළිං ජලය මැටි බඳුනකට ගෙන 108 වරක් මතුරා පැන් පානය කරන්න. මුහුණ සෝදන්න. පසුව තමාට හැකි වේලාවක විෂ්ණු දේවාලයකදී දෙවියන්ට පුද පූජා තබා පින් අනුමෝදන් කරන්න. ඔබට ඒරාෂ්ටක දෝෂය සමනය වී සෙතක් සලසාවි.

 

ජ්‍යෝතිෂවේදී,

ටී. හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.