පස්වන භාවය

පෙබරවාරි 24, 2023

 

ජන්ම කේන්ද්‍රයේ පස්වන කොටුව හෙවත් පස්වන භාවය පුත්‍රස්ථානය, බුද්ධිස්ථානය යන නම්වලින් හැඳින්වේ. දරුවන් ලැබීම හා නොලැබීම, දරුවන්ගේ තත්ත්වය, ආලය සම්බන්ධ තත්ත්වය ආගම් හා දර්ශන පිළිබඳ ඥානය පහෙන් බැලිය හැකි වේ. ශරීරයේ උදර ප්‍රදේශය පහට අයිති වේ.

 

ජන්ම කේන්ද්‍රයේ පස්වැන්නෙන් දරුවන් පිළිබඳ බැලිය හැකි වේ. පස්වැන්නේ සිටින ග්‍රහයන් සහ පස්වැන්නට ලැබෙන දෘෂ්ටි සැලකිල්ලට ගත යුතු වේ. පහ අධිපති හය, අට, දොළහ සිටීම, අශුභ දෘෂ්ටි ලැබීම දරුඵලවලට එතරම් යහපත් නොවේ.

පස්වැන්න දරුවාගේ අධ්‍යාපන තත්ත්වය බලන ස්ථානය වේ. පහ අධිපතියා මෙන්ම බුධ, ගුරු යන ග්‍රහයන්ගේ බලය පරීක්ෂා කළ යුතු වේ. පස්වැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ටිද බැලිය යුතු වේ. 6, 8, 12 අධිපතියකුගේ දෘෂ්ටියක් පස්වැන්නට ලැබූ විට අධ්‍යාපනයට එතරම් හොඳ තත්ත්වයක් උදා නොවේ.

පස්වැන්නෙන් පෙර භාවයන්හි කරන ලද කුසල් ද නිරූපණය වේ. මෙය පූර්ව පුණ්‍යස්ථානය යන නමින් ද හැඳින්වේ. සියලුම නෘත්‍ය ගීත රංගන අංශද පහෙන් බැලිය හැකි වේ. සිනමා, නාට්‍ය, සංගීතය, රංගනය ආදී වශයෙන් බැලිය හැකි වේ.

පස්වැන්නෙන් තම මවගේ ධනය පිළිබඳව ද බැලිය හැකි වේ. හතර වැන්නෙන් දෙවැන්න පස්වැන්න වන බැවින් මවගේ ධනය පිළිබඳ තොරතුරු බලා ගත හැකි වේ. හය වැන්නෙන් දොළොස් වැන්න පස් වැන්න වන බැවින් මාමාගේ වියදම් මාමාගේ රෝහල් ගතවීම් පිළිබඳව හා නීති ප්‍රශ්නද බැලිය හැකි වේ.

එකළොස් වැන්නෙන් හත්වැන්න පස්වැන්න වන බැවින් තම වැඩිමහල් සොයුරාගේ විවාහය පිළිබඳව ද පස්වැන්නෙන් බැලිය හැකි වේ. පියාගේ විදේශ සංචාරය විදේශිකයන් සමඟ දක්වන සබඳතා ද බැලිය හැකි වේ. නාභියෙන් උඩ හා පපුවෙන් පහළ උදරය ද හෘදයද පහට අයිති ශරීරාංග වේ.

පස්වැන්නාධිපති ශුභයකු වීම ශුභ ග්‍රහයන් සමඟ සිටීම පස්වැන්නේ ශුභ ග්‍රහයන් සිටීම ජන්මියාගේ අධ්‍යාපන කටයුතු දරුවන් සම්බන්ධ කටයුතුවලට යහපත් තත්ත්වයක් උදාවන අතර පස්වැන්නාධිපති අශුභයන් සමඟ සිටීම පස්වැන්නේ අශුභ ග්‍රහයන් සිටීම පස්වැන්න පාප කර්තරීවීම ජන්මියාගේ අධ්‍යාපනයට දරුවන් සම්බන්ධ කටයුතුවලට ආලය සම්බන්ධ කටයුතුවලට අයහපත් තත්ත්වයක් ඇති කිරීමට පුළුවන.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.