ඔබ තුලා ලග්නයේ නම්

ජනවාරි 6, 2023

චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි.

 

තුලාව යනු තරාදියයි. තරාදියක් අතින් ගත් පුරුෂයකුගේ රූපයකින් තුලා රාශිය හෙවත් තුලා ලග්නය සංකේතවත් කරයි. මේ නිසා තුලා රාශියෙන් සාධාරණත්වය, යුක්තිය, නීතිය හා සමානාත්මතාවය පෙන්නුම් කරයි. තුලා රාශිය පුරුෂ රාශියකි. තුලා රාශියේ අධිපති ග්‍රහයා වන්නේ සිකුරු ය. සෞන්දර්යාත්මක මෙන්ම අලංකාර බව, පවිත්‍ර බව, ආලය, පී‍්‍රතිය, චිත්‍ර, නාට්‍යය, සංගීතය වැනි දේ සිකුරුගෙන් නියෝජනය වන බැවින් තුලා ලග්න හිමියෝ ද සිකුරුගේ බලපෑම අනුව එම දේවල් කෙරෙහි යොමුවේ.

සිකුරු ග්‍රහයා සියලු සම්පත් අධිකව ලබාදෙන අතර අන්‍යයන් සමඟ විනෝදයෙන්, පී‍්‍රතියෙන් කාලය ගත කිරීමේ හැකියාව ලබාදෙන බැවින් තුලා රාශිය සිකුරුට හිමිකර දී ඇත. තුලා ලග්නයෙන් උපන් අය තරාදියක් මෙන් ලොවට සැපදුක් සමසේ බෙදාදෙන පුරුෂකාර මිනිස් රුවකින් තුලා රාශිය හඳුන්වා දී ඇත්තේ මිනිස්කමේ ඇති ශ්‍රේෂ්ඨ උතුම් ගති ලක්ෂණ විදහා දැක්වීමට විය යුතු ය.

ගති ලක්ෂණ

නිතරම සැප කැමති දැකීමට පි‍්‍රය යහපත් පියකරු ඇස් ඇති නිසා වීනස් දෙව්දුව යනුවෙන් හැඳින්වෙන සිකුරු ග්‍රහයාට තුලා රාශිය ස්වක්ෂේත්‍ර රාශිය ලෙස ඡ්‍යොතිෂයෙහි දක්වා ඇත. තුලාව රාශි චක්‍රයේ සත්වැන්නයි. සෙනසුරු උච්ච වන්නේ මෙම රාශිය තුළ ගමන් කරන අවස්ථාවලදී ය. පෘථිවියට දුරින්ම පිහිටි රාශිය බැවින් දැඩි දුක් කරදරවලට අධිපති සෙනසුරුගේ බලය මෙහිදී දුර්වල වේ. හීන වේ. එබැවින් දැඩි දුක්කරදරවලින් තොරවූ දීර්ඝායුෂ ලැබීමේ හැකියාවක් තුලා ලග්න හිමියන්ට හිමිවේ.

තුලාවෙන් උපත ලද ඔබ ඉතා වාසනාවන්තය. සුඛෝපභෝගී ජීවිතය, සැහැල්ලු බව හා නිදහස් කාමී බව ඔබ උපතින්ම දායාද කරගෙන ඇත. එමෙන්ම කඩවසම් බව හා ආකර්ෂණීය බව ඔබට දෙවියන් දුන් තිළිණයකි. ඔබ ස්ත්‍රියක නම් ඔබ සිටින නිවස හෝ ස්ථානය දේව මන්දිරයක් වන අතර, එහි ශි‍්‍රයා කාන්තාව හෙවත් ලක්ෂ්මී දේවිය වැඩ වසනු නොඅනුමානය. තුලාවෙන් උපත ලද ඔබට සාර්ථකත්වයේ ඉලක්කයක් හඹා යන අවස්ථාවලදී විවිධ බාධක, දුක් ගැහැවලට මුහුණ දීමට සිදුවන බව මතක තබා ගත යුතු ය. නමුත් දෙවියන්ගේ ආකර්ෂණයත්, ඔබ තුළ උපතින්ම පිහිටා ඇති ගුප්ත වාසනා මහිමයත් නිසා ඔබට ජයග්‍රහණය හිමිවනු ඇත.

රැකියාව

තුලාවෙන් උපත ලද ඔබ රණ්ඩු, දබරවලට, කැමති නැත. ඔබ සිටින සමාජ ස්ථරය තුළ සමගි සම්පන්න බව ඇති කරලීමට හැමවිටම උත්සාහ ගනී. යුක්තිය පසිඳලීමට කැපවුණු ලොව අග්‍රගන්‍ය විනිසුරුවරුන් රැසක්ම තුලාවෙන් ඉපදුන අය බව පරීක්ෂණ මඟින් හෙළි වී ඇත. ඔබ අනුන්ට කරදර, පීඩා ඇතිවන ආකාරයෙන් කටයුතු කරන අයකු නොවේ. තමන්ට පීඩා සිදුවුවද අනුන්ට ඔබෙන් හිරි හැරයක් සිදු නොවේ. අනුන්ගේ දුක් කකරදර තමන්ගේ කරපිට තබාගෙන තමන්ට දුක් විඳීමට කටයුතු සලසා ගැනීම ඔබගේ යෝග කාරකයා වූ සෙනසුරුගෙන් ලද නිසඟ ගතිය විය හැකි ය.

අන් අයට මහත්සේ ගෞරව දක්වන ඔබ පිදිය යුත්තා පිදීමේ සංකල්පය දැඩි සේ පිළිගන්නා අයෙකි. අන් අයගේ අදහස්වලට ගරු කරන ඔබ ඔවුන්ගේ හැඟීම්වලට බාධා කරන්නේ නැත. අසරණයන්ට පිහිට විය යුතුය යන දැඩි මානසික උපකල්පනයකින් ඔබේ සිත පිරී ඇත. එමෙන්ම ධාර්මික හා පුණ්‍ය කටයුතු වෙනුවෙන් ද ඔබේ සිත තුළ වැඩි ඉඩ කඩක් වෙන්කර තිබීම විශේෂත්වයකි.

විවාහය

මිතුරන්ට හා මිත්‍රත්වයට මහත් ලෙන්ගතුකමක් හා සෙනෙහසක් දක්වන ඔබ මිත්‍රත්වය වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කිරීමට කැමති ය. යමක් කෙනකුට දුන් පසු එය නැවත දෙනතුරු ඉල්ලීමට ඔබේ සිත ඉඩ නොදෙයි. තුලාවෙන් උපත ලද ඔබ නීති ගරුකය. නීති විරෝධී ක්‍රියා නම් ඔබ අතින් සිදුවන්නේම නැත. අවංක, නීතිගරුක පුරවැසියෙකු ලෙස සාධාරණ සමාජයක ජීවත්වීම ඔබගේ ඒකායන බලාපොරොත්තුවයි. එමෙන්ම මිනිස්කම පිළිබඳ මනා අවබෝධයක් ඇතිව කටයුතු කරන ඔබ ඔබ වෙසෙන සමාජ ස්ථරය තුළ යහපත් කීර්ති නාමයක් හිමිකරගනුයේ නිරායාසයෙනි.

ඇත්ත වශයෙන්ම තුලාවෙන් උපන් ඔබ ආදර සබඳතා කීපයක්ම එකවිට පවත්වාගෙන යා හැකි දක්ෂයෙකි. එමෙන්ම ඔබ තරම් ආදරය හා ප්‍රේමය පිළිබඳ සංවේදීව කටයුතු කරන වෙනත් ලග්න හිමියන්ගෙන් ඔබට දෙවෙනි වන්නේ වෘෂභ ලග්න හිමියන් පමණි. ඔබගේ ආකර්ෂණීය පෙනුමට, කතාවට හා දක්ෂතාවන්ට විරුද්ධ ලිංගිකයන් ඔබ වෙත ඇදී එනුයේ මලක් වෙත පියඹා එන බඹරුන් මෙනි.

ආත්මාර්ථයට වඩා පරාර්ථය ගරු කරන තුලාවෙන් ඉපදුන ඔබ උසස් සිතිවිලිවලින් පොහොසත් ය. හැමවිටම උත්සාහ කරනුයේ සමගිව විසීමට ය. නිතර පී‍්‍රතිමත් ස්වභාවයෙන් පසුවන ඔබ වැන්නනුන් දැක්මෙන් දකින පුද්ගලයාට දවසම සෞභාග්‍යවත් වනු ඇත. ඊට හේතුව ලෙස මා දකිනුයේ විෂ්ණු දෙවියන්ගේ හා ලක්ෂ්මී දේවියගේ ආකර්ෂණය හා ආශිර්වාදය ඔබ ළඟ නිරතුරුවම පැවතීමයි. ඔවුන්ට පුද පූජා පැවැත්වීමෙන් ඔබගේ එම වාසනා ගුණය තව තවත් වැඩිකරගත හැකිවනු ඇත.

රෝගාබාධ

තුලා ලග්න හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකීමේදී මොවුහු බොහෝ දුරට නිරෝගී පුද්ගලයෝ වෙති. පහසුවෙන් ලෙඩ රෝගවලට ගොදුරු නොවෙති. ලෙඩවලට ඔරොත්තුදීමේ ශක්තිය මැනවින් පිහිටා ඇත.අසනීප නොසෑදෙනවාට නොවේ බහුල වශයෙන් තුලා ලග්න හිමියන් පෙළෙන අසනීප තත්ත්වයන් කීපයක් ඇත. මුත්‍රාශය හා ඒ අවට සම්බන්ධ අසනීප ප්‍රධාන වේ. නිසි පරිදි නොපෙරීම, මුත්‍රාවල ආම්ලිකතාවය, තුනටියේ වාත රෝග, බහු මුත්‍රතාව ආදිය වේ. තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රවල 2, 8, 12 යන ස්ථානවල එකක ශනි පිහිටීම යහපත් නොවේ. තුලා ලග්න හිමි කාන්තාවන්ට කේන්ද්‍රවල පස් වැන්නේ රාහු පිහිටීම ද ශුභ නොවේ. එම අයගේ පළමු දරුවා පිළිබඳ ගැටලු මතු වේ.

මරණය

තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රවල 6 වැන්නේ රාහු ද 7 වැන්නේ කේතු ද, තුන් වැන්නේ ගුරු ද පිහිටීම මාරක යෝගයක් වේ. මෙවැනි පිහිටීම් ඇති අය මෝටර් රථ වාහනවලින් ප්‍රවේශම් විය යුතු ය. ගමන් බිමන් හේතුවෙන්, සිවුපාවන්ගෙන්, ආදරය ඇති අයගෙන් වෙන්වීමෙන් ඇතිවන ශෝකයෙන්, නිරාහාරව ඉදිමීමෙන්, මුත්‍රාශය පිළිබඳ රෝගයකින්, දියවැඩියාව වැනි රෝග තත්ත්වයකින් මරණය සිදුවීමට බොහෝදුරට ඉඩ ඇත.

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.