ඔබට හිමිවන්නේ කෙබඳු වාහනයක්ද? - ක්‍රිෂ්ණමූර්ති පද්ධතියෙන් නිශ්චිතවම දැනගන්න

මැයි 5, 2023

ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය පෙරදිග ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයේ නව නැම්මකි. ජන්ම පත්‍රයක් හෝ තත්කාල කේන්‍ද්‍රයක් මගින් පලාපල කථනය කිරීමේදී, යම් ග්‍රහයකු තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය හිමි ග්‍රහයාගේ ක්‍රියාකාරිත්වය වැදගත් වෙයි.

 

අදාළ ග්‍රහයාගේ, මහ දශාව හෝ අතුරු දශා කාලවලදී භුක්ති වි¼දීමට සිදුවන්නේ, නක්‍ෂත්‍රය හිමි ග්‍රහයා නිවේදකත්වය දරන භාව ප්‍රතිඵල වෙති. එනම් නක්‍ෂත්‍රය හිමි ග්‍රහයාගේ ක්‍රියාකාරිත්වය වඩාත් පැහැදිලි ලෙස නිරූපණය කරයි. ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව, වඩාත් විස්මිතවූ සහ නිවැරදිව කාල නිගමනය කිරීම සඳහා ඉහළින්ම ඇත්තේ මෙම නක්‍ෂත්‍ර ජ්‍යොතිෂ්‍ය යොමු කිරීම වෙයි.

ජන්ම පත්‍රයේ ලග්න භාවය මගින් ජන්මියා පිළිබඳ සියලුම තොරතුරු හඳුනා ගත හැකි වෙයි. ලග්න භාව ස්ඵූටය සකස්වී ඇති, රාශිය, නක්‍ෂත්‍රය සහ උපස්ථානය යන කොටස් තුන පාලනය තරන ග්‍රහයන්ගේ හැසිරීම සහ සම්බන්‍ධතාවයන් මත ජන්මියා සම්පූර්ණයෙන්ම හඳුනා ගත හැකිය.

ජන්ම පත්‍රයේ ලග්න භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා විසින් ඉතා විශාල කාර්ය භාරයක් පෙන්වා දෙයි. ජන්මියාගේ හිමි අහිමිකම් සහ වාසනාව පෙන්වා දෙන්නේ ලග්න භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා විසින්ය. ඒ ආකාරයටම, අනෙකුත් භාව මගින් නිවේදකත්වය දෙන කටයුතු පිළිබඳව, එකී භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයාගේ නිවේදකත්වය අනුව නිගමනය කළ හැකිය.

ඉහත 1 සටහනේ රවි ග්‍රහයාගේ මහ දශා ශේෂය අවුරුදු 01 මාස 07 දින 09 කි. ක්‍රිස්තු වර්ෂ 2024 දෙසැම්බර් 10 වැනි දින රවි ග්‍රහයාගේ මහ දශාව ගෙවී යයි. 2023 අගෝස්තු 5 වැනි දින රවි ග්‍රහයාගේ මහ දශාවේ බුධගේ භුක්තිය ගෙවී යයි.

ජන්ම පත්‍රයක් හෝ තත්කාල කේන්‍ද්‍රයක් මගින් විමසීමක් කරන කටයුත්තක් සම්බන්‍ධයෙන් කාල නිගමනය කිරීමේදී, එම කාරණයට අදාළ වන භාව නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා ක්‍රියාත්මක වී, ගෝචරය සමඟ එකඟ වන විට කාර්ය සිද්ධිය ඇති වෙයි. මේ නිසා ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය මඟින් කාලය නිගමනය කිරීම ඉතාමත් නිවැරදිය.

සටහන 2 තත්කාල කේන්‍ද්‍රයේ දැන් රවි ග්‍රහයාගේ මහ දශාව පවතියි. රවි ග්‍රහයා තැන්පත්ව සිටින්නේ සිකුරුගේ නක්‍ෂත්‍රයකය. ඒ නිසා රවිගේ මහ දශාව තුළ භුක්ති විඳීමට ලැබෙන්නේ සිකුරු ග්‍රහයා නිවේදකත්වය දරන ප්‍රතිඵල වෙති. සිකුරු ග්‍රහයා මේ තත්කාල කේන්‍ද්‍රයේ 4 වැනි, 11 වැනි, 5 වැනි, 10 වැනි සහ 12 වැනි භාව නිවේදකත්වය දරන හෙයින් එම භාව සම්බන්‍ධ කටයුතු පිළිබඳ ප්‍රතිඵල ලබයි.

ජන්ම පත්‍රයක හෝ තත්කාල කේන්‍ද්‍රයක 4 වැනි භාවය මගින් දේපළ, ඉඩකඩම්, යාන වාහන, ප්‍රාථමික අධ්‍යාපනය මෙන්ම මව ගැනද පෙන්වයි. යාන වාහන ගැන විමසුමකදී එම වාහනය, දියෙහි හෝ ගොඩබිමේදී නැතහොත් ගුවනේදී යොදා ගතහැකි එකක්ද මෙන්ම රෝද දෙකක් හෝ රෝද කිහිපයක් ඇති එකක්ද නැතිනම් රෝද රහිත එකක්ද යනාදී ලෙසින් වෙන් වෙන්ව තෝරා ගැනීමට ඇති හැකියාවන් ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය මගින් හඳුනාගත හැකිය.

11 වැනි භාවය මගින් ප්‍රධාන වශයෙන් පෙන්වන්නේ බලාපොරොත්තු ඉටුවීම ගැනය. 5 වැනි භාවය දාරක ස්ථානය නම් වෙයි. එමගින් පෙන්වන්නේ දරුවන් ගැනය. එයට අමතර වශයෙන් ප්‍රේමය ගැන ද පෙන්වයි. එහෙයින් 5 වැනි භාවය සහ 11 වැනි භාවයේ නිවේදකත්වය අනුව ජන්මියාට හෝ ප්‍රශ්නකරුට දරුවකු ලැබේද යන්නට පිළිතුරක් සහ එය එසේය යනුවෙන් කියවුනහොත්, එසේනම් කවදාද යන බවද නිවැරදිව ප්‍රකාශ කරන අකාරය ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ සිද්ධාන්ත මඟින් පෙන්වයි.

වෘත්තිය පිළිබඳව 10 වැනි භාවය පෙන්වයි. එසේම ජනප්‍රිය වීමට සහ ජනතාව අතර ජයග්‍රාහීවීමටද අවශ්‍යවන තොරතුරු 10 වැනි භාවය අධ්‍යයනය කළ විට පහසුවෙන් හඳුනාගත හැකිය. තවදුරටත් බැලූ විට එවැනි වාසනාව උදාවන කාල සීමාවන්ද ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය මඟින් නිගමනය කළ හැකිය.

12 වැනි භාවය වැය ස්ථානයයි. 1 වැනි භාවයේ සිට 10 වැනි භාවය දක්වා එන ගමනේදී

උපයාගත් දේවල් සහ බලාපොරොත්තු ඉටුවීම 11 වැනි භාවයේ පෙන්වනවිට, ඒවායේ වැයවීම 12 වැනි භාවය මගින් පෙන්වයි. අප කරන ආයෝජනයන්ද පෙන්න්නේ 12 වැනි භාවය මගින්ය. ඒ නිසා 12 වැනි භාවය වැය ස්ථානය පමණක් නොව අනාගතය සඳහා අවධානය යොමු කරන ස්ථානයද වෙයි.

ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ පාලක ග්‍රහයන් පිළිබඳ න්‍යාය එහි රත්රන් නීතිය වෙයි. සෑම අවස්ථාවක් යම්කිසි ග්‍රහයන් කිහිප දෙනෙකුගේ පාලනය මත ක්‍රියාත්මක වෙයි. යම්කිසි කාර්යයක ආරම්භය පාලනය කරන ග්‍රහයන් සමූහය විසින්, එම කටයුත්තේ අවසානයද පාලනය කරති. එසේම එම කාර්යට යොමුවන සෑම අවස්ථාවක්ම, ආරම්භයේදී මතුවූ පාලක ග්‍රහයන් සමූහය විසින්ම පාලනය කරයි. එහෙයින් කාලය නිගමනය කිරීම සඳහා පාලක ග්‍රහයෝ විශිෂ්ට ලෙස යොමු වෙති.

මේ අවස්ථාවේ පාලක ග්‍රහයන් මතුවන්නේ මෙසේය:

ක්‍රිස්තු වර්ෂ 2023 මැයි 02 වැනි දින දහවල් 12 38 25 ට මතුවන පාලක ග්‍රහයන් මෙසේය:

දිනාධිපති: කුජ,

රාශිය අධිපති: බුධ,

නක්‍ෂත්‍රය අධිපති: රවි,

උදා ලග්නය අධිපති: සඳු,

උදා ලග්න නක්‍ෂත්‍රය අධිපති: බුධ

ජන්ම පත්‍රයක් හෝ තත්කාල කේන්‍ද්‍රයක් මගින් විමසීමක් කරන කටයුත්තක් සම්බන්‍ධයෙන් වඩාත් ඵලදායි නිවේදක ග්‍රහයන් තෝරා ගැනීම සඳහාඳ පාලක ග්‍රහයන් යොදාගත හැකිය.

භාව නිවේදක ග්‍රහයන් සහ පාලක ග්‍රහයන් අතරින් පොදුව මතුවන ග්‍රහයන් වඩා ඵලදායි නිවේදක ග්‍රහයන් වෙයි. ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේදී මෙසේ තෝරා ගන්නා ලද ඵලදායි නිවේදක ග්‍රහයන් කාර්ය සිද්ධිය ඉටුවන දිනය ඉතාමත් නිවැරදිව නිගමනය කරයි.

 

ජී. එච්. ඩබ්. සිල්වා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.