මැයි මාසයේ සිදු වූ අසිරිමත් ග්‍රහ මාරු, ග්‍රහ සටන් ගැන ඡ්‍යොතිෂවේදීන් කියන කතා

මැයි 27, 2022

ජනතා පිබිදීම සහ කැපවීම මත පීඩාවන් අවම වේ

සඳ කළු රාත්‍රියේ කුජ ගුරු යුද්ධය ඇතිවේ

සිකුරු සඳු සමඟ රාහු එක්වේ

 

 

ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රය අනුව ලග්නාධිපති සෙනසුරු සස යෝග බලයෙන් බලවත්ව ලග්නයේ ගෝචර වෙද්දී සෙනසුරු කුජ නැකැත් මාරු කරමින් ගමන් කරයි. ධනස්ථානය අධිපති බ්‍රහස්පති සමඟ කර්මස්ථාන නොහොත් දසවැන්න අධිපති කුජ මැයි 29 සවස 16.01ට ග්‍රහ යුද්ධයක් අරඹයි. එදින අමාවක දිනයක් වීම විශේෂයි. එහෙත් එම කුජ ගුරු යුද්ධයෙන් බ්‍රහස්පති නොහොත් සුරගුරු ජය ලැබීම සුබදායකයි. ජනතා පිබිදීම සහ කැපවීම මත පීඩාවන් අවම වේ. බලාපොරොත්තු දල්වා ගත හැකි සහසම්බන්ධතා ඔප් නංවා ගනිමින් වැඩිදෙනකුගේ සහයෝගය රජයට ලැබෙයි. රාජ්‍යකාරක රවි වර්ගෝත්තම බලයෙන් යුතුව එම රවි සමඟ බුධ වෘෂභයේ ගමන් කිරීම සඳු ද වෘෂභයට පැමිණ උච්ච බලයෙන් ඔවුන් සමඟ එක්වීම රටේ අනාගතයේ සාර්ථකත්වය උදෙසා බුද්ධිමත්ව ගන්නා සෑම තීරණයකටම ජනතාවගේ අවංක සහාය ඔවුන්ට ලැබෙනු ඇත. ගුරුගේ බලවත් වීමෙන් ගුණවත් හිමිවරුන්ගේ බැබළීමක් බුද්ධිමතුන් ගේ පිබිදීමත් ඇතිවීම රටට සුබදායකය.

 

ඡ්‍යොතිෂවේදී

සනත් ධර්මරාජ

 

කුජ ගුරු යුද්ධයෙන් ගුරු බුද්ධිමතකු බිහිකරයි

 

2022 මැයි 29 වැනි ඉරිදා 16.01 අහස් සිතියමේ භ්‍රමණය වන කුජ අඟහරු ගුරු බ්‍රහස්පති සමඟ ඇතිවන යුද්ධයෙන් ගුරු ජය අත්කර ගනු ලබන බව අපි පෙර සතියේ පැවසුවා. සෞරග්‍රහ මණ්ඩලයේ බුද්ධිමත්ම සෞභාග්‍ය අත්පත් කර දෙන එසේම ලෝකෝත්තර පැත්ත ද නියෝජනය කරන ගුරු හෙවත් බ්‍රහස්පතිට ජය අත්වීමේ ප්‍රතිඵලයක් ලෙස බැලීමේදී මෙතෙක් පවතින ජනඅරගලයට බුද්ධිමත් විසඳුමක් ලැබෙනු ඇත. කිසිඳු දේශපාලනමය අංශයක් නියෝජනය නොකරන සැඟවුණු ප්‍රබලතම බුද්ධිමතකු හිටි අඩියේම ජනතාව අතරට එනු ඇත. මෙතෙක් පැවති ජනමනස අවුල් වියවුල් නැතිවී ජන මනස ද බුද්ධිමත් වේ. සාමකාමී සමාජයක් ගොඩනැගීමේ ක්‍රමවේදය ඔහු අතින් සිදුවෙනු ඇත. කුජ දිවෙන් කතා කරන අතර ගුරු මොළයෙන් කතා කරයි. දින 90කින් මේ උග්‍රතම ජන අරගලයට නිසි විසඳුම ලැබෙනු නිසැකය.

 

ඡ්‍යොතිෂවේදී දේශබන්ධු

ටී.හෙන්රි බෙම්මුල්ල

 

 

රට තුළ යුක්තිය ඉටු වෙන කාලසීමාවක් ඉදිරියට පැමිණෙයි

අපි දැන් පැමිණ සිටින්නේ වෙසක් මාසය අවසානයටයි. ගෙවී යන මැයි මාසය ඡ්‍යොතිෂවේදයට අනුව ඉතාමත්ම සුවිශේෂ මාසයක්. එයට ප්‍රධනතම කාරණාවන් කිහිපයක්ම ම තියෙනවා. ඒ ගැන විමසා බලමු.

අපි එකින් එක ගෙනහැර දැක්වුවහොත් අප්‍රේල් මාසයේ රවි හෙවත් සූර්‍යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරා ඔබට මතක ඇති. එලෙසම යළිත් වරක් රවිගෙ ග්‍රහමාරුවක් සිදුවෙනවා මැයි මස 15 වන දින උදෑසන 05.29 ට. ඒ රවි මේෂ රාශියේ සිට වෘෂභ රාශි ගත වීමයි. එවගේම තමා කුජ කියන ආක්‍රමණශීලී ග්‍රහයා මැයි මස 17 වන දින උදෑසන 09.33ට කුම්භ රාශයේ සිට මීන රාශියට ගමන් කරනවා. මෙය ඉතාම සුවිශේෂ කාරණාවක්. ශ්‍රී ලංකා කේන්දරයේ දෙවැන්න වන මීන රාශියේ මේ වන විටත් බලය රැගෙන ඉන්න ගුරු ග්‍රහයා සමඟ කුජ ග්‍රහයා යෝග වෙනවා.

තුන්වැන්න තමා ග්‍රහලොව මනමාලිය සිකුරු ග්‍රහයා මැයි මස 23 වන දින රාතී‍්‍ර 08.27ට මීන රාශියෙ සිට මේෂ රාශියට ගමන් කරනවා. එවගෙම තමා ග්‍රහ ලොව මව වන සඳු ග්‍රහයා ද මැයි මස 01 වන දින මේෂ රාශියෙන් පටන් ගෙන මැයි 31 දක්වා මිථුන රාශියෙන් තමන්ගෙ ගමන මෙම මැයි මාසයේ දී අවසන් කරනවා.

මැයි 01 වන දින ඔබ දන්නා කාරණාවක් තමා මේෂ රාශියෙ අර්ධ සූර්‍යග්‍රහණයක් සිදු වූ බව. එම අර්ධ සූර්‍යග්‍රහණය සිදු වී ඉතා කෙටි කාලයකින් නැවත වතාවක් මැයි 16 වැනිදා උදෑසන 09.42 ට පූර්ණ චන්ද්‍රග්‍රහණයකුත් සිදු වුණා. එය සිදු වුණේ වෘශ්චික රාශිය තුළයි. අපි ඡ්‍යොතිෂයට අනුව බලනවිට ශ්‍රී ලංකා කේන්දරයට අනුව මාසයකට අඩු කාලයක් තුළ මෙම ග්‍රහණ දෙකක්ම සිදු වීම රටට එතරම්ම යහපත් වන්නේ නැහැ. ඒ වගේම තව කරුණක් නම් මේ දෙකම සිදු වුණේ කුජට අයත් රාශි දෙකක වීම එතරම්ම සුබ නොවීමයි.

මෙම මැයි මාසය තුළ දී ප්‍රධාන වශයෙන්ම ග්‍රහ යුද්ධ 03ක් කි‍්‍රයාත්මක වෙනවා. ඉන් පළමුවැන්න මැයි මස 01 වැනි දා සිකුරු සහ ගුරු අතර සිදුවුණා. ඉන් සෙන්පති ගුරු ග්‍රහයා මීන රාශියේ බලවත් වී ජයග්‍රහණය ලැබුවා. දෙවැන්න මෙම මැයි මස 18 වෙනිදා කුජ සටන් කාමි ග්‍රහයා සහ නෙප්චූන් ග්‍රහයා සමඟ යුද්ධයක් සිදු වී ඉන් සටන් කාමි කුජව පරාජය කර නෙප්චූන් ග්‍රහයා ජය ලබනවා.

ඔන්න තුන්වැන්න ලෙස නෙප්චූන්ට පරාජය වුණු කුජ ග්‍රහයා නැවතත් මැයි 29 වෙනිදා මීන රාශියෙ ගුරු සමඟ නැවතත් සටනක් ආරම්භ කරනවා. එක් වරක් පරාජය වුණු කුජ ග්‍රහයා නැවත වරක් ගුරු හමුවේ ශ්‍රී ලංකා කෙන්දරයේ දෙවන්න තුළ පරාජය වෙනවා. මෙම කරුණු කාරණා මත ශ්‍රී ලංකාවට ඉදිරිය කොහොමද කියන කාරණාව කතා කරන්නයි අපි ලැහැස්ති වන්නේ. ඊට පෙරාතුව ඔබ මේ දෙයත් හොඳින් වටහා ගන්න අවශ්‍යයි. මෙම මැයි මාසයේ ක්‍රියාත්මකවන පොහොයවල් 04ම ක්‍රයාත්මක වන්නේ ඉරිදා දවස් 04ක බවත් වටහා ගන්න අවශ්‍යයි. මැයි මස 08 වැනිදා පුර අටවක. එයත් ඉරිදා දිනයක්. 15 වැනිදා පුර පසොළොස්වක දිනයක්. ඉරිදා දිනයක්. මැයි 22 වැනි දිනය අව අටවක. එයත් ඉරිදා දිනයක්. මැයි 29 අමාවක. එයත් ඉරිදා දිනයක්. එක විටෙක ඡ්‍යොතිෂවේදයට අනුව බලනවිට මෙය සංක්‍රාන්ති සමයක් ලෙස අපට විග්‍රහ කරන්න පුළුවන්. මෙම ලිපියේ ප්‍රධානතම අරමුණ වන කුජ සහ ගුරු යුද්ධය ගැන අපි අවධානය යොමු කරනවිට කුජ නැතිනම් අගහරු ග්‍රහයා ග්‍රහ මණ්ඩලයේ සෙන්පතියායි. මොහු යුද්ධයට අධිපති දෙවියාය නැතිනම් යක්ෂයා ලෙස හැඳින්වූවත් වරදක් නැත. කුජ ග්‍රහයා ආත්ම ශක්තිය සටන්කාරීත්වය, විප්ලව, මිනිමැරිම්,ස්ත්‍රී දුෂණ, කොල්ලකෑම්, ගිනිතැබීම්, බෝම්බ ප්‍රහාර වගේම ලේ සෙලවීම් සම්බන්ධව කටයුතු කරයි. ඒ වගේම ගුරු ග්‍රහයා ගැන කතා කළොත් බ්‍රහස්පති එහෙමත් නැතිනම් සුරගුරු ලෙසත් හඳුන්වන්න පුළුවන්. ගුරු කියන ග්‍රහයා ඉතාමත් යුක්ති සහගත සාධාරණ ග්‍රහයෙකි. ඒවගේම තමා අධ්‍යත්මක ශක්තිය වැඩි කරන ග්‍රහයෙක්. නීතිය ක්‍රියාත්මක කරන, යුක්තිය උදෙසා කටයුතු කරන ග්‍රහයෙක්. විශේෂයෙන් ම ආගම දහම සම්බන්ධ කටයුතු වගේම සර්ව සාධාරණ ව ආර්ථික කටයුතුවලට සහය දැක්වීම මොහු ඉටු කරයි.

ශ්‍රී ලංකා කේන්දරයට අනුව රට තුළ යුක්තිය ඉටුවෙන කාලසීමාවක් ඉදිරියට පැමිණෙයි. ඒවගේම තමා විශ්වය විසින් නඩු අසා එම නඩු වලට වැරදිකරුවන්ට දඩුවම් කරන කාලසීමාවක් උදා වෙයි. එය නීතියෙන් සිදු නොවුණත් ස්වභාවධර්මය, විශ්වය විසින් දඩුවම් පමුණුවයි. මෙම කාලය ශ්‍රී ලංකා කෙන්දරයට සෙනසුරු ඒරාෂ්ඨකයක් ගමන් කරන බව. එහි ප්‍රතිවිපාක මේ සමඟම පැමිණෙන කාලයක්. එම නිසයි ඔබට මුලින්ම සඳහන් කළේ මෙය සංක්‍රාන්තික සමයක් බව. ඉදිරියේදී විටින් විට මේ හේතු නිසා ජල ගැලීම්, ගංවතුර, නායයෑම් වගේම ස්වභාවික විපත් වරින් වර ඇති වෙයි. මෙය එක්තරා විදියකට රුවලක් මුහුදේ ගමන් කරන්නාක් මෙන් පැද්දි පැද්දි ගමන් කරන කාලයකි. විටෙක සමකාමීව ද තවත් විටෙක නොසිතූ පරිදි දඩුවම් දෙන කාලයකි. කෙසේ නමුත් මෙම කාලයේ රටේ ආර්ථිකය ද විටෙක සුබ ලෙසද විටෙක අසුබ ලෙස ද ක්‍රයාත්මක කරයි. මෙම කාලයේ රටේ පාලන අංශයට තව දුරටත් මහජන විරෝධය එල්ල වෙයි. ඒ සඳහා පාලන අංශ විසින් විවිධ වූ උපක්‍රම යෙදුවත් එය තාවකාලික පැලැස්තර පමණයි. ඒවගේම මෙම කාලයේ ඉදිරියට රටේ තරුණ අරගලවලට එහා ගිය අන්තවාදී කුමන්ත්‍රණ ඉහළ යෑමක් පෙන්නුම් කරන කාලයකි. එහෙත් අවසානයේ ස්වභාවධර්මය සියල්ල තීරණය කරනු ලබයි. මෙම ගුරු ග්‍රහයාගේ මීන රාශියෙ ජයග්‍රහණයත් සමඟ රටෙහි සිටින අධ්‍යත්මික ශක්තීන් තුළින් වැඩ කරන සාධාරණ පිරිසගේ බලය තවත් වැඩි වේ. එමඟින් ඔවුන්ගේ විශ්ව ශක්තිය සුබවාදී ලෙස වර්ධනය වේ. ගුරු ග්‍රහයාගේ මුලිකත්වය ප්‍රධන වශයෙන්ම ලබා දෙන මහා බ්‍රහ්ම දෙවියන් වගේම අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවියන්ගේ බලයත් තව දුරටත් වර්ධනය වන කාලයකි. එම දෙවිවරුන් මුලික කරගෙන කටයුතු කරන පිරිස්වල බලය වැඩි වෙයි. මෙම අසුබ තත්ත්වයන්ගෙන් මිදීමට ඔබ කළ යුතු එකම දෙය වන්නේ ධාර්මිකව ජිවත් වීම පමණයි. මොකද විශ්වය දඩුවම් දීමේ දී ඔබ නියෝජනය කරන දේශපාලන පක්ෂ ගැන සිතා දඩුවම් නොදෙන බවත් ඔබගේ කුසල අකුසල පමණක් පදනම් කරගෙන පල ලබා දෙන බව පමණක් වටහා ගන්න. එමනිසා හැකි පමණින් ධර්මයට යොමු වී ධාර්මික ව ජිවත් වීම ඉතාම සුදුසු වේ. ඔබට හැකි නම් බ්‍රහස්පතින්දා දවසක බෝ වෘක්ෂය මූලික කරගෙන දානමය පින්කම් වගේම කිරි ආහාර පුජාවන් පවත්වා බෝ වෘක්ෂය වෙනුවෙන් පුද පුජා කිරීම ඉතාම මැනවි.

 

ජ්‍යොතිෂවේදී

සශේනක දිලාන් බණ්ඩාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.