කේන්ද්‍ර පලාපල ධනාත්මකව බලමු

ජනවාරි 21, 2022

ඡ්‍යොතිෂයේ වටිනාකම රැඳී පවතිනුයේ නිවැරදි පලාපල කථනය තුළ පමණක්ම නොවේ. කේන්ද්‍රයක් උඩින් පල්ලෙන් බලා පලාපල ප්‍රකාශ කිරීම ද නොකළ යුතු කටයුත්තකි. මේ නිසා කේන්ද්‍රයක් විග්‍රහකර පලාපල ප්‍රකාශ කිරීම ඉතා සීරුවෙන් කළ යුතු භාරදූර කටයුත්තකි.

 

මේ ලිපිය මඟින් මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ යම් කෙනකුගේ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා ඡ්‍යොතිෂය ධනාත්මක අයුරෙන් භාවිතා කිරීමට අපට නොහැකි ද යන්නයි.

ඡ්‍යොතිෂය තුළින් ධනාත්මක පලාපල ප්‍රකාශයක් ලබාදීම කෙනකුගේ ජීවිතයට අවැඩක් නොවේ. මා එසේ කියන්නේ කිසියම් පුද්ගලයකුට කේන්ද්‍රයක අපලයක් උපද්‍රවයක් ඇතත් ඡ්‍යොතිෂවේදියා එය ධනාත්මක අයුරින් සිතා බලා ප්‍රකාශ කළ යුතුය යන මතයේ සිටය. මෙලොව ජීවත් වන හැම මනුෂ්‍යයෙකුම දියුණුවට පත්වීමට , සාර්ථකත්වයට පත්වීමට හා ජයග්‍රහණය ලැබීමට අකමැති නැත. අප හැමෝම තුළ යහපත් මෙන්ම අයහපත ද සම සමව පිහිටා ඇත. ඒවගේම අපට අපල මෙන්ම සපල ද උරුමව ඇත. ඉතින් අපල දුරු කර සපල වඩා කෙනකුගේ දියුණුවට මාවත හෙළිකරදීමට ඡ්‍යොතිෂවේදියාට අවශ්‍ය තරම් ඉඩකඩ ඇත. මේ අයුරින් කටයුතු කළ හොත් පමණක් අපල උපද්‍රව ඇති පුද්ගලයා ඒ අයහපතින් මුදා ගෙන සාර්ථක පුද්ගලයකු බවට පත් කළ හැකිය.

කිසියම් පවුලක කෙනෙකුගේ දියුණුවක් සොයා බැලීමට කේන්ද්‍රයක් පරීක්ෂා කරන විට මා අදහස් කරන හැටියට නම් එම පවුලේ සියලු දෙනාගේම කේන්ද්‍ර පරික්ෂා කළ යුතුය. ඒවාගේම එම පවුලේ හැකි තරම් පිරිසක් හමුවීම හා ඔවුන් හා කතා බහ කර ඒ අයගේ අදහස් උදහස් ලබා ගැනීම ද වැදගත්ය. මීළඟට පවුලේ බලගතු ග්‍රහ බලයක් ඇත්තා ද දුර්වලම ග්‍රහ බල ඇත්තා ද හඳුනා ගැනීම කළ යුතුය. ඒ අනුව යමින් මේ සියලු දෙනාම කිසියම් අනාගත දියුණුවේ ඉලක්කයක් වෙත යොමු කළ හැකිය. එසේ නොමැතිව අපල ඇති අය සොය සොයා ඔවුන් විවිධ පුද පූජා විධි සඳහා යොමු කිරීම තුළින් නම් යහපතක් වන්නේ නැත.

මේ සඳහා මා අසා ඇති හා අත්දැක ඇති ග්‍රහයකුගේ අපලයක් ගැන උදාහරණයක් ගෙන බලමු. සෙනසුරු අපලයක් ලබා ඇති තැනැත්තා කඩමලු අඳිමින් කය වෙහෙසා වැඩ කරමින් සමාජයෙන් ඈත්ව කාලය ගත කරන්නට වැඩි කැමැත්තක් දක්වන බවට ඡ්‍යොතිෂයේ සඳහන් වේ. ඉතින් මෙවැනි අයකුට ගෙයක් සාදන්නට පටන් ගතහොත් එය අකුරටම කළ හැක. ඔහු දිවා රෑ වෙහෙස නොබලා ඒ කටයුත්ත උපරිම අයුරින් කිරීමට පෙලඹේ. මේ අයුරින් අපලය සපලයක් කිරීම මා සඳහන් කරන ධනාත්මක පලාපල ප්‍රකාශයට හොඳ උදාහරණයකි.

විශේෂයෙන් දරුවන්ගේ කේන්ද්‍ර බලන විට එම දරුවන්ට අපල ඇත්නම් ඒවා දෙමාපියන්ගේ හා දරුවන්ගේ ඔළුවට කෙළින්ම නොදමා දරුවන්ගේ හැසිරීම මොනවා දැයි සාවධානව අසා බලා ඊට ධනාත්මක අයුරින් උපදෙස් ලබා දීම වැදගත් වේ. කිසියම් දරුවකුගේ කේන්ද්‍රයක් බලා ඔහු මේ කාලයේ “දියේ ගිලී අකාලයේ මිය යනවා” නැත්නම් “හදිසි අනතුරකට පත් වෙනවා. මෙවැනි ප්‍රකාශයක් දෙමාපියන්ට මෙන්ම දරුවාට ද දැන්වුව හොත් එය ඒ අයුරින්ම ඉටුවීමට බොහෝදුරට ඉඩකඩ ඇත. මේ ඡ්‍යොතිෂවේදියාගේ දක්ෂකමට සිදුවන්නක් නොවේ. ඒ අර ඉලක්ක කළ දේ පිළිබඳව දෙමාපියන් තුළ මෙන්ම දරුවා තුළ ද එක දිගටම සිතුවිලි ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයකි.

බොහෝ දුරට හදිසි අනතුරු නිසා අත් පා බිඳුණු අයගෙන් “මොකක්ද වුණේ යැයි විමසන විට ඔවුන් බොහෝදෙනකු දෙන පිළිතුර වන්නේ “මට මේ දවස්වල අහවල් ග්‍රහයාගෙන් අපල” ඇති බවයි. මීට හොඳම උදාහරණයක් වන්නේ සෙනසුරු ග්‍රහයාගේ මාරුව ගැන විශාල බියක්. අපේ රටේ ජනතාව අතරට ගොස් ඒ සඳහා ආරක්ෂාව පතා කල් තියාම විවිධ පුද පූජාවන්ට ඔවුන් පෙලඹීමයි.

කිසියම් ග්‍රහයකු සිටින ස්ථානය පමණක් බලා යම් යම් දේ පිළිබඳ පලාපල ප්‍රකාශ කිරීම සුදුසු නොවේ. ග්‍රහයා ස්ථාන ගතව සිටින්නේ කුමන බලයක් යටතේ ද කුමන යෝග බලයක් සහිතව ද කුමන මහ දශාවන් හා අතුරු දශාවක් ගත කරන්නේ ද ගෝචරව ගමන් කරන ආකාරය මේ ආදි තවත් බොහෝ දේ විමසමින් මධ්‍යස්ථ මතයක සිට පලාපල ප්‍රකාශ කළ යුතු වේ. පෙර කීවාක් මෙන් පුද්ගලයා හා කතාබහ කර තීන්දු තීරණ ගැනීම ඉතා වැදගත් වේ. කේන්ද්‍රය තුළ කුමන අයහපතක් තිබුණ ද මධ්‍යස්ථව සිතා බලා පලාපල ප්‍රකාශ කිරීම දෙලොවටම යහපත් කළ හැකි කටයුත්තකි.

 

රත්නායක මුදලිගේ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.