විවාහය අවුල් කිරීමට කුජගේ බලපෑම

ඔක්තෝබර් 8, 2021

විවාහය ගැන කතා කරන සෑම කෙනෙකුට අඟහරු ගැන කතා කිරීමට අමතක නොකරති. එනම් අඟහරු විවාහයට වින කරන ග්‍රහයකු වශයෙන් බොහෝ දෙනෙකු සලකති. විවාහ යෝජනාවක් සම්බන්ධයෙන් කේන්ද්‍රයක් ලැබුණුවිට පළමුවෙන්ම බලන්නේ කුජ ගැන ය. අඟහරු ගැන එතරම් බියක් දක්වන්නේ එම ග්‍රහයා සිටින ස්ථානය විනාශ කරන්නේය යන අදහස මුල් කරගෙනය.

 

අඟහරු කේන්ද්‍රයක සිටින ස්ථාන සහ වෙනත් ග්‍රහයන් සමඟ ඇතිකර ගන්නා සංයෝග සහ දෘෂ්ටීන් හේතුකොටගෙන විවාහ ජීවිතයේ අවුල් වියවුල් ඇතිවන අවස්ථාවන් ඇත. එම අවස්ථාවන් පිළිබඳව මෙයින් විමසා බලමු.

අඟහරු හත්වැන්නේ

විවාහ යෝජනාවක් සම්බන්ධයෙන් කේන්ද්‍රයක් ලැබුණු විගස එහි හත්වැන්නේ කුජ සිටී නම් එය දුටු අවස්ථාවේදීම ඉවත දැමීමට වැඩිදෙනා සූදානමින් සිටී. නමුත් එය එතරම් බිය යුතු දෙයක් නොවේ. හත්වැන්නේ අඟහරු ස්වක්ෂේත්‍රව හෝ උච්ච බලයෙන් සිටීමෙන් පංච මහා පුරුෂ යෝග පද්ධතියට අයත් රුවක නම් යෝගය යෙදේ. මෙය බොහෝ ශුභ පල දෙන අතර එවන් අයගේ විවාහ ජීවිත හොඳින් සාර්ථක වේ.

එහෙත් සමහරුන්ගේ විවාහ ජීවිත අසාර්ථක වී ඇත්තේ අඟහරු පාප ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්වීමෙනි. අඟහරු 1 2 4 7 8 යන ස්ථානයක සිටීමෙන් භෞම දෝෂය ඇතිවේ. අඟහරු හත්වැන්නේ සතුරු හෝ නීච තත්ත්වයෙන් සිටීම සහ පාප දෘෂ්ටියට ලක්වීමෙන් විවාහ ජීවිතය අවුල්වීම සහ කඩාකප්පල්වීම සිදුවේ. මෙම කරුණ සිදුවන්නේ අඟහරුගේ දශා මහ දශා ගෝචරයෙන් හත්වැන්නට ගමන් කරන කාලවලදීය. කෙනෙකුගේ කුජ හත්වැන්නේ සිටීමෙන් උත්පාදක ශක්තිය හෙවත් කාම ශක්තිය වැඩිවේ. එබැවින් ඒ අඅය රහස් සම්බන්ධකම් ඇතිකරගනී. මේ නිසා රහස් අසනීප ඇති කර ගනී. මෙවන් හේතු නිසා විවාහ ජීවිතය අවුල්කර ගනී.

කුජ පස් වැන්නේ

කුජ පස් වැන්නේ සිටින අයගේ වැඩිමහල් පිරිමි දරුවාට අනතුරු කරයි. අනික් දරුවෝ අකීකරු වේ. තවද පස්වැන්නේ කුජ පාප දෘෂ්ටිවලට ලක්වූවොත් දරුපල නැතිවේ. මේ අය කාම ශක්තියෙන් වැඩි පුද්ගලයන්ය. එබැවින් එක් කෙනෙකුගෙන් තෘප්තිමත් භාවයට පත් නොවී රහස් සම්බන්ධතා ඇති කර ගනී. බොහෝ විට රහස් ලෙඩ රෝගවලට ද හේතු වේ. මෙවන් කරුණු නිසා මේ අයගේ විවාහ ජීවිතයේ ප්‍රශ්න ඇති වේ.

කුජ ශනි සංයෝගය

කුජ ශනි සංයෝගය එම ග්‍රහයන්ට නීච හෝ සතුරු රාශියක සිටීමෙන් විවාහ ජීවිතය අවුල් වනවා පමණක් නොව සහකරු හෝ සහකාරියගේ මරණය පවා සිදුවන අවස්ථා ඇත. කුජ කටක රාශියේ දී නීචය. සිංහ ධනු කුම්භ මීන යන රාශිවල සතුරුය. සෙනසුරු මේෂ රාශියේ නීච වන අතර කටක සිංහ කන්‍ය වෘශ්චික යන රාශිවල සතුරු ය. කුජ, ශනි දෙදෙනාට කටක, සිංහ රාශිය යහපත් නොවේ. මේ නිසා කටක රාශි ගතවූ සෙනසුරු ජන්මියාට කුමන ආකාරයේ හෝ විපතක් ඇති කරයි. විවාහ ස්ථානය හෝ විවාහයට සෘජුව හෝ වක්‍රාකාරව සම්බන්ධ ස්ථානයක කුජ ශනි යෝගය යෙදීමෙන් විවාහ ජීවිතයේ අවුල් ඇතිවේ. බොහෝ විට මෙම අවුල් සහගත තත්ත්වය අවසන් වන්නේ දෙදෙනා දික්කසාද වීමෙන් හෝ වෙන්වීමෙනි.

කුජ ශුක්‍ර යෝගය

අඟහරුගේ සැරකම සහ සිකුරුගේ සෞම්‍යකම එකට එකතුවූ කල හොඳට ගැළපේ. කරුණාවන්ත සාමදානයට කැමති ධෛර්යමත් කෙනෙකු වේ. මෙය අධික කාමය ඇති කරන ග්‍රහයෝගයකි. ඒ හේතුකොටගෙන ලිංගික ජීවිතයේ ඇලී ගැලී කටයුතු කරන අය වන අතර ඒ අතින් තෘප්තියට පැමිණීම පිණිස දූෂිත මාර්ගද උපයෝගි කර ගනී. මෙම කුජ ශුක්‍ර යෝගය ශාරීරික ශක්තිය වැඩි කරන යෝගයක්ද වේ. මෙම ග්‍රහයන් දෙදෙනාගෙන් කෙනෙකුට එක හත අයිති වී තිබුණහොත් විවාහ ජීවිතය අවුල් වියවුල් තත්ත්වයකට පැමිණෙ. නරකට සිටියහොත් තමාගේ ආශාවන් මුදුන්පත් කර ගැනීමට ඕනෑම නොහොබිනා වැඩක් කර මුදල් නැතිකරගනී. තවද පහත් තත්ත්වයේ ස්ත්‍රීන් ඇසුරු කිරීමෙන් නම්බුව නැති කර ගනී. මෙම යෝගය ජල රාශියක නම් බේබද්දදකු වේ. මෙවන් අයගේ විවාහ ජීවිත හොඳ තත්ත්වයෙන් ගෙන යාමට නොහැකි වේ.

කුජ සඳු යෝගය

චන්ද්‍රයාට එක රාශියක් පසු කිරීමට දින දෙක හමාරක් ගතවන අතර අඟහරුට එක රාශියක් පසු කිරීමට දින හතළිස් පහක් පමන ගත වේ. මේ නිසා මාසයක් ඇතුළත දින දෙකහමාරක් තුළදී සඳු කුජ සංයෝගය සෑදේ. මෙම යෝගය කේන්ද්‍රයේ බලවත් ස්ථානයක යෙදුණහොත් උසස් ප්‍රතිඵල ලැබෙන අතර විවාහ ජීවිතයද සාර්ථකවේ. සඳු කුජ දෙදෙනාට අයහපත් සහ අශුභ රාශියක මෙම යෝගය යෙදුනහොත් විවාහයට බලවත් ලෙස බාධා ඇති වේ. අව පක්ෂයේ චන්ද්‍රයා නීච හෝ සතුරු තත්ත්වයකට පත්වුවහොත් චරිතය දූෂණය කර ගනී. මෙම ග්‍රහයන් දෙදෙනාගෙන් එක් අයකු නීච හෝ සතුරු රාශි ගතව විවාහක ස්ථානයක හෝ විවාහයට සම්බන්ධ වෙනත් ස්ථානයක සංයෝගව යෙදී සිටීමෙන් විවාහය පවත්වා ගැනීම අපහසු වේ. සඳු කුජ යෝගය කාම ත්‍රිකෝණයේ හෝ විවාහයට සම්බන්ධ ප්‍රධාන ස්ථානයක යෙදී තිබුණහොත් ඒ අය අධික කාමාශාවෙන් පෙළෙන්නන් බවට පත්වේ. ඒ අය එක් සහකරුවකුගෙන් හෝ සහකාරියකගෙන් සෑහීමකට පත් නොවේ. යුග දිවියට අමතරව අනියම් සබඳතා පවත්වා ගනී. මෙම යෝගයට රාහු සම්බන්ධ වුවහොත් අති ධාවන තත්ත්වයක් ඇතිවේ. අයහපත් රාශියක නම් චරිතය දූෂිත වේ. මෙම යෝගයට කේතු සම්බන්ධ වුවොත් රහසිගතව අනියම් සබඳතා ඇති කර ගනනී. ඉහත කරුණු හේතුකොටගෙන මෙම යෝගය ඇති අය විවාහ ජීවිත අවුල් කරගනී.

 

නිශාන්ත විජේසේන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.