පින්වත් දරුවන් ඔබටත් හිමිවේ ද පස්වැන්නෙන් බලන්න

මැයි 21, 2021

දෙමාපියන්ට දරුවන් තරම් උතුම් සම්පතක් තවත් නැත. මේ නිසා දරුවන්ගේ අනාගත දියුණුව සඳහා දෙමාපියන් මොනතරම් වෙහෙසක් කැප කිරීමක් කරනවාද? එහෙත් ඒ මහඟු ගුණ ගැන සලකා දරුවන් දෙමාපියන් වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් ඉටුකරන්නේ කීයෙන් කීදෙනා ද, මෙය කෙනෙකුගේ කේන්ද්‍රයේ පස්වැන්නාධිපති පස්වැන්නේ ඇති ග්‍රහයන් හා ඒවාට ඇති ග්‍රහ දෘෂ්ටි සහ ලග්නය හා ඇති යෝගවලින් මනාව පෙන්නුම් කරයි.

 

දරුවන්ගේ තත්ත්වය පැහැදිලි කරන්නේ කෙන්ද්‍රයේ පස්වෙනි රාශිය හෙවත් පුත්‍ර ස්ථානයයි. මෙය හොඳින් පරික්ෂා කිරීමෙන් තමාට දරුවන් සලකාවිද යන්න දැනගත හැකිය. එමෙන්ම උපදින දරුවා මාපියන් වියපත්වූ විට සලකන කෙනෙක්දැයි දරුවාගේ කේන්ද්‍රයේ බන්දු ස්ථානය හෙවත් හතරවන රාශිය බැලීමෙන් දැනගත හැකිය. එය ඔවුන්ගේ මාපියන්ගේ තත්ත්වය හා නෑදෑයින්ගේ තත්ත්වය පැහැදිලි කරන ස්ථානයයි.

දරුවන්ගෙන් මාපියන්ට මෙන්ම මාපියන්ගෙන් දරුවන්ට ගෙන දෙන පල අපල ද කේන්ද්‍රයේ මනාව සටහන් වෙයි. ජන්ම කේන්ද්‍රයක පියා 9 වෙනි කොටුව සහ රවිගෙන් ද මව 4 වෙනි කොටුව හා සඳුගෙන් ද නියෝජනය වෙයි.

දහවල් උපදින අයට සිකුරු මවු වෙයි. මෙම කොටුවල ග්‍රහයන් බලවත් නම් මවුපියන්ට ශීඝ්‍ර දියුණුවක් අත්වෙයි. තවද එම භාවයන් පාප ග්‍රහයන්ගෙන් පීඩිත වී සිටියොත් මව්පියන්ට පීඩා ගෙන දෙයි. කේන්ද්‍රයක ලග්නාධිපති බෙලහීනව හෙවත් දුර්වලව පස්වැන්නේ සිටියොත් දරුවන් අඩුවන අතර එම දරුවන්ට ද ඉතා අපලය.

තුන්වැන්නාධිපති පස්වැන්නේ සිටින අයට දරුවන්ගෙන් උදව් උපකාර ලැබිය හැකි නොවේ. හතරවැන්නාධිපති පස්වැන්නේ නම් දරුවා මවට ඉතා ආදරය කරයි. පස්වැන්නාධිපති පස්වැන්න උච්චව හෝ ස්වක්ෂේත්‍ර වීම සහ යහපත් ග්‍රහයකු නීච නොවීම නිසා තමාගෙන් දරුවන්ට අපල නොවන අතර ඔවුන්ට දරුවන්ගෙන් සැප ලැබිය හැකි වේ.

තවද 9,10,11 අධිපතීන් පස්වෙනි භාවයේ සිටීමෙන් ධනයෙන් මෙන්ම යහපත් දරුවන් ද ලැබීමට හේතු වෙයි. එමෙන්ම අට අධිපති පස්වැන්නේ සිටීමෙන් ද බුද්ධිමත් දියණියන් ලැබීමට හේතු වේ. පස්වැන්නාධිපති රවි සමඟ හෝ ගුරු සමඟ යෝග වීමෙන් ද උගත් දරුවෝ බිහි වෙති. සිකුරු එහි සිටීමෙන් රූමත් ගුණවත් දරුවන් බිහි වේ.

පස්වැන්නාධිපති සහ ලග්නාධිපති පස්වැන්නේ ග්‍රහයින් ලග්නාධිපති හා මිත්‍ර නම් දරුවෝ මාපියන්ට සලකති. ලග්නාධිපති හා පස්වැන්නාධිපතිට පරිවර්තන යෝගයක් පිහිටා ඇත්නම්ද තත්ත්වය එසේම වේ. මෙම ග්‍රහයන් එකිනෙකට ත්‍රිකෝණ ගතවුව ද සුබඵල වේ.

ගුරු සඳු පස්වැන්නේ බුධ තමාගේම රාශියේ රවි පළමු වැන්නේ හතරවැන්නේ පස්වැන්නේ නවවැන්නෙ සහ එකොළොස්වැන්නේ අශුභ දෘෂ්ටි සම්බන්ධයක් නොමැතිව පිහිටා ඇත්නම් ලැබෙන දරුවන් අකීකරුය. පස්වැන්නේ කුජ,ශනි, රාහු හෝ කේතු සිටීම අකීකරු මාපියන්ටෙ නොසලකන දරු උපත් ගෙන එයි.

පස්වැන්න ඔවුන්ගේ රාශියේ නම් දරුවන් මාපියන් හා කලකෝලාහල නොකරද එකිනෙකා අවබෝධයෙන් තොරව කටයුතු කරනු ඇත. මෙම ග්‍රහයන් පස්වැන්නෙ වක්‍රවී ඇත්නම් හෝ තවත් අශුභ ග්‍රහයින් හා සම්බන්ධ වී ඇත්නම් හෝ දෘෂ්ටියට ලක්වී ඇත්නම් හෝ දරුවන්ගෙන් මාපියන්ට කරදර ඇතිවේ. ඔවුන් මාපියන්ට නොසලකනු ඇත.

රවි පස්වැන්නේ සිටින විටදී ස්වල්ප වශයෙන් දරුවන් ලැබීමට හෝ නොලැබීමට ද ඉඩ ඇත. චන්ද්‍රයා පස්වැන්නේ නම් බොහෝ දරුවන් ලැබෙනු ඇත. කුජ පස්වැන්නේ නම් උපදින දරුවන් අකීකරුය. බුධ පස්වැන්නේ නම් ඔහුගේ දරුවුන් ඔහුට හිතවත්ය.

ඔහුගේ මාපියන් ද ඔහුට ලැදි මෙන්ම හයවැන්නේ නම් නෑදෑයින්ට විරුද්ධය. සිකුරු පස්වැන්නේ නම් ලස්සනන දරුවන් උපදී. සෙනසුරු පස්වැන්නේ නම් දරුවන් අඩුය. රාහු හතේ නම් එසේමය. කේතු හතේනම් දරුවන්ට අපල ද, ගුරු හතේ සිටීනම් මවුපියන්ට කීකරු පිරිමි දරුවන් ද වැඩිපුර උපදියි.

පස්වැන්නේ බලවත්වූ ග්‍රහයෙක් පිහිටීම පස්වැන්නාධිපතියා බලවත් වීම ද උසස් දරුවන් ලැබීමට හේතු වන්නකි. පහ බලවත්වී ගුරු උච්ච වීමෙන් ද දරුවන් බොහෝ දියුණු වීමට හේතුවන පිහිටීමකි. ගුරු නීචව සිටීමෙන් හා වෙනස් ආකාරයකින් දුර්වල වීමෙන් දරුපල අඩු වේ. ගුරුගේ දුර්වලතාවය දරුවන් පිළිබඳව කරදර පෙන්වන බව සැලකිය යුතුය.

පුත්‍ර ස්ථානාධිපතියාත්, ලග්නාධිපතියාත්, ගුරු එක්ව සිටීමෙන් පියාගේ හැඩරුව හා ගතිගුණ ඇති දරුවෝ ලැබෙති. පියාගේ චරිතය ආදර්ශයට ගෙන ඔහු ගිය මග ඔස්සේ ගමන් කරන මොවුන් හා පියා අතර දිවි පවත්නා තුරු නොකැඩෙන සමීප සම්බන්ධතාවයක් පවතී.

භාග්‍යස්ථානයේ ගුරු , සිකුරු සඳු ආදී ග්‍රහයන් බලවත්ව සිටීමෙන් බොහෝ දියුණුව ලබන දරුවන් ලැබෙන අතර මාපියන්ට දරුවන්ගෙන් ජීවිතයට සැප ලැබීමේ වාසනාව හිමි වෙයි. කීකරු විනීත ධර්මයට ලැදි දරුවන් ලැබීම විශේෂ ලක්ෂණයකි. මොවුන් සමාජයට රටට ඉතා වැඩදායක ජීවිත ගෙවන අය වීමත් ලෝකයාගේ ගරු බුහුමන් ලැබීමටත් හේතු වෙයි.

 

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.