මෘගසං වර්ෂාවේ කළු වලා මුදුන් වෙමින් පවතී

අප්‍රේල් 30, 2021

ආරෝග්‍යා පරමාලාභා – සන්තෘෂ්ටි පරමං ධනං

විශ්වාසා පරමා ඥාතී – නිබ්බානං පරමං සුඛං

නිරෝගිකම තරම් ලොකු ලාභයක්, සතුට තරම් ලොකු ධනයක්, විශ්වාසකම තරම් ලොකු නෑයෙක්, නිවන තරම් ලොකුව සුවයක් යමෙකුට නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට පෙන්වා දී තිබේ.

මහා භද්‍ර කල්පයට අයත් කලියුගය ගෙවී යමින් පවතී. ලෝක විනාශයේ පෙර නිමිති ලෙස මෘගසං වරුෂාවක් ඇතිවී එම වැස්සට තෙමෙන මිනිසුන් එකිනෙකා දෙස සැකයෙන්, කෝපයෙන් බලා මෘගයන් මෙන් එකිනෙකා ගහ මරාගෙන මැරී විනාශයට පත්වන බව කියවේ.

එහෙත් මෙම මෘගසං වරුෂාව අහස් කුසින් කඩා හැලෙන වර්ෂාවක් ද නැතහොත් මිනිසාගේ සිතිවිලි දූෂිත වී මෘග ගතිගුණ ඉස්මතු වී සිදුවන විනාශයක් ද යන්න විමසා බැලිය යුතුය.

කරුණාවෙන්, මෛත්‍රියෙන්, දයාවෙන් තෙත්වූ හඳවත් ඇති මිනිසුන් බහුලව වසන කාලවකවානුවලදී ඔවුන් සාමයෙන්, සමගියෙන්, සහජීවනයෙන් යුක්තව සතුටින් වාසය කරනු ලබයි. එහෙත් තෘෂ්ණාව, ක්‍රෝධය, වෛරය අසමගියෙන් බරිත වූ කාලවලදී අසහනයෙන් පීඩාවෙන් එකිනෙකා දෙස සැකයෙන් හා අවිශ්වාසයෙන් යුක්තව වාසය කරනු ලබයි.

වර්තමාන ලෝකවාසීන්ගේ ජීවන රටාව දෙස විමසා බලන විට නවීන තාක්ෂණික දියුණුවත් සමඟම මිනිසුන්ගේ සාමූහිකත්වය එකමුතුකම පරාර්ථකාමිත්වය දිනෙන් දින පරිහානියට පත්වෙමින් පවතී. ධනයට, බලයට, නිලයට ඇති තෘෂ්ණාව වර්ධනය වෙමින් ආත්මාර්ථයට ප්‍රමුඛස්ථානය දී කටයුතු කරන පිරිස වැඩිවෙමින් පවතී.

ආරෝග්‍යා පරමාලාභා – සන්තෘෂ්ටි පරමං ධනං

විශ්වාසා පරමා ඥාතී – නිබ්බානං පරමං සුඛං

නිරෝගිකම තරම් ලොකු ලාභයක්, සතුට තරම් ලොකු ධනයක්, විශ්වාසකම තරම් ලොකු නෑයෙක්, නිවන තරම් ලොකුම සුවයක් යමෙකුට නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට පෙන්වා දී තිබේ.

නිරෝගීකම තරම් පරම ලාභයක් පුද්ගලයෙකුට හෝ රටට ලෝකයට නොමැත. අද පුද්ගලයන් වශයෙන් ද ,රටවල් වශයෙන් ද සමහර විට කෑම බීමවලටත් වඩා වැඩි වියදමක් දරන්නේ ලෙඩ රෝග වෙනුවෙනි. රටවල් වශයෙන් ගත් කල මත්පැන් සිගරට්වලින් ලබන බදු මුදල්වලට වඩා ඒ නිසා ඇතිවන රෝගවලට වැය කිරීමට සිදුව තිබේ. එසේම බෝවන රෝග හා බෝනොවන රෝග පීඩා ද දිනෙන් දින වැඩිවෙමින් පවතී. මේ නිසා බොහෝ පිරිසක් ජීවත් වන්නේ රෝග භීතියකිනි. රෝග වැළදෙතැයි ඇතිවන බිය නිසාම දහස් ගණන් ලක්ෂ ගණන් වියදම් කර වෛද්‍ය පරීක්ෂණ කරවා ගැනීමට පෙළඹෙති. රෝගීන්ට කරන පරික්ෂණ හා ප්‍රතිකාර වෙනුවෙන් අසාධාරණ ලෙස මුදල් ඉපයීමේ ක්‍රම සැකසී ඇත. දැනට ලොව පුරා ව්‍යාප්ත වී පවතින කොරෝනා, ඩෙංගු වැනි මාරාන්තික රෝග නිසා එකිනෙකා අතර අවිශ්වාසය හා සැකය ගොඩනැඟී ඇත. එම අවිශ්වාසයන් හා සැකයන් නිසාම ගැටුම් වාද බේද ඇතිවෙයි.

මෙසේ රෝග පීඩා නිසා ඇතිවන සැකමුසුකම් මෙන්ම ධනය හා බලය උදෙසා ද පුද්ගලයන් අතර මෙන්ම නොයෙක් සමාජතල අතර ඇති නැති පරතර ජාතිබේද, කුලබේද, ආගම්වාද, සමාජවාදී, ,ධනවාදී වශයෙන් බේදභින්නවීම් සැකසංකා දිනෙන් දින උග්‍රවෙමින් පවතී. තාක්ෂණික දියුණුවත් සමඟ වර්ධනය වී ඇති ජනසන්නිවේදන ක්‍රම නවීන විනාශකාරී අවි ආයුධ, ගොඩබිමෙන්, මුහුදින් , ගුවනින් අධිවෙගයෙන් ගමන් කළ හැකි යාන වාහන නිසා දැනට වර්ධනය වී ඇති තත්ත්වයන් ලෝකයේ යහපතට වඩා අයහපතට හේතුවනු ඇත.

අද මෙන් තාක්ෂණය නොදියුණු අධිරාජ්‍යවාදී යුගවලදී රුවල් නැව් හා ගොඩබිමෙන් පමණක් ගමනාගමනය සිදුවීම, ලිපි හා පණිවුඩකරුවන් මඟින් සන්නිවේදන කටයුතු සිදුවීම ඇතිවු විනාශයන් අවම විය. පළමු වැනි හා දෙවැනි ලෝක යුද්ධවලදී නවතාක්ෂණයේ ප්‍රාථමික අවදි නිසා විනාශයන් සිදුවුව ද ඒවා ද එතරම්ම විනාශකාරි නොවී යැයි කිව හැක්කේ අනාගතයේදී තෙවැනි ලෝක යුද්ධයක් සිදුවුවහොත් එම යුද්ධයෙන් පසු ලෝකයට ජයගත් කිසිවකු ඉතිරි නොවී මහා විනාශයක් සිදුවනු නියතය.

මේ අනුව වර්තමානයේ මිනිසුන් අතර රටවල් අතර විශ්වාසයන් පිරිහෙමින් පවතී. ධනවාදී, සමාජවාදී, පැසිට්වාදී , ත්‍රස්තවාදී ආදි වශයෙන් දේශපාලන වාද විවාද ඇතිවී පවතී. ලෝකයේ බලවතුන් වීමට අර අඳින රටවල් හා රාජ්‍ය නායකයන් සිටී. මේ නිසා රටවල් අතර මෙන්ම මිනිසුන් අතර විශ්වාසයන් පිරිහෙමින් පවතී. විශ්වාසය තරම් ඥාති හිතවත් කමක් නොමැති බව බුද්ධ දේශනාව වුව ද එය බිඳවැටෙන විට සැකය වර්ධනය වී මිනිසුන්ගේ සිතිවිලි හා ගතිගුණ මෘගයන්ට හා සමාන වේ. එසේ නම් මෘගසං “මෘගසන්” යන වචනයේ අර්ථය අනුව මෘගසිත්, මෘගසංඥා මෘගගති පැවතුම් වලින් මිනිසුන් බරිතවීම මෘගසන් වරුෂාව වන බව යැයි පිළිගත හැකිය.

සතුට තරම් වටිනා ධනයක් නොමැති බව බුදු වදනකි. එහෙත් එම සතුටේ ස්වභාවය රාගයෙන් හා අවිද්‍යාවෙන් බරිත කාලබුහු සිත් ඇති අයට නොවැටහේ. එනිසාම බොහෝ දෙනෙකු ධනය හා නිලය, බලය ඇතොත් සතුට ලැබේයැයි සිතා හය, හතර තේරෙන වයසේ සිටම ධනය, නිලය,බ ලය සොයා යන ගමනකට පිවිසී සිටී. එම ගමනේදී ඇතිවන බාධක හා ඊට හරස්වූ අය දෙස සැකයෙන් කටයුතු කරයි. ඒ උදෙසා මිනිස් ඝාතන සිදුකිරීමට වුවද පසුබට නොවෙයි.

සැබෑ සතුට දැනෙන්නේ සියලු බැඳීම්වලින් තොරවූ සිතිවිලි ඇති අය තුළය. එවැනි පරිපූර්ණ සතුටක් ලබන්නේ බුදු , පසේබුදු, මහරහතුන් වහන්සේලාය. සෝවාන්, සකෘදාගාමී, ආනාගාමි එල සිත් ඇත්තෝ සිවුවැනි , තෙවැනි, දෙවැනි තලවල සුව ලබන්නේ වෙති. “නිබ්බානං පරමං සුඛං” යනුවෙන් නිර්වානය නැමැති පරම සුවය බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ලබන උතුම්ම සුවයට ළඟාකර ගැනීමට නම් මිනිසාගේ ක්‍රියාවන් හා වචන සංවර කරගත යුතුමය. ඒ සඳහා අවම වශයෙන් පංචශීල ප්‍රතිපදාව අනුගමනය කළ යුතුය. එවිට පංචායුධයට වඩා ආරක්ෂාවත්,සහජීවනයත්, සමගියත්, සමාදානයත් පුද්ගලයන් තුළ මෙන්ම ලෝකවාසීන් තුළම ඇතිවනු ඇත.

 

ඡ්‍යෝතිෂවේදී

කොබ්බෑවල

සුමනදාස වීරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.