ධන සම්පත් උදා කර දෙන ග්‍රහයෝ

අප්‍රේල් 23, 2021

අප ජීවත්වන සමාජය දෙස බැලීමේ දී කෙනෙකු දිළිඳු දුෂ්කරතාවලින් පිරුණු ජීවිතයක් ගත කරන අතර තව කෙනෙක් ධනයෙන් මෙන්ම ගුණ නැණින් ද යුතුව වැදගත් අය වශයෙන් දිවි ගෙවති. ධනවත් පවුලක වුවත් පවුලේ දරුවන් අතර මේ වෙනස දැකගත හැක. එයට හේතුව වනුයේ තමන් උපදින අවස්ථාවේ දී බලපෑ ග්‍රහබලපෑම් බව ඡ්‍යොතිෂය අනුව පැහැදිලි වෙයි.

 

ධන සම්පත් උදාකරන ග්‍රහයින් ගැන සැලකීමේ දී රවි, චන්ද්‍ර, ගුරු, ශුක්‍ර යන ග්‍රහයන් ඉතා වැදගත් ලෙස සැලකෙයි. කෙනකුට ලැබෙන ධන සම්පත් සමහරවිටෙක ඉතා ඉක්මනින් නැති වී යයි. මෙයට හේතුව ඒ ඒ පුද්ගලයන් උපන් මොහොතේ පැවැති අසුබ ග්‍රහයන්ගේ බලපෑමයි. කෙනෙකුට ධන සම්පත් ලබාදෙන ග්‍රහයන් හට අශුභ දෘෂ්ටි වැටී ඇත්නම් ලැබෙන ධනයද නිරපරාදේ වියදම් වී යයි.

කෙනකුට ධන සම්පත් ලබාදෙන ග්‍රහයෝග මේ අයුරින් දැක්විය හැක. කේන්ද්‍ර සටහනේ ධනය පිළිබඳව කරුණු සෙවීමට වැදගත්ම කොටුව වනුයේ දෙවැන්න හා එකොළොස් වැන්නය. දෙවැන්නෙන් උපතින් ලබන හා තැන්පත් ධනය පිළිබඳ කියැවෙන අතර එකොළොස්වැන්නෙන් උපයන ධනය හා හදිසි ධනලාභ පිළිබඳ තොරතුරු දැකගත හැක. මෙම භාව අධිපතීන් බලයෙන් යුතුව හෝ එම ස්ථානවල ශුභ ග්‍රහයින් සිටිනවිට ධනවත් වී ගේදොර” යානවාහන පවා හිමිවෙයි.

දෙවැන්න අධිපතියා ඔබ උපදින විට ඔබේ කේන්ද්‍ර සටහනේ එකොළොස් වැන්නේ සිටියොත් ඔබ උපතින්ම මව්පියන්ගේ ධනයටද උරුමකම් කියනු ඇත. නැතිනම් ඔබ උපතින්ම ධනවත් පවුලක උපත ලබයි. දෙවැන්නේ ගුරු, ශුක්‍ර, බුධ, සඳු වැනි ග්‍රහයින් සිටි විට ඔබට තැන්පත් ධනයක් උරුම වනු ඇත. දෙවැන්න අධිපතියා එකොළොස්වැන්නෙන්, එකොළොස්වැන්න අධිපතියා දෙවැන්නෙන් ස්ථානමාරු වී සිටියොත් ඔබ විශාල ධනයකට හිමිකම් කියයි. එකොළොස්වැන්න අධිපතියා අටවැන්නේ නම් එයද හදිසියේ ධනලාභ හිමිවීමට හේතුවකි. යම් කෙනෙකුගේ කේන්ද්‍රයේ තුන්වැන්න, හයවැන්න හෝ එකොළොස්වැන්න යන ස්ථානයක් මේෂ රාශිය වී කුජ ග්‍රහයා එහි තැන්පත්ව සිටී නම් එය “ගජකේශරි” නම් ග්‍රහයෝගය වේ. මෙබඳු අයට සැප, සම්පත් යස, ඉසුරු, රන්රිදී, මුතු මැණික් ආදිය ලැබීමේ වාසනාව හිමි ය. භූමියෙන් ලැබෙන වටිනා වස්තු සම්භාරයකට හිමිකම් ලබයි.

මැණික් කර්මාන්තය, පතල් කර්මාන්තය ආදියෙන් හා වැව් ආශි‍්‍රත කර්මාන්තවලින්ද විශාල ධනවතුන් වනුයේ මෙම ග්‍රහ පිහිටීම් ඇති අයයි. කුජ මහ දශාව, කුජ අන්තර් දශාව ගත කරන කාලය තුළ දී අනිවාර්යයෙන්ම මෙම ශුභඵල උදාවනු ඇත.

රවි ග්‍රහයා ස්ත්‍රිය කෙරෙහිද, චන්ද්‍ර ග්‍රහයා පුරුෂයා කෙරෙහි ද ධනය සම්බන්ධයෙන් වැදගත් වෙයි. කිසියම් අයුරකින් රවි, චන්ද්‍ර දෙදෙනා අශුභ දෘෂ්ටි හෝ අශුභයාට ශුභ දෘෂ්ටි හෝ දුන්නේ නම් ධනය ලැබීම අතින් ඉතා යහපත් වන අතර අශුභ දෘෂ්ටිනම් එය දුර්වල කරයි. බහුතර ග්‍රහයින් පිරිසකගේ ශුභ දෘෂ්ටි ශුභ සංයෝග වැඩිවූ තරමට ධනය ලැබීම වැඩිකරයි. චංචල දේපල ලැබීමද දියුණු කරයි.

එකොළොස් වැන්නේ සෙනසුරු සිටීමත් හොඳ පිහිටීමක් වෙයි. ඔබේ කේන්ද්‍රයේ කුජ හා ශුක්‍ර එකොළොස්වැන්නේ නම් අන් අය පිනවන රසිකත්වයෙන් හා වෙනත් ක්‍රමවලින් ධනය විශාල ලෙස ලැබීමට හේතුවේ. ඇසුරු කරන හමුවන අයගෙන් ද ධන ලාභ උදාකරන පිහිටීමකි.

කේන්ද්‍ර සටහනේ හත්වැන්න අධිපතියා දෙවැන්නේ හා එකොළොස්වැන්නේ නම් විවාහයෙන් පසු විවාහ සහකරු හෝ සහකාරියගේ සහායෙන් හෝ උරුමයෙන් ධනවතකු වීමේ භාග්‍යය හිමිවේ.

දෙවැන්න අධිපතියා හෝ එකො ළොස්වැන්න අධිපතියා දොළහේ සිටීම නිර්ධන යෝගයකි. උපතින් ධනවත් පවුලක ඉපදුනද එම ධන සම්පත් පවා අහිමි වී යයි.

වෘෂභ ලග්නයේ උපත ලබා සඳු උච්චව එහි සිටියේ ද, දෙවැන්නේ ගුරුද හය වැන්නේ සෙනසුරුද අනිත් ග්‍රහයින් 11, 10 ස්ථානවල සිටියේ ද එයද ධ සම්පත් හිමිවීමට හේතුවෙයි. ගුරු, සිකුරු, බුධ ලග්නගතව සෙනසුරු හතේද, රවි දහයේද සිටිවිට මහා ධනවතකුගේ උත්පත්තිය සිදුවේ. සියලු සම්පත් හිමිවේ.

මිථුන ලග්නය වී පස්වැන්නට සිකුරු පැමිණීමත්, සෙනසුරු එකොළොස්වැන්නේ සිටීමත් ජන්මියාට ලොතරැයි ආදියෙන් ධන ලාභ ලැබීමට හේතුවේ. තවද යම් අයෙක් මකර ලග්නයෙන් ඉපිද එහි කුජ ග්‍රහයා තැන්පත් වී සිටීනම් හෙතෙම රුචක නම් බලවත් යෝගයෙන් උපන්නෙක් වේ.

මෙවැන්නෝ කුමන ආකාරයකින් හෝ ධනය වස්තුව ලබා සැපවත් ජීවිත ගත කරන්නෝ වෙති. තම සතුරන් මර්දනය කර කිසිවකුටත් නොබියව හැම තැනකදීම ජය කීර්ති ප්‍රශංසා ලබන වාසනාවන්තයෝ ද වෙති.

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.