වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
කුංකුණාවේ හිමියන්ගේ වස් කවි
ඉටු සහ අනිටු පල උදා කිරීම පිණිස යොදා ගැණෙන පද්‍ය ක්‍රමයෙහි දක්ෂතා දැක්වූ රචකයන් පිළිබඳවත්, ඔවුන්ගේ නිර්මාණ සැලකිය යුතු ප්‍රමාණයකුත් ඇතැම් පොතපත ආශි‍්‍රතව මෙන්ම ජනප්‍රවාද තුළින් ද සඳහන් වේ. විස්මිත පද්‍ය ක්‍රමයක් වශයෙන් මෙය සෙත් කවි, සහ වස් කවි නමින් හැඳින්වේ.
අදිසි බල වේගයක් වූ මෙම කවි සම්ප්‍රදාය තුළින් තවත් අදිසි බලවේගයක් වශයෙන් සැලැකෙන දෙවියන්ට ආයාචනය කෙරේ. ඒ සෙත් කවි සඳහා ය. ඇතැම් විට දෙවියන් යකුන් බූතයින්ට ආයාචනය කරමින් වස් කවි නිර්මාණය වේ. සෙත් කවියටත්, වස් කවියටත් දස්කම් දැක්වූ රචකයන් පිළිබඳව අතීතයෙන් තොරතුරු හමුවේ. වස් කවි රචකයින් විසින් ඒ සඳහා භාවිත කරන ලද, අක්ෂර, ගණ, යෝනි සහ විරිත් හා උපමා පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත හැකිය.
පන්සලේ සිටි කුකුළකු සොරාගෙන මරා කෑ සොරෙකුට දඬුවම් පැමිණැවූ කුංකුණාවේ හිමියන් විසින් රචිත වස් කවියක් මෙසේය.
“දී දුකා නොතකා දෙලෝ
පන්සලේ සිටි කුකුළා සපා
කෑ එකා වෙනෙකා නොකා
හරිදෝ අනේ සුරිඳුනි සපා
මේ ලකා නොරඳා ‘දොවන්’
කියනා එකා ඔබ තෙදකණපා
ඌ මකා උමතූ කරා හරු
කුකුළ් හොර විස සි ඳ දපා”
‘දොවන්’ නම් අභිධානයෙන්ම අකුරක් ආරම්භයට යොදා තිබේ. එහෙත් “දී” යන අකුර ‘දො’ යන්නට විරුද්ධ වන අයුරින් ස්වර වේද කිරීමෙන් යොදා වස් කවි රීතිය අනුගමනය කළ බව පැහැදිලි ය. ‘දොවන්’ හි මුලකුර’ දො’ එහි ස්වරය ද් +ඔ = ඔ පද්‍යයේ ආරම්භය ‘දි’ එහි ස්වරය - ද්+ඊ =ඊ ය. ඔ ස්වරයට ‘ඊ’ ස්වරය විරුද්ධ ය. අශුභ වස්තු, අශුභ ශබ්ද සඳහන් වචන, අශුභ ගණ ආදිය වස් කවියක ප්‍රබල යෙදුම් ය. මෙහි ‘දී දුකා, නොතකා අශුභ ව්‍යවහාරයන්ය. අග්නි ගණ (ඊගණ) දෙකක් මුලට යොදා මෙම කවිය ආරම්භ වේ. ඊ ගණයෙන් මරණය, භය ගෙන දේ. ඊ ගණ දෙකක් යෙදීමෙන් එය ස්ථිර කෙරේ. මෙම කවියේ සියලු ම පාද මෙම අයුරින් යොදා තිබීමෙන් මෙහි අනිටු විපාකය තහවුරු වේ. එහෙත් මුල් ගණ දෙකට පසු ‘දෙලෝ පන්” යන ජල ගණයට සමඟ නැවත ඊ ගණය යොදා සොරාට දරුණූු විපාක පමණක් ලබන අයුරින් කවිය සකස් වී ඇති බව පැහැදිලි වේ. ‘දොවන්’ අභිධනයට පෙර, ‘නොරඳා’ යන වායු ගණය සහ අශුභ වචනයටද, ඊට පසු, කියන යන වායු ගණයද යෙදීමෙන් උමතු කර පලවා හැරීමට සලස්වා තිබේ. සොරුට දරුණූ විපාක ලැබී ඇතැ’යි මේ පිළිබඳ පුවතෙහි සඳහන් වේ.
‘කුංකුණාවේ හිමියන් විසින් රචිත මෙම වස් කවිය පන්සල් වත්තේ පොල් ගස්වලින් කුරුම්බා ගෙඩි කමින් පලදාව විනාශ කළ සොරෙකුට දඬුවම් පිණිස ය.
‘ මොකා දෝ එකා මට නොදැයි මේකා
කකා කුරුම්බා ගෙඩි බිම දමන එකා
මකා මේ වකා වූ ගේ කුළල් කකා
යකා මහ සොහොන් මුගෙ දිවි ගන් සනෙකා”
මහ සොහොන් යකුට බාර කර රචිත මෙම වසම් කවිය “මූ” සහ මූගෙ යනුවෙන් තුන් වැනි හා සතර වැනි පාදවල යොදා තිබේ. “මූ” යන අභිධානයට පෙර ‘මේ වකා’ යන ‘ර’ ගණයට පසු (අභිධානයට පසු) ද එම ගණය යෙදේ. තද බල නපුරු පල උදා කරවන්නකි. කවියේ ආරම්භය ද ‘ජ’ ගණයත් අග්නි ගණයක් යෙදීමෙනි. එයින්ද ව්‍යසන අත් වේ. යෙදුම් නපුරුය. ‘මේකා එකා කකා යකා අශුභ යෙදුම් වස් කවියට අවශ්‍යය. “මූගේ” යන අභිධානය දෙපස ඊ ගණ දෙක ද ව්‍යසන පමුණුවන්නකි. “මූගේ’ සිංහ යෝනියයි. ඊට දෙපස ‘මේවකා’ සහ ‘කුළල්’යැයි යෙදේ. එම වචන ‘ගජ’ යෝනියි. සිංහ යෝනියට පරම සතුරු ය. මෙම වස් කවිය කියැවීමෙන් පසුව කුරුම්බා කෑ රිළවා කොටියකු ගේ ගොදුර බවට පත් විණැ’යි සැලවේ. තවද ගිරයක් සොරාගත් සොරෙකුට ව්‍යසන පැමිණැවූ මෙම කවිය ද කුංකුණාවේ හිමියන් විසින් රචිතය.
‘හත අට වරේ හොරකම් එළි වුණා තිරේ
මත්තට දුරේ වැටෙතියි කිව් අවිචි නිරේ
අත් පිට මරේ කටිමින් ගෙට වෙලා හිරේ
ගත්තට ගිරේ වැදගත් දෙවි රාම සැරේ”
ඡ්‍යොතිෂවේදී සෙත් කවි රචක
විශ්‍රාමික ආචාර්ය ශාස්ත්‍රී
පියදාස කළන්සූරිය