ඔබටත් යුගදිවිය තහනම් ද?

පෙබරවාරි 12, 2021

මෙලොව (මඟුල් සක්වල) උපන් අයට විවාහය ජීවිතය සුවිශේෂම දායාදයකි. විවාහයක් වීමට අත් පා විකෘති නොවුන සිරුරක් තිබිය යුතුයි. ඊට ප්‍රථමව හොඳ මනසක් තිබිය යුතුමයි. නීරෝගි ශරීරයක් තිබීමත් වැදගත්.

ඇස් පෙනීම, කන් ඇසීම, ඉතා හොඳින් තිබීම ගැහැනු, පිරිමි, කළු හෝ සුදු කාට වුවත් වැදගත් ය. එසේම නීරෝගිභාවය යුගදිවිය ඔපවත් කරයි. රෝගී වූ ලෙඩ වු අයවලුන්ට යුගදිවි අකැපයි කියා සඳහන් වන්නේ ඔවුන්ගේ දරුවන්ට ද උපන්දා සිටම යම් යම් රෝගී තත්වයන්ට සාපේක්ෂව මුහුණදීමට සිදුවන නිසයි. මේ නිසා ඕනෑම අයෙකුට දුප්පත්, පොහොසත්, උස් මිට භේදයකින් තොරව උතුම්ම සැපතක් වන්නේ නීරෝගිකමයි.

පෙර ආත්මභවයන්හි පව් කළ බොහෝ ඇත්තන් උපන්දා සිටම රෝගි වී අංගවිකල හෝ මන්දමානසික රෝගීන් වී ඉපිද මව්පියන්ට ද බොහෝ දුක් උරුමකර දෙමින් තමන් ද බොහෝ පීඩා විඳී. සමහරු අඩු වයසින් මරණයට පත්වේ.

එහිම අනෙක් පැත්ත පින්දහම් කරමින් දන් දී සිල් රැක්ක ඇත්තෝ සැපවත්ව නිරෝගීව ඉපිද මේ භවයේත් බොහෝ සැප විඳිමින් දීර්ඝායුෂ විඳ මිය යාමයි.

තවත් සමහරු දුප්පත් මව්පියන්ට දාව නීරෝගී බුද්ධිමත් දරුවන් ලැබී පවුලම සැපවත් කරයි. තවත් සමහර ධනවතුන්ට එකම දරුවකුව අංගවිකල හෝ මන්දමානසික දරුවන් ද බිහිවන අවස්ථා ද නැතුවාම නොවේ. විවිධාකාරයෙන් පින් පව් පලදෙන්නේ මේ ආකාරයෙනි. අංග විකලව ඉපිද යහපත් සැමියෙක් හෝ නිරෝගී අයෙක් තම සහකරු හෝ සහකාරිය ලෙස ලැබී නිරෝගී වී ලබා යුගදිවිය සාර්ථක කරගත් පුද්ගලයන් ද අද සමාජයේම අප අතර ද බොහෝ දක්නට ලැබේ. කන් නො ඇසීම, ඇසක් හෝ දෙ ඇස නොපෙනීම හෝ කෙටි අත්පා හෝ ශරීරය සමහරුන්ගේ යුග දිවියේ ගමනට බාධාවන් නොවේ. එවැනි බොහෝ උත්සාහවන්ත පිරිස් ඔබටත් අසන්නට, දකින්නට ලැබී ඇත. පව් ගෙවී පින් පලදෙන්නේ ද කාලයාගේ ඇවෑමෙන් මේ ආකාරයටයි.

අපි දැන් විමසා බලමු ඡ්‍යොතිෂ ඇසට හසුවන ඔබට යුගදිවි අහිමිකරන රෝගී තත්වයන් ඇති කරන ග්‍රහ බලපෑම් කෙසේද කියා.

හයවැන්නේ සිකුරු යෙදීම නීරෝගි පුරුෂයකු හෝ ස්ත්‍රියක උපදින ග්‍රහ පිහිටීමකි. සුළු සුළු අසනීපයන් හැරුණු කොට උපතේ සිටම පරම්පරාගත රෝග නැත.

ලග්නය තුලාව වූ විට හයවැන්න මීන වේ. බුධ හයවැන්න නීචවීමෙන් රෝගියෙක් උපදී.

සිංහ ලග්නයෙන් ඉපදී ශනි, මීනය ගතවීම එක්තරා අවාසනාවන්ත යෝගයකි. පයේ ආබාධයන් උපන්දා සිට ලැබේ. ධනය ලැබුණත් රෝගයට වැයවේ. වයසට යන විටත් උපතින් ලද කකුලේ කොරේ විකුණා යාචකයෙක් වී මුදල් ගරයි. ධනයක් හම්බ කරගැනීමට රෝගයම විකුණයි.

මේෂ ලග්නයෙන් ජනිතව බුධ, මීන රැස යෙදීමෙන් ද උපතින්ම රෝගියකු බිහිකරයි. ඇවිදින්නට බැරි, විකෘති හෝ විරූපී මුහුණ ඇති, අතපය සිහින්, උදරය හෝ හිස අධික මහත අයෙකු බිහිවී බොහෝවිට අඩු වයසින්ම (අවුරුදු 9,10) දී පමණ මියැදේ.

වෘෂභ ලග්නයෙන් ජනිතව තුලාවේ රවි යෙදීම ද උපතින්ම කොරෙකු බිහිකරන ග්‍රහ තත්ත්වයකි. සමහරවිට ඇවිදීමට බැරිවේ. ආයුෂ ඇත. නමුත් වයෝවෘද්ධ වීත් දුක්විඳ බොහෝම අමාරුකම්වලින් හිඳ මරු දකී. ඔහුට හෝ ඇයට දීර්ඝායුෂ විඳීමට මහත් දුකක් බවට පත්වේ.

මිථුන ලග්නයෙන් ජනිතව සඳු හයවැන්න ගතවීම ද රෝගියෙකු බිහිකරයි. සෙම, වාත රෝග, දනිස්, කොන්ද,යටිබඩ කැක්කුම් වේදනා නිසා ශරීරය සීතල වී උණ තත්වයන් උත්සන්න වේ. නිතර නිතරම උපන්දා සිටම මෙවැනි රෝගයන්ගෙන් පෙළේ .

ලග්නය කටකය වී රවි කුම්භ රාශිගතවීම ද රෝගියෙකු බිහිකරයි. විවාහය අහිමි කර ජීවිත කාලයම රෝගි වී තනිකඩව සිටීමට පෙලඹෙයි.

සිංහය ලග්නය වී ගුරු මකර රාශිගතවීම ද එතරම් හොඳ පිහිටීමක් නොවේ. තරුණ වයසේදී (අවුරුදු 17 දී පමණ) උමතු රෝග ඇතිවේ. එය සුව වුවත් මරණය තෙක්ම වෙදකම් කිරීමට සිදුවේ. එම නිසා විවාහයක් කරගැනීමට නොහැකි තත්වයන් උදාවේ.

කන්‍යා ලග්නය වී ශනි ,මේෂ රාශියේ යෙදීමෙන් ද රෝගී වේ. සුවනොවන හතියකි. ප්‍රතිකාර කළාට නිට්ටාවටම සුව නොවී නිතර නිතරම පීඩා විඳී. පෙර කළ කරුමයක් පලදුන්නාක් සේ විවාහයක් ගැන සිතීමට නොහැක.

තුලා ලග්නයෙන් ඉපදී ගුරු මකර රාශියේ නම් උපතින්ම රෝගියෙකි. අත් පා පණ නැතිවේ. කබ කඳුළු තවරාගනිමින් හඬයි. මවට ද බොහෝ දුක්ගැහැට විඳීමට සිදුවේ.

වෘශ්චික ලග්නයෙන් ඉපිද කුජ ග්‍රහයා යෙදී සයවැන්න සෙනසුරු යෙදීම ද ඉතා නරක ග්‍රහ පිහිටීමකි.උපතින්ම කොරයකි. මැරෙන තුරා හිඟන සමාගමක සේවය කර ප්‍රධාන මුදලාලිට රෝගී තත්වය විකුණා ධනය හම්බ කර දෙමින් ජීවත් වෙයි. විවාහයක් කර නොගෙන සිටී.

ධනු ලග්නයෙන් ඉපදී ශනි, සිකුරු ග්‍රහයන් කන්‍යා රාශි ගතවීම රෝගියකු කරවයි. සිකුරු කටක, සිංහ ආදි රාශිවල පිහිටීම ජන්මියාව මානසික රෝගියෙකු කරවයි. සුව නොවේ. අවසානයේ හුදකලාව සිට දුක්බර මරණයකට උරුමකම් කියයි.

මකර ලග්නය වී බුධ හයවැන්න ගතවීමෙන් ස්නායු ගත රෝගය සෑදේ. සුව නොවේ. විවාහය අහිමි වේ. කුම්භ ලග්නයෙන් ජනිතව සඳු ග්‍රහයා තුලා රාශි ගතවීම නිසා උපන්දා සිට රෝගියෙකුව සිට අල්ප ආයුෂත් විඳ මිය යන ග්‍රහ තත්ත්වයකි.

මීන ලග්නයෙන් ජනිතව රවි තුලා රාශිගතවීමෙන් නිතර නිතර රෝගි වේ. විවාහයක් කරගැනීමට හිත නොදේ.

මේ ආකාරයට ඉහත සඳහන් සමහරක් රෝගීන් බිහිකරන යෝග ඔබ ජීවිත කාලය පුරාම සහකරුවකු හෝ සහකාරියක නොලැබෙන තත්ත්වයකට පත් කරනු ඇත. තරමක් අවබෝධයක් ඔබටත් යුගදිවිය තහනම්ද, නැද්ද යන්න පිළිබඳව මෙයින් දැනගත හැකිය. තවත් ග්‍රහ යෝග බොහෝමයක් රෝගයන් සම්බන්ධ ඡ්‍යොතිෂ විද්‍යාවේ සඳහන් වේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.