වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
දානය සහ අදින්නා දානය
සමහර අයට ධනය ඇත. බලය නැත. සමහරුන්ට බලය ඇත. ධනය නැත. තවත් සමහරුන්ට ධනය බලය සමඟ දැසි දසුන් ගව මහීෂාදීන් ද ලැබේ. මේ සියල්ල ඒ ඒ පුද්ගලයාගේ කේන්දරයෙන් දැක ගැනීමට පවා හැකි තරම් ඒ තත්ත්වය්න් ප්‍රකටව දිස් වෙයි.
මෙසේ වන්නේ ඇයිද යන්න කිසිවකු හෝ කර්ම ශක්තිය පදනම් කරගනිමින් විමසුවහොත් ඔවුන් සිදුකරගෙන ඇති දානානිසංස පිළිබඳ බලා සිටියා මෙන් කිව හැකි වනු ඇත.
දානානිසංස වැඩීමට සුදුසුම කාලයක් ලෙස කඨින සමයද සැලකිය හැකිය. එහෙත් දානමය චිත්තයක් වඩවා ගැනීමට විශේෂ හේතුවක් හෝ නිමිත්තක් අවශ්‍ය නැත. එසේම දන් දීම යනු මහා පරිමාණයෙන් කළ යුතු දෙයක් යැයි නියමයක් ද නැත. අවශ්‍ය වන්නේ ඒ සඳහා හදවත පත්ලෙන්ම නැඟෙන වුවමනාව පමණි.
ඇතැම් විට තමන්ගේ ආහාරයෙන් ඉතිරි වන ඉඳුල් පවා මහා දානමය කුසලයක් තමන්ට ලබා දෙන කාරණයක් බවට පරිවර්තනය කරගත හැක්කේ එය ඔහේ විසි නොකරන පිළිවෙතක් ගොඩනඟා ගන්නකුටය. ඉඳුල් කියා විසි කරන ඉතිරියෙන් යැපෙන්නට හැකි කුරා කුහුඹුවන්ට, පණුවන්ට ඇතුළු ඇසට පෙනෙන නොපෙනෙන සියලු ප්‍රාණීන්ට එය ආහාරයක් ම වේවා යන සිතිවිල්ල පමණි එයට අවශ්‍ය වන්නේ. එසේම ඉඳුල් පිඟන්, හට්ටි, මුට්ටි හෝදා ඉවත් දමන ඉඳුල් වතුර පවා ආනිසංස ගෙන දෙන මහා දානයක් බවට මෙසේ පෙරළාගත හැකි වනු ඇත.
දානානිසංස පිළිබඳ ත්‍රිපිටකයේ ඉතා පැහැදිලිව දක්වා ඇත. එයින් මෙලොවදීම තමන් හට දැකගත හැකි දානානිසංස හතරකි. එනම් දානය දෙන්නා බොහෝ දෙනාට ප්‍රිය මනාප කෙනකු බවට පත්වීම, ඒ පුද්ගලයා පිළිබඳ කීර්තිය පැතිර යෑම, ඕනෑම පිරිසක් මැද කැපී පෙනෙන අයකු බවට පත්වීම සහ යහපත් කලණ මිතුරන්ගේ ඇසුරට පත්වීමයි.
දානානිසංස සූත්‍රයට අනුව, දානයට සිතැති පුද්ගලයා ගිහි ධර්මයෙන් පිරිපුන් අයකු වනවා පමණක් නොව මරණින් මතු සුගතිගාමි වීමට වරම් ලබන්නකුද වනු ඇත.
ශ්‍රද්ධාවෙන් දෙන දානය රූප සම්පත්තිය වැඩීමට හේතු වන අතර තමන් විසින්ම සකස් කොට දන්දීමෙන් කීකරු අඹු දරුවන්, දැසිදස්සන් මෙන්ම යහපත් ස්වාමි පුත්‍රයන් ලැබෙන බව පැවසේ.
ආගන්තුක දානයෙන් මෙන්ම දුර්භික්ෂ ආදී ඉතාම අවශ්‍ය අවස්ථාවලදී දෙන දානවල පින් මහිමයෙන් තරුණ වයසේදී ම සැප සම්පත්වලින් ආඪ්‍ය වනු ඇත. කිසිදු ලෝභයකින් තොරව දෙන දානයෙන් තමන්ට ලැබෙන ගේ දොර ඉඩකඩම් යාන වාහනාදිය නිසි ලෙස පරිහරණයට අවස්ථාව සහ සිත් දීම සිදු වේ. කෙතරම් දේ තිබුණත් එය පරිභෝජනය කිරීමට සිතක් නැති වන්නේ ලෝභී සිතින් දන් දීමෙන් බව මෙයින් පැහැදිලි වේ. අන් අයට පීඩාවට පත් නොකර දෙන දානය වැදගත් වන්නේ තමන් සතු දේපළ වස්තුව ගින්නෙන්, ජලයෙන්, සොර සතුරන්ගෙන් මෙන්ම නාස්තිකාර දූපුතුන් අතින් විනාශ නොවීම සඳහාය.
එසේම මේ ලිපියට මුල් වූ ධනය සහ පිරිවර බලය ලැබෙන ආකාරයේ දානයන් ලෙස සැලකෙන්නේ තමන් වෙහෙස මහන්සියෙන් උපයාගත් ධනයෙන් දෙන දානයට තවත් පිරිසකගේ සහයෝගය ලබා ගන්නේද? ඒ කෙසේද? යන්න පිළිබඳ අප සතු ආකල්පයයි. තමන් උපයාගත් ධනයෙන් දන් දෙනමුත් එයට අන්‍ය පින් කැමැත්තන් සහභාගී නොකරගන්නාට මතු සංසාරයේ දී පවා භව භෝග සම්පත් ලැබුණ ද පිරිවර සම්පත් පිහිටන්නේ නැත. තමන්ගේ ධනය වියදම් නොකර රැකගෙන අන් අයගේ ධනය රැස්කර දන් දෙන්නන්ට ලැබෙන්නේ මෙහි අනෙක් පලයයි. එනම් ඔවුන්ට පිරිවර සම්පත් හිමි වුවද ධන සම්පත් නොලැබෙනු ඇත. තමන් දන් දීම කෙසේ වෙතත් අනුන් දෙන දානයකට හෝ සහභාගී නොවන්නාට මේ කිසිවක් ලැබීමේ කුසලයක් එකතු වන්නේ නැත. තමන්ගේ ධනය සම්පත් ආදිය මෙන්ම පින් කැමැති අන් අයද සහභාගී කරවාගෙන දන් දෙන්නන්ට නියම දානානිසංස හෙවත් ධනය, බලය, පිරිවර ආදී සියලු සම්පත් ලැබීමට හේතු වේ.
එසේම වර්තමානයේ ඇතැම් පිරිස් දන් දෙන මුවාවෙන් පැමිණ අනුන් සහභාගී කරවා තමන්ද ධනය යොදමින් කරන පූර්ණ දානමය කුසලයක් ලෙස පෙන්වා අදින්නා දානය කරන අයුරු දැකිය හැකිය. සුළු පරිමාණයෙන් මෙන්ම මහා පරිමාණයෙන් එවැනි දේට යොමුවන්නන් පිළිබඳව දැන ගැනීමට ග්‍රහ පිහිටීම් ද යොදාගත හැකි බව සැබෑය. එහෙත් ඊටත් වඩා එය ක්‍රියාවෙන්ම හෙළි වන්නේ දිට්ඨධම්ම වේදනීය කර්ම ලෙසටය. එවන් අදින්නාදානයේ ආනිසංස ගැනද අමුතුවෙන් කිවයුතු වන්නේ ද නැත.