2021 වසරට පෙර ආපසු හැරී බළමු

දෙසැම්බර් 25, 2020

2021 වසර තව නොබෝ දිනකින් එළඹෙනු ඇත. පසුගිය වසරේ අතපසුවූ දේ අමතකවූදේ යළි ක්‍රියාවට නංවවාලීමට එය හොඳම අවස්ථාව කොට ගනිමු. එපමණක් ද නොව පසුගිය වසරේ අප අතින් සිදු වූ වැරදි කටයුතු නිවැරදි කරගෙන ඉදිරියට යාමටද මෙය මහඟු අවස්ථාවකි ඒ නිසා නව ප්‍රබෝධයකින් නව නැම්මකින් හා අධිෂ්ඨානයකින් යුතුව ඒ ගමන ජීවයක් කොට ගැනීමට එළඹෙන නව වසර තරම් වෙන අවස්ථාවක් අපට නැති තරම් ය.

ඒ කෙසේ වුවද පසුගිය වසර අප බොහෝ අමිහිරි අත්දැකීම් රැසකට මුහුණ දුන්නෙමු. නායයාමේ ජල ගැලීම්, සුළි සුළං ආදියට ද හේතු වූ අතර ඒ පරිසර විපර්යාස මෙන්ම රෝගාබාධ හදිසි අනතුරු ඒ අතර වඩාත් අසන්නට දකින්නට හැකි විය.

විශේෂයෙන් කොරෝනා වසංගතය ඒ අතර වැඩි වශයෙන් බලවත් වූවේ එය අපට පමණක් නොව මුළු ලෝකයටම බලපෑ උවදුරක් වූ නිසා ය. ඒ ව්‍යසනයද අපගේ යම් යම් නොසලකා හැරීම් අත්වැරදීම් හා විවිධ විෂමතා නිසාද වැඩි දියුණු වීමට හේතු විය. රජය හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රය කොතරම් වෙහෙස වී කැප වී කටයුතු කළත් මිනිසුන් හැටියට අප ඒ වගකීම් හරි හැටි ඉටු නොකරනවා නම් මෙය වළකාලීමට ඇති ඉඩකඩ පටුවන බව දනිමු. ඒ කෙසේ වුවද සෞඛ්‍ය ආරක්ෂිත ලෙස සැලකිල්ලෙන් වගකීමෙන් කටයුතු කිරීමෙන් මේ ව්‍යසනය අපට වළකාගත හැකි බව නොරහසකි. විටෙක අපි එක රටක ජීවත් වන අය වුවත් එකම ශ්‍රී ලාංකිකයින් වුවත් පක්ෂ පාට බේද ඇති කරවාගෙන පිල්බෙදී කටයුතු කිරීම නිසා ලෙහෙසියෙන්ම මෙම උවදුරින් බේරීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේ ය. තවත් විටෙක මෙම ව්‍යසනය වළකා ගැනීමේ දී උරදුන් අයට වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබේ යයි සිතා එය වළකාලීමට බොහෝ පිරිස් විවිධ බාධා කිරීම් බොරු චෝදනා රට පුරා ව්‍යාප්ත කර වූහ. මේ කඹ ඇදිල්ල නිසා අපට තිබූ ශක්තිය පිරිහී යාමෙන් බියකරු වයිරසය හිස ඔසවන්නට වූවා යයි කීම නිවැරදිය. ඒ නොමනාකම් ඉදිරියටත් ක්‍රියාත්මක වුවහොත් අපිට අපේ දරු පරපුරට යන කලක් නැති තරම් ය.

කෙසේ හෝ සිංහල දෙමළ, මුස්ලිම්, බර්ගර් වේවා බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, හෝ මුස්ලිම් වේවා එකම ලේ ඇට මස් නහර සමුදායකින් හෙබි මේ මිනිස් කොට්ඨාසයට වැළදෙන්නේ එකම රෝග නිසාත් අප කන බොන අඳින, පළඳින විදියේ යම් යම් සුළු සුළු වෙනස්කම් වෙතත් ඒවා ජීර්ණ වන එය එකම විදියට බලපාන නිසා අප ජාති ආගම් බේද නොතකා එකාමෙන් එකට අත්වැල් බැඳගෙන ඉදිරි වසරට පියවර තැබිය යුතු බව අවිවාදයෙන් ම ප්‍රකාශ කළ යුත්තකි.

ලෝකයේ ප්‍රබල රටවල් ඉදිරියේ වුවද නොසැලෙන දක්ෂතා ඇති පිරිසක් ලෙස ශ්‍රී ලාංකික වන අප ඔබ විවිධ අවස්ථාවල එකට සිටගෙන ලොවට හඬ ගා කී ශක්තියේ ප්‍රබල බව නිසා අද වන විට ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රබල රටක් වී තිබියදී යළි අප ආපස්සට යා යුතු නොවේ. 2021 වසරේ නව සිතුවිලි පෙරදැරි කරගෙන නව ප්‍රබෝධයෙන් යුතුව එදිරිවාදිකම් පසෙකලා යහපත් මිනිසුන් ලෙස ඉදිරියට යමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.