තිතට මත අවසන් කර මතට තිත තබමු

සැප්තැම්බර් 18, 2020

මත් උවදුර අද රටම වේලාගෙන තිබූ බවක් පෙනෙන්නට තිබේ. අත තබන තබන තැන පය තබන තබන තැන මත් පෙති, මත්කුඩු, මත් වතුර සේම භයානක අවි ආයුධ. අපරාධ කල්ලි හා වෙනත් නොමනා සම්බන්ධතා රටේ සිටි සමහර පාලකයින්ට වඩා බලවත් වී තිබූ බවක් පෙනෙන්නට තිබේ. මෙතෙක් රට පාලනය කළේ දේශපාලකයින් නොව අපරාධ කල්ලි බව හැඟෙන තරමටම තත්ත්වය භයානක විය. 

ඇතැම් දේශපාලකයන් යැපුණේ කළුසල්ලි ඉපයූවන් මත නිසා එබඳු අය රට ජාතිය, රජය නතුකර ගැනීම අරුමයක් නොවනු ඇත. කෙසේ නමුදු අද අපට ඒ කිසිවකුට යටත් නොවන රටේ පිනට පහළ වූ ජන නායකයකු බිහි වී ඇති නිසා ඒ අඳුරු යුගය අවසන් කොට පිරිසුදු රටක් පිරිසුදු සමාජ රටාවක් ගොඩ නඟා ගැනීමට අවස්ථාව උදා වී තිබීම සතුටුදායකය. එහෙත් ඒ වාසනාවෙන් ප්‍රයෝජන ගන්නේ කීයෙන් කී දෙනාද, එසේ නොවී පක්ෂ පාට නොබලා රටට හිතැති කොයි කවුරුත් මේ සමාජ මෙහෙවරට අත් උදව් දිය යුතුව ඇත. අනාගතයේ රට බාර ගැනීමට සිටින මොනයම් හෝ අයකුට වුවද රට ඉතිරි වන්නේ එවිටය. නැතොත් අප රටේ මිනිසුන් ඇවිදින මළමිනී ලෙඩුන්, අබ්බගාතුන් සේ දිවි ගෙවන තත්ත්වයකට පත් වීමේ තත්ත්වය වළකා ලනු නොහේ. එදා අතීතයේ සිට ඉතා ගුණගරුක මිනිසුන් ශරීර ශක්තිය, යහපත් සෞඛ්‍ය ත්ත්වයෙන් සිටි අය අපේ  දෙයට ඇලුම් කර පිට රටින් එන නොගැළපෙන සංස්කෘතින් වැළඳගත් අය නොවේ. 

ඒ නිසාම පිට රැටියන්ට මේ රටේ අල්ලා ගැනීමට, යටත්කර ගැනීමට නොහැකි වූ විට. රටේ ජීවනාලිය එසේත් නැතිනම් කොඳු නාරටිය බඳු වූ සභ්‍යත්වයෙන් යුතුවූ, එකමුතුකම, දැනුම් තේරුම්කම ශරීර සෞඛ්‍ය  යහපත් පැවැත්ම අඩාල කිරීමට විනාශ කිරීමට උත්සාහගත්හ. අනෙකක් තබා ඒ සංවරශීලී සංස්කෘතියේ ප්‍රබල අඩිතාලම වූ බුදු දහම විනාශ කිරීමට ඔවුන් උත්සාහ ගත්හ. ඒ නිසාම පරදේශීන් අපේ අහිංසක ජනතාවට නොමිලයේ මත්පැන් හුරු පුරුදු  කළහ. අනතුරුව ඒ අයට ඒ දේ නැතිවම බැරි තැන දී ඉහළ මිල ගණන්වලට ගුදම් පිටින් මත් පැන් හුරු කළහ. කෙසේ හෝ එයට ගැති වූ ඇබ්බැහි වූ අපේ පිරිස ඒවා භාවිතා කරමින් ශරීර ශක්තියෙන් මානසික ශක්තියෙන් දුර්වලයෝ වූහ. බුදු දහමේ වටිනා පොත පත විනාශ කළ නිසා ආගම දහම පිළිබඳවද නොසලකා හරින බණ දහම් ප්‍රතික්ෂේප කරන පිරිසක් බිහි කළහ. 

එවිට අපේකම, එකමුතුකම, සාරධර්ම,  සිරිත්, විරිත්, පසෙක තබා නොමනාදේට නතුවෙමින් හෙළයා දුර්වලයකු වීමට තරම් තත්ත්වය ප්‍රබල විය. අද එසේ කිසිවකුගේ බලපෑමක් නැතත් තමා විසින්ම සාරධර්ම, සිරිත්, විරිත් විනාශ කර ගනිමින් මතට ලොල් වූ පිරිස මහා විනාශයකට නතුවී තිබීම කණගාටුවට කරුණකි. ඒ කිසි විටක විරෝධය නොපා ඇස් කන් වසා සිටි නායකයින් නිසා අදවනතෙක් රටට උදාවී තිබූ අඳුරු යුගය අවසන් කිරීමට අප වගබලා ගත යුතුව ඇත. පාසල් යන අපේ දුවා දරුවා රැක ගැනීමට නුපුළුවන් වී තිබේ. වෙන එකක් තබා සිවුරු, පිරිකර, පිරිත, බණපොත, උකසට තබමින් පවා මත් ව්‍යාපාරය කරගෙන යන චීවරධාරියකු පිළිබඳවද පසුගියදා ජනමාධ්‍ය තුළින් දැක ගන්නට හැකි විය.

 එය කොතරම් දුරට ශෝකාකූල ද කිවහොත් එබඳු දූෂිත ව්‍යාපාර වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට පහර දීමට පවා කාන්තා පිරිමි සැම සවිමත් වී තිබීම, පැවැති යුගයට සාප කිරීමට තරම් සිතෙන කරුණකි. එහෙත් තිතට මත තිබූ යුගය අවසන් කර මතට තිත තැබීමට කැපවෙන  සැමට අප ශක්තියක් වෙමු ඔවුන් තනි කොකරමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.