වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
පරගැත්තන්ගෙන් බේරුණු අපේකම
ඡ්‍යොතිෂය යනු බැබළීම යන අරුත දේ. ඉරහඳ තාරකාවල බැබළීම පරිසරයට සතා සිව්පාවාට ලැබෙන ආකාරය අනුව යහපත අයහපත තීරණය වෙයි. විශ්වයේ පවතින ග්‍රහරටා නැතිනම් අහස් සිතියම මේ පෘථිවියේ ජීවත් වන්නන්ට බලපාන අයුරු ග්‍රහ කොටුවක සටහන් කරමින් හොඳ නොහොඳ යහපත අයහපත පිළිබඳ විග්‍රහ කෙරෙන ඡ්‍යොතිෂමය බොරු යයි කිවහැකි නොවේ. අන්තවාදය පුහු මතවාදය, එසේත් නැතිනම් නොහොඹිනා ආත්ම අභිමානය හුදු අහංකාරය සිතට ගත්තවුන් එය බොරු යයි තර්ක කරන අවස්ථා අප බොහෝ විට දැක ඇත.
ඔවුනට ආත්මයක් නැති පෞද්ගලිකත්වයක් පොදු බවක් නැත පැවැත්මක් නැත. කොටින්ම කියනවා නම් ජාතකයක්ද නැතැයි සැක සිතෙන තරම් ය. මෙතරම් ඇසට පෙනෙන හිරු, සඳු මුල්කරගත් ඒවායේ රශ්මි දාරාවෙන් පළ ප්‍රයෝජන ගන්නා අය එසේ ඡ්‍යොතිෂයක් නැතැයි කීම මොන තරම් අසාධාරණය. ඒ අය මෙලොවට බිහි වූවේ මවුකුසයෙන්ද පියාගේ දාවයෙන් ද යන්න සැක සහිතයි. විටෙක ඡ්‍යොතිෂයට තවත් විටෙක දෙවි දේවතාවුන්ට ගරහන අපහාස කරන එබඳු අය නැතැයි කියන නරුමයින්ද අද අප අතර නැතුවා නොවේ.
ඒ අය කරන්නේ තමා නැණවතා යයි ලොවට පෙන්වා දෙමින් ආනාදිමත් කාලයෙක සිට අපට උරුම වූ සියලු දේ විනාශ කිරීමටය. ඒ තුළින් සිදුවන්නේ ඒ අයම විනාශ වීම විනා ඒ අයගේ පැවැත්ම සිදුවීම නොවේ. පිටරට ඩොලරයට, වෙනත් රටක බලපෑමට අපේ ශක්තිය වූ බුදු දහම දේව ඇදහිලි, ඡ්‍යොතිෂය, හෙළ වෙදකම එහෙමත් නැත්නම් අපේ දේශීය උරුමයන් නැතැයි කියමින් බටහිර රටවලට ආවඩන්නට ය. එබඳු අයට වන්නේ මේ විශ්වයේ වටිනාකම ඔවුනට පිළිලයක්ම වී මෙලොවින් ඒ අය තුරන් වීමයි. එබඳු අයට මේ රට කැප නොවේ.
සමහර අවස්ථාවල දෙවියෝ නැතැයි කියමින් අපේ ඇදහිලිවලට ගැරහූ පැවිදි උතුමන්ලා පවා නොසිටියා නොවේ. ඒ අය කළ ප්‍රකාශනය දේශනාවලද හරය වූවේ, දෙවි දේවතාවුන් නැත. පුහුදුන් මිනිසුන් ගස්ගල් අදහනවාය යන්නයි. එහෙත් වැඩිකල් නොගොස් ඒ අයට නිකරුණේ මේ මහ පොළොවේ උරුමය අහිමි වූවේ සොබා දහමට අනුවමය. තවත් සමහරු දෙවියන් බොරු යයි පවසමින් කළ අවිචාරවත් දේශනා තුළින් පන්සල්වල දේවාල අයින් කරන තත්ත්වයට පත්විය.
එය එසේ දිගින් දිගටම පැවතුණානම් පන්සල්වල පමණක් නොව කතරගම දේවාලය පවා කඩා ඉවත් කිරීමට පවා ළංව තිබියදී මේ මහපොළොවේ තබා පිටරටකටවත් ගොස් දිවි ගෙවීමට නොහැකිවු, හිමිවරු පිළිබඳ අපට දැක බලා ගැනීමට හැකි විය. බොහෝ විට අදද එබඳු වෙස්වලාගත් අදම පිරිස් ඒකරාශී වී තිබීම කණගාටුවට කරුණකි.
දේව විශ්වාසයෙන් හෝ කිසියම් නොපෙනෙන බලවේගයක හේතුවෙන් කෙනෙකු ලැජ්ජා භය ඇතිව ජීවත් වනවා නම් ඔහු හෝ ඇය කිසියම් ශික්ෂණයකට පාලනයකට නතුව යහපත් මිනිසකු වන බව අප දන්නා කරුණකි. වෙනත් බටහිර රටවල් ගණනාවක් ඒ අතරින් තවමත් අපේ රටේ මිනිසුන්ගේ යහගුණ ඇවතුම් පැවතුම් යම් තරමකින් සුරැකී තිබෙන්නේ අන්න ඒ නිසා ය. එසේ නම් ඇදහිලි විශ්වාස ඇති තැනැත්තාට හරහා ඒ අය දුර්වලයින් කිරීමෙන් අන් අයට ඇති පලය කුමක්ද? වසර කීපයක් පුරා පැවති රජය එහි බලධාරීන් පවා ඡ්‍යොතිෂයට දේව ඇදහිල්ලට ගරහන්නට විය.
රජයේ ජනමාධ්‍යවල පවා ඊට සුදුසු ඉඩ අහුරාලන්නට වූහ. එහෙත් ඒ අයට වූවේ කුමක්ද පිට රටට ගැති වූ පරගැති වූ ලෙසට සිය බලය අහිමි කරගන්නට සිදු විය. එහෙත් නව රාජ්‍ය බලධාරීන් අපේකමට ඡ්‍යොතිෂයට වෙදකමට ආගමට දහමට මුල්තැන දෙන ආකාරය ප්‍රසංසනීයය.
රටේ ජනපති, අගමැති දිව්රුම් දෙන නැකත එනතුරු කොතෙක් වේලා බලාසිට ඒ සඳහා හිස පෑමට අවනත වූ අයුරු අපට පෙර දිනවල දකින්නට ලැබුණි. එහෙත් පරගැති මත දරන්නවුන් එය හෙළා දකිමින් කටයුතු කළහ. එදා සහ අද වෙනස එයයි. මේ වෙනසට හිස නැමු අයට අපේ ආචාරය.