දියවැඩියාව පාලනය තුළින් සුවපත් ජීවිතයක්

ජුනි 12, 2020

වසර 2050 වනවිට ශ්‍රී ලංකාවේ ජනගහනයන් හරි අඩක්ම දියවැඩියා රෝගීන් වනු ඇතැයි ඇස්තමේන්තුගත කොට ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

වාර්ෂිකව දියවැඩියාවට ගොදුරු වූ පුද්ගලයන් 500 - 600 ක පමණ පිරිසකගේ පාද ඉවත් කරයි. පාසල් දරුවන්ගෙන් 10% ක පමණ දියවැඩියාවට ගොදුරු වී ඇති අතර තවත් 15 ක් පමණ දියවැඩියාවට ගොදුරුවීමේ අවදානමක පවතී. ගොදුරුවන පුද්ගලයන්ගෙන් 80% ක්ම ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල බහුලය. ලොව පුරා ජනතාවගෙන් මිලියන 200 ක් පමණ දියවැඩියාවෙන් පීඩාවිඳින අතර, 2030 වර්ෂය වන විට මෙම තත්ත්වය මිලියන 366 දක්වා ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තුගත කර තිබේ. එමෙන්ම වසරකට පුද්ගලයෝ මිලියන 07 ක් පමණ අලුතින් දියවැඩියා රෝගී ලැස්තුවට එක්වෙති.

ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මෙම රෝගය ලෝකය තුළ තත්පර 10 ක් තුළ තිදෙනෙකුට (03) වැළඳෙන අතර, තත්පර 07 කට වරක් එක් අයෙක් දියවැඩියා හා ඒ ආශි‍්‍රත රෝග හේතුවෙන් මරණයට පත් වේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ නාගරික ජනගහනයෙන් 40% ක් ද ග්‍රාමීය ජනගහනයෙන් 19% ක පමණ පිරිසක් ද දියවැඩියා රෝගයට ගොදුරු වී සිටිති.

ප්‍රධාන හේතුව අධික සීනි භාවිතය

වර්තමාන සමාජයතුළ ළමා සහ තරුණ පිරිස සීනි සහ පැණි රස ආශි‍්‍රත ආහාරපානවලට නිරන්තරයෙන් ගිජු බවක් දක්වයි. එමෙන්ම ඒ සඳහා ඇබ්බැහි වී ඇති ආකාරයක්ද දක්නට ලැබේ. මෙම තත්ත්වය ඔවුන්ගේ සෞඛෟයට අහිතකර බව පැහැදිලි කිරීමට නිරන්තරයෙන් උත්සහ කළ යුතුයි. සීනී රකුසාට බිලි නොවී ඔවුන් අතර නිවැරදි ආහාර රටා ක්‍රියාකාරකම් හා මානසික සුවතාව වර්ධනය කිරීමට උනන්දු කරවීමද අපගේ වගකීමකි. නිවැරදි ආහාර රටාවකට එහි ප්‍රමාණය, ගන්නා වේලාව සහ එහි ගණාත්මක බව බලපායි. ගුණාත්මක ආහාර නිවැරදි වේලාවන්වලදී නිවැරදි ප්‍රමාණවලින් ගැනීම ඉතාම වැදගත් වේ. කාබෝහයිඩ්‍රේට් ඉක්මනින් අවශෝෂණය වීමෙන් රුධිරගත සීනි මට්ටම වැඩි කරයි. මෙවැනි කාබෝහයිඩ්‍රේට් ආහාර බොහෝ දෙනා අතර දැන් ජනපි‍්‍රය අතර, එය ශරීර ස්ථුලතාවයටද හේතු වේ.

දියවැඩියාවෙන් මිදෙන්න නම් ව්‍යායාමත් ඉතාම වැදගත්

දියවැඩියා රෝගීන් සඳහා නිසි ව්‍යායාම වැඩසටහනක් අත්‍යවශ්‍ය වන අතර, දෛනිකව ව්‍යායාම ලබාගැනීම දියවැඩියාව හොඳින් පාලනය කර ගැනීම සම්බන්ධයෙන් මහඟු මෙහෙයක් ඉටු කරයි. ව්‍යායාම දියවැඩියා රෝගීන්ට උදා කර දෙන යහපත් දේ අතරින් කිහිපියක් මෙසේ ය.

ව්‍යායාමවලින් ඉන්සියුලින් නිපදවීම උත්තේජනය කරන අතර නිපදවෙන ඉන්සියුලින් වඩාත් හොඳින් ක්‍රියාත්මක වීමද සිදුවේ.

බර වැඩි දියවැඩියා රෝගීන්ට බර නියමිත ප්‍රමාණයට අඩු කර ගැනීමට ව්‍යායාම උපකාරී වෙයි.

රුධිර නාල ක්‍රියාකාරීත්වය උද්දීපනය කර ඒවා අවහිර වීම වළකාලයි. ඒ තුළින් සංකූලතා ඇති වීම වළකාලයි.

ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් සහ අහිතකර මේද මට්ටම අඩු කිරීමට උපකාරී වෙයි.

උද්යෝගීමත් බව වැඩි කරන අතර මානසික ආතතිය සමනය කරයි.

හොඳම ව්‍යායාමය

කඩිසරව (හයියෙන් ඇවදීම) සහ හෙමින් දිවීම.

විකල්ප ව්‍යායාම

බයිසිකල් පැදීම, පිහිනීම, පඩිපෙළවල් නැගීම, ගෙවතු වගාව, කඳු නැගීම.

ව්‍යායාම කළයුතු කාලය

අවම වශයෙන් දිනකට පැය භාගයක් අඛණ්ඩ සහ ක්‍රමානුකූලව ව්‍යායාම වශයෙන් දින 05 ක් වත් කළ යුතු ය. වයස්ගත දියවැඩියා රෝගීන්ට සහ හෘදයාබාධ ඉතිහාසයක් ආදි වෙනත් ගැටලු ඇති දියවැඩියා රෝගීන්ට මෙම ව්‍යායාම ප්‍රමාණය එක් වරම කරන්නට නොහැකි වීමට පුළුවන. නමුත් නිසි වෛද්‍ය උපදෙස්වලට අනුව ව්‍යායාම ක්‍රම ක්‍රමයෙන් ශරීරයට හුරු කළහොත් ඒ ඕනෑම කෙනෙකුටත් සති කීපයක් ඇතුළත නිශ්චිත ඉලක්කයට ළඟා විය හැකි ය. එදිනෙදා ගමන් බිමන්ද එදිනෙදා ගෙදර දොරේ කරන වැඩ කටයුතු ද අඛණ්ඩව සහ ක්‍රමානුකූලව අවබෝධයෙන් කළහොත් ඒවාද ප්‍රයෝජනවත් ලෙස ව්‍යායාම බවට පත් කරගත හැකි ය. එම වැඩ කටයුතු හෙමින් පටන් ගත යුතු ය. ක්‍රම ක්‍රමයෙන් වේගය වැඩි කළ විට එය ශරීරයට දරාගත හැකි ය. එම කුමන හෝ කාර්යයක් විනාඩි 30 ක් වන ලෙස අඛණ්ඩව සහ ක්‍රමානුකූලව පවත්වාගතහොත් ඉන් ලැබෙන ප්‍රතිඵලය ඉතාමත් යහපත් ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.