ධර්මකර්මාධිපති යෝග‍යෙන් ලග්න හතකට සුබ පල

ජූලි 19, 2024

 

යම් කේන්‍ද්‍රයක නවය හා දහය අධිපතීන් සංයෝග වීමෙන් හෝ පරිවර්‍තනය විමෙන් ඇතිකරන ධර්ම කර්මාධිපති යෝගය ඡ්‍යොතිර්වේදයෙහි එන ග්‍රහ යෝගවල මුදුන් මල්කඩ වන් රාජයෝගයකි.

ග්‍රහලෝක පද්ධතියේ ග්‍රහයන් ගමනේදී ඇතිකරන ග්‍රහ සංයෝගවලදී ඡ්‍යොතිෂය අනුව එම ග්‍රහයෝග අතර ධර්‍ම කර්මාධිපති යෝගයට ලැබෙන්නේ සුවිශේෂ වූ තැනකි.

මේ දින කීපය තුළ ධර්‍ම කර්මාධිපති යෝගය ලග්න කීපයක් මුල් කරගෙන උදාවන අතර එය වෘශ්චික ලග්නයට බෙහෙවින් යහපත්වද තුලා හා ධනු ලග්නවලට ද කටක, මීන, කන්‍යා, මකර ලග්නවලටද යහපත ඇති කරයි. පහත සඳහන් කාල සීමාවන්හිදී ඉහත ලග්නවලින් ජන්ම ලාභය ලබන්නන්ට මේ යෝගය පිහිටන අතර ඔවුන් අනාගතයේදී සුදුසු රැකියාවල යෙදෙමින් යහපත් මාර්ගවලින් දැහැමින් ධනය උපයන්නන් බවට පත් වනු ඇත.

මේ යෝගයෙන් උපන්නාට රජකු හා සමාන තත්ත්වයක් උදා කර දේ. ධර්මිෂ්ඨය. අන්‍යයන්ට අවවාද අනුශාසනා ලබා දෙන අතර සිතට එකඟව කටයුතු කරන්නෙකි. පිරිසකට හෝ පළාතකට නායකයෙකු වීමේ වාසනාව සහිතය. උපදින විට තිබූ තත්ත්වයට වඩා උසස් ස්ථානයකට පැමිණේ. ප්‍රසිද්ධයට පත්වේ. දෙවි බඹුන් අදහන්නෙකි. රජුන්ගේ හා ඒ හා සමානයන්ගේ ගරු බුහුමන් ලබන අතර ඒ අය සමඟ උරෙනුර ගැටීමටද වාසනාව ඇත්තෙකි. ධර්මය අවබෝධ සහිතය. සියලුම සැප සම්පත් ලැබේ. සෞභාග්‍යය, යස ඉසුරු හා ගෞරවය මෙන්ම කීර්තියද ලබයි.

කුමන බලගතු යෝගයක වුවද නියම ඵල ලැබීමට නම් අදාළ ග්‍රහයන් බලයෙන් යුතුව එම ග්‍රහයන්ට ශුභස්ථානවල පිහිටිය යුතුය. එමෙන්ම අන් සතුරු මිතුරු ග්‍රහයන්ගේ දෘෂ්ටියද වැදගත්වන අතර ජන්මියකුට එම ග්‍රයන්ගේ දශා අනුදශා හා පූර්‍ව පුණ්‍ය ශක්තියද වැදගත් වේ.

2024 ජූලි මස 16 වැනි දින 11.18 පැයට සඳු හිමි කටක රවිය උදාවන අතර එය අගෝස්තු මස 16 වැනි දින රාත්‍රී 07.44ට අවසන් වෙයි. මේ කාලය තුළ ලබන ධර්‍මකර්මාධිපති යෝගයන් 05 කදී ලග්න හතකට මේ යෝගය උදාකර දෙන අතර, කටක රවියේ සඳුගේ බලය සහිතව සඳු හා රවි සංයෝගයෙන් වෘශ්චික ලග්නයට නවවැන්නේ උදාකර දෙන මේ යෝගය අගෝස්තු 03 වැනි දින පෙ.ව. 05.43 සිට 05 වැනි දින ප.ව. 3.25 දක්වා පවතී.

අගෝස්තු 04 වැනි දින ප.ව. 4.48 සිට සඳුගේ පුර පක්‍ෂය උදා වීමෙන් වඩා බලවත් වේ. මේ යෝග කාලය සඳු ස්වක්‍ෂේත්‍ර වීමත් රවි මිතුරු වීමත් නිසා යෝග බලය ඉතා යහපත් වේ.

රවි හා බුධ සංයෝගයෙන් උදාවන ධර්‍ම කර්මාධිපති යෝගය ජූලි 16 වැනි දින ප.ව.07.44 සිට 19 වැනි දින ප.ව. 08.46 දක්වා වන අතර, මෙය ධනු ලග්නයට අටවැන්නේ යෙදේ. මෙහිදී රවි මිතුරු වුවත් බුධ සතුරු වීම නිසා එහි බලය තරමක් හීන කරයි.

බුධ හා සිකුරු සංයෝගයෙන් උදාවන ධර්‍මකර්මාධිපති යෝගය ජූලි 17වැනි දින පෙ.ව.04.33 සිට 19 වැනි දින ප.ව.08.46 දක්වා වන අතර, මෙය මකර ලග්නයට හත්වැන්නේත් කන්‍යා ලග්නයට එකොළොස්වැන්නේත් යෙදෙයි. මෙහිදී බුධ සිකුරු දෙදෙනාම සතුරු වීම නිසා යෝග බලය යහපත්ව ක්‍රියාත්මක විය නොහැකි බව ඡ්‍යොතිෂ නියමයයි.

කුජ හා ගුරු සංයෝගයෙන් උදාවන ධර්‍මකර්මාධිපති යෝගය ජූලි 12 වැනි දින ප.ව.06.56 සිට අගෝස්තු 26 වැනි දින ප.ව. 03.23 දක්වා වන අතර, මෙය කටක ලග්නයට එකොළොස්වැන්නේ ද මීන ලග්නයට තුන්වැන්නේ ද යෙදේ. කුජ සම වීමද ගුරු සතුරු වීමද සිදුවේ.

බුධ හා සඳුගේ සංයෝගයෙන් උදාවන ධර්‍මකර්මාධිපති යෝගය අගෝස්තු 05 වැනි දින ප.ව.03.25 සිට 08 වැනි දින පෙ.ව. 03.17 දක්වා උදාවන අතර මෙය තුලා ලග්නයට එකොළොස්වැන්නේ දී ග්‍රහයින් දෙදෙනාම මිතුරු වීමෙන් සුබව උදා කරයි.

ඡ්‍යොතිෂ හා අංක විද්‍යාවේදී එම්.ජී.යූ. රාජපක්‍ෂ

------------------

ජූලි 31 දක්වා ධනු ලග්නයේ උපදින දරුවන්ට විපරීත රාජ යෝග තුනක්

ජූලි මස 07 වැනි දින සෞන්දර්‍යයට අධිපති සිකුරු කටක රාශිගත වීමෙන් හා 12 වැනි දින පෙරළිකාර කුජ වෘෂභ රාශිගත වීමෙන් ඔවුන් අතර කේන්‍ද්‍රගත දෘෂ්ටිය ලොවට විපරීත ආකාරයෙන් බලපානු ඇත. ඒ අනුව ධනු ලග්න හිමියන්ට හර්ෂ හා විමල යන විපරීත රාජ යෝග ද්විත්වය උදා කෙරිණි. මේ ග්‍රහ යෝග දෙක ජූලි මස 31 වැනි දින සිකුරු සිංහ රාශිගත වන තුරු බල පැවැත්වෙන අතර, දුෂ්ටස්ථාන අධිපතියන් එම ස්ථානයක ගෝචර වීමෙන් උදාවන හර්ෂ, සරලා හා විමල යන විපරීත රාජ යෝග ත්‍රිත්වයම මේ කාලය තුළ තුන් වතාවක් සඳු කටක, වෘශ්චික හා වෘෂභ රාශිගත වන ජූලි 07 වැනි දින පෙ.ව. 04.33 සිට 09 වැනි දින පෙ.ව. 07.55 දක්වාද ජූලි 16 වැනි දින ප.ව.07.48 සිට 19 වැනි දින පෙ.ව. 03.25 දක්වාද ජූලි 29 වැනි දින ප.ව.04.49 සිට 31 වැනි දින ප.ව.02.33 දක්වාද උදා කෙරෙයි. මේ ග්‍රහයෝග තුන එම වේලාවන් තුළ ජන්ම ලාභය ලබන ධනු ලග්න හිමියන්ට හිමිවන අතර ඔවුන් අනාගතයේදී යහපත්, බලවත් පුරවැසියන් ලෙස සමාජයට එක්වනු ඇත. මේ ග්‍රහයෝගවල පල මෙසේය.

හර්ෂා යෝගය

භාග්‍යවන්තයෙකි. සතුටින් ජීවත් වේ. පැරදවිය නොහැකිය. නිරෝගි හා ශක්තිමත්ය. කීර්තිමත්ය. පවෙහි යෙදීමට බිය වේ. සෑම අතින්ම පරිපූර්ණ අයෙකි.

සරලා යෝගය

උගතෙකි. සතුරන් පරදයි. දීර්ඝායුෂය. සතුරන් බිය වද්දවන්නෙකි. නිර්භීතය. කීර්තිමත් ප්‍රසිද්ධ සමෘද්ධිමත් අයෙකි.

විමලා යෝගය

ශ්‍රේෂ්ඨ ගුණයන්ගෙන් සමන්විත, නිදහස්, ස්වාධීන සිතිවිලිවලින් යුතු, අන් අයට ගැති නොවන, අයෙකි. සැකසුරුවම්ය. නිතර පී‍්‍රතියෙන් පසුවේ. යන ගුණාංග එම යෝග කාලයේ උපත ලද ජන්මියෙකුට පිහිටන බව ඡ්‍යොතිෂවේදයේ සඳහන් වේ.

 

ඡ්‍යොතිෂවේදී උපාලි මඩුවේගෙදර

ඡ්‍යොතිෂ හා අංක විද්‍යාවේදී එම්.ජී.යූ. රාජපක්‍ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.