වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
අප දකින සුබ අසුබ පෙර නිමිති
අප කෙනෙක් දුටුවිට අපේ සිත් ගන්නේ වශී වන්නේ ඇයි?. මෙයට හේතු ගණනාවක් තිබේ. ලොව පහළ වුණ සියලු පින් ලකුණු ඇති දුටු දුටු නෙතට රසඳුනක් වූ රූසිරින් පිරිපුන් අසමසම උතුමා අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන සේක. බුදුන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් අසු අනූ ව්‍යංජන ලක්ෂණයෙන් යුක්ත වූ බව පහත සඳහන් කවි වලින් පෙනේ.
සියපින් සිරින් සරු
දෙතිස් ලකුණින් විසිතුරු
කෙලෙසුන් කෙරෙන් දුරු
වඳිම් මුනි උතුමන් තිලෝගුරු
නෙතැතිව උපන් දන
කරවන මනෝරං ජන
මුනිඳුගෙ නිරං ජන
අසූවකි ඇඟෙහි අනුවැං ජන
නෙත නෙත රස අඳුන්
දැක දැක රුසිරු මුනිඳුන්
මෙත සිත තුළ නුදුන්
අහෝ බල බලව දොස් පුහුදුන්
එවන් බුදු සිරුර දැකීමෙන් පවා පැහැදීමට පත් නොවූ අයද වූහ. දෙව්දත්, සුප්‍රබුද්ධ, චිංචිමානවිකා, මාගන්දි ආදීන් ගැන බොහෝ දෙනා දනිති. මැඩියෙක්, වඳුරෙක්, ඇතෙක් ආදී තිරිසන් සතුන් පවා බුදු හිමියන්ගේ අසමසම රූපශ්‍රීය බලා සිත ප්‍රසන්නවී දෙව්ලොව උපන් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. වක්කලී තෙරුන් බුදු සිරුරින් ඇස සිත ඉවතට ගත නොහී බලා සිටි බවත් පසුව බුදුහිමියන් විසින් තිලකුණු අවබෝධ කර දුන් පසු ඒ භික්ෂුව බණ භාවනාදියට යොමු වූ බවත් සඳහන් වේ.
මිනිසුන් දෙවියන් තුළ ශරීර වර්ණය, බලය, තේජස අඩු වැඩි වශයෙන් ඇති නිසා අල්පේශාක්‍ය, මහේශාක්‍ය වශයෙන් බෙදේ. මෙසේ අවශේෂ පුද්ගලයින්, කාන්තාවන් අතර ද අතිශයින් රූමත් අය සිටිති. දැකීමට පි‍්‍රයමනාප නැති වූද අංගවිකලවූද, විරූපි අය ද සිටිති. රූප ලක්ෂණයක් නැතත් දැකීමට, කතාබහට, පි‍්‍රයමනාප ප්‍රසන්න කොටසක් ද සමාජයේ ඇති බව කිව හැකිය. යමෙක් දුටු පමණින් ඔහු කෙරෙහි සිත ඇදී යන්නේ ද ඇතැමුන් දුටු පමණින් කලකිරෙන්නේ ද ඇයි? මේ පිළිබඳ මොහොතක් සිතා බලමු. එම තැනැත්තා ඔබේ සතුරෙක් තබා මීට පෙර දැකලාවත් නැති කෙනෙක්විය හැකිය. එහෙත් කිසිම හේතුවක් නැතිව අනුන් හා වෛර කරති.
දැකීමත් පිළිකුල් කරති. කොතරම් පරාර්ථකාමී කෙනෙක් වුවත් හිස නමා අත්දෙක එකතු කිරීමට අකමැති වෙති. ඇතැම් විට උදව් ඉල්ලන පුද්ගලයා සමාජයේ සැලකිය යුතු ධනවත් නැණවත් විය හැකිය.
ඉන්දියාව, ලංකාව වැනි රටවල විශේෂයෙන් ගම්බද ජනයා බොහෝ පුරාණ කාලයේ සිට ගමන් බිමන් යෑමේදී පෙරමග නිමිති ගැන සැලකිලිමත් වූහ. අසුබයයි සම්මත දර්ශනයක් දුටුවොත් ඒ ගමන නොයා ආපසු ගෙදර ගියහ. එවන් නිමිති කීපයක් පහත සඳහන් කවියෙන් කියවේ.
සුන් බඳුන් දුසිල් මහණුන් කළු පිළිය
යොන් දනන් මැහැලියන් ඇඳි වැර හැලිය
ගින් දරත් සුරා සොඬුනුත් නැති විලිය
යන් නටත් එපා පෙර මග දුටු කලිය
එමෙන්ම දැකීමට සුබ දසුන් තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ හිමියෝ පහත සඳහන් කවියෙන් පෙන්වා දෙති.
නල මුදු සුවඳ පිරිකුඹු මියරු අඹ ගෙඩි
පුල හෙල කුසුම් ලිය පිය තෙපල රන් කෙඩි
සල සුදු සෙමර සේසත් ගිජිඳු ඔද වැඩි
බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි
කෝට්ටේ යුගය වන විට මේ පිළිබඳ කොතරම් සැලකිල්ලක් දැක්වූයේද යනු මෙයින් පෙනේ. මෙහිදි සැලකිය යුතු කරුණක් පැන නගී. සුබ ලකුණක් වූ කිරි බඳුනක්, වතුර කළයක් ගෙන ඉදිරියට පැමිණියත් තමාට අප්‍රසන්න පුද්ගලයා දෝෂ දර්ශනයට ලක්වන්නේ ඔහුගේ උත්පත්ති ග්‍රහ බලය අනුවයි. එසේම හිස්බඳුනක් අරගෙන පැමිණියත් තමන් පි‍්‍රය කරන පුද්ගලයා ඉදිරියට හමු වුවහොත් අසුබ ලක්ෂණයක් ලෙස නොව වාසනාවන්ත හමුවීමක් ලෙසත් සලකති. එයද උත්පත්ති බලයයි. අනේ හොඳ පින්වන්ත කෙනෙක් අද නම් උදේ දැක්කේ. අද නම් මා කාලකන්නියෙක් දැක්කේ කැඳවත් හම්බ වෙන්නේ නැ” යනුවෙන් කියනු ගැමි සමාජයෙන් ඇසේ.
අප දුම්රියේ හෝ බසයක යන විට යමෙක් දුටු පමණින්ම කතා බහ කර ක්ෂණික මිත්‍රත්වයක් ගොඩනැඟෙයි. කිසිදා දැකලාවත් නැති වුවද ඔහු කලින් දුටු බවක්ද මිත්‍රවි සිටිය බව ද සිතට නැඟී එයි. මෙය සංසාරික පුරුද්දක් විය හැකියි. මෙයට සමාන කතා පුවත් ලොව සෑම රටකම දක්නට ලැබේ. බුද්ධ චරිතයේ ජාතක කථා පුවත් ලොව සෑම රටකම දක්නට ලැබේ. බුද්ධ චරිතයේ ජාතක කථා පුවත් හොඳම නිදසුන් බව කිව හැකිය. ඉන් එකක් මෙහිලා සඳහන් කරමි. එක්තරා දවසක බුදුරජාණන් වහන්සේ පිඬු සිඟා වඩින විට එක් බැමිණියක් පැමිණ අනේ පුතේ නුඹ මෙපමණ කලක් සිටියේ කොහිද මට නුඹ දකින්නට බැරිව කොපමණ දුකින් සිටියාද? අනේ පුතේ දැන් දානයට අපේ නිවසට වඩින්න යැයි’ මහත් පුත්‍ර සෙනෙහසින් කතා කළාය. මීට හේතුව කුමක්දැයි අනඳ මාහිමියන් ඇසූ විට බුදුපියාණන් වහන්සේ වදාළේ ආත්ම පන්සීයක් එම මෑණියන් හා පියාණන්ට මව්පියන්වූ නිසා මහත්වු පුත්‍ර ස්නේහයක් මතුවූ නිසා බවයි. මෙය සංසාරික පුරුද්දකි. ඒ අනුව යෙදෙන උත්පත්ති ග්‍රහ බලයයි. මෙය අනෙකුත් සත්වයන්ට ද පොදු වූ ධර්මතාවයක් නිසා එවැනි අවස්ථා යෙදෙන බව කිව හැකිය. දරු සෙනෙහස, මිත්‍රත්වය, පේ‍්‍රමය මතුවී සම්බන්ධතා ගොඩනැඟීමට පූර්ව සසර පුරුද්ද හේතු වේ. ඡ්‍යෝතිෂ්‍ය අනුව මෙම තත්ත්වය රතිකාර වශිය යනුවෙන් පෙන්වා දිය හැකිය. ගුරු සඳු රාහු ග්‍රහයින් තිදෙනා පාප පීඩිත නොවි එක රාශියක යෙදී තිබේ නම් මේ යෝගය පිහිටා ඇත. මෙයින් ජන්මීන් හට මනා රූප ශ්‍රීය ඇතිවේ. දුටු අයගේ සිත් ඇදී යන කෙනකු වේ. ලස්සන මලක් මෙන් හුරුබුහුටි සුරතල් දරුවෙක් දුටුවිට නිතැතින්ම ඒ දෙස සිත් ඇදී යයි. මේ යෝගය යෙදී ඇති ඉතා පියකරු මනා දේහ ලක්ෂණයෙන් යුතු කාන්තාවන් දුටුවිට ද ආදර බැඳීම් ඇතිවේ.
රතිකාර යෝගය මෙන් ක්‍රියාකාරි වන තවත් යෝගයක් තිබේ. එය අර්ධ ශශි නමැති යෝගයයි. මෙය යෙදෙන්නේ කේන්ද්‍රයක රවි, සඳු, බුධ, ගුරු , කුජ, ශනි, සිකුරු සත් ග්‍රහයින් පිළිවෙලට රාශි හතක යෙදීමෙනි. මෙය තවත් ආකාරයකට යෙදේ. ජන්ම පත්‍රයක 2,56,8,11 යන ඵනපර ස්ථානවලින් එකක සිට පිළිවෙළින් රවි ආදී ග්‍රහයින් සත් දෙනා සිටී නම් අර්ධ ශශි යෝගය ජන්මියාට යෙදේ. මෙය යෙදුණ ජන්මීන් ද දුටුවන් සිත්සතන් සතුටු කරවන වශීවන ස්ත්‍රි පුරුෂයෝ වෙති.
ඉහත කී යෝග දෙකින් ඉපදුණ අය ඉතා පි‍්‍රයමනාප ජනපි‍්‍රය පින් ඇත්තෝ වෙති. දේශපාලනඥයින්ට ද, රට, දැය, සමය උදෙසා වෙහෙස නොබලා කටයුතු කරන විශිෂ්ට සමාජ සේවකයන්ට ද පූජක උතුමන්ට ද මේ යෝග යෙදීමෙන් අමරණීය නමක් තබන මේ ලෝකයේ පැතිර ගිය කීර්තිය ඇත්තෝ වෙති.
අටතුරු සිය සුබ ලකුණින් සිරිම ත්
යටකර බව දුක එබුදුන් බුදු වත්
එක සිය අටක් සුබ ලකුණු බුදුපියාණන් වහන්සේට පිහිටියේය. තවත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටි ආකාරය පහත සඳහන් වේ.
මෙලෙසින් බුදුන් බඳ
දෙතිසක ලකුණු මන නද
එබැවින් මුනිඳු සඳ
පහන්තුර සේ දිළෙයි හැම සඳ
සිදුහත් මහා බෝසතාණන් වහන්සේ එක්තරා දිනක උයනට යන විට හතර වාරයකදී මහල්ලෙක්, ලෙඩෙක්, මළකඳක්, පැවිද්දෙක් යන සිව් පෙර නිමිති දුටුසේක. මෙය මුලු විශ්වයටම බලපාන ලොව්තුරා ගමනකට ගිහි ගෙය හැර ගොස් පැවිදිවීමට හේතු විය. පෙරනිමිති අතර ග්‍රන්ථාරූඪ වී ඇති සුවිශේෂ සිද්ධිය මෙය වේ.
ඉහත සඳහන් කළ සුබ අසුබ පෙරනිමිති මෙන්ම සුබ අසුබ සිද්ධි පැරණි අය විශ්වාස කළ හ. මෙය සුබ මංගල නම් වේ. ගමනක් යන්ට පිටත්වන විට කුකුළෙක් හැඬලීම බොහෝ සුබ ශබ්දයක් හැටියට සලකනු ලැබේ. කෑරලාගේ හැඬීම අශුභ වශයෙන්ම සලකනු ලැබේ. කෑරල හඬ අනර්ථකාරී බව ජාතක පොත ද කියයි. යම් සේ කෑරලා හැඬීමෙන් අනුනට වන වැඩ අවැඩ හඟවද්ද” යන ප්‍රකාශය අනුව සුබ පලක් දෙන බව පළවේ. එහෙත් සුබ පල දුන් තැනක් දක්නට නැත.
සැවුල්, කොවුල් හඬ ඉතාම සුබ වශයෙන් සලකනු ලැබේ. උලමාගේ කණකොකාගේ හඬ ඉතාම භයානකයයි කවුරුත් පිළිගනිති. මේ සතුන්ගේ හඬ කණට අමිරියි. ඇඟ කිලිපොළන සුලුය. එය මරණය හඟවන ඉතා අශුභ නිමිත්තක් ලෙසද සලකති.
ඉන්දියාවේ ජනයා බස්සකු වහල උඩ සිට හැඩුවොත් ඒ ගෙයි වැඩිකල් නොගොස් කෙනෙකු මැරෙන බව විශ්වාස කරති. කපුටාගේ හා හූනා ගේ හඬද සුබ හෝ අසුබ බව මනින්නෙ ස්ථානය, දිශාව හා කාලය අනුවය. කපුටු හා හූනු ශාස්ත්‍ර ක්‍රම දෙකක් තිබේ.
කාවන්තිස්ස චරිත කතාවේ කපුටකු ඒ රජතුමාට දැක්වූ පුවත් කීපයක් ගැන සඳහන්ව තිබේ. එමෙන්ම කාක් භාෂාව දත් තෙරුන් වහන්සේ නමකට කපුටකු කළ ආයාචනයක් ගැන දහම් පොතක වාර්තාවක් තිබේ. උකුස්සකු දැකීම ඒ වර්ගයේ කුරුල්ලෙකු වමේ සිට දකුණට පියාසර කිරීම දැකීම වාසනාවකැයි ද කියති. වහලේ මුදුන් ලීයේ දෙබර, බඹර, බැඳීම අශුභය. පෙනේ කළ නයෙක් පස්වන තිථීයේ නිදනගෙට පිවිසීම ඉතාම නරකයයි කියනු ලැබේ.
හඬ අනුව හොඳ නරක කියන ක්‍රම කීපයක් ද තිබේ. පෙර දඹදිව සිටිය කුම්භඝෝෂක නම් මිනිසකුගේ කටහඬින් බිම්සර රජු ඔහු මහා ධනවත් කෙනෙකියි නිශ්චය කළ බවද සොයා බැලීමේදි එය සැබෑ වූ බවද කියති. එබඳු තවත් අය ගැන ප්‍රසිද්ධය . අප මහ බෝසත් තුමා ද ඒ බලය ලබා සිටී උතුමෙකි. සංඝතිස්ස, සිරිසඟබෝ, ගෝඨාභය, යන කුමාරයින්ගේ පියවර හඬ අසා අන්ධ බමුණෙකු ඔවුන් රජවන බව කීවේද ශබ්දානුසාරයෙනි. ගති නිමිති නමින් සලකන පුදුම ක්‍රමයක්ද දඹදිව පැවැතුනේය. වංගීස නම් බමුණෙකු මළ කෙනෙකුගේ හිසට තට්ටු කිරීමෙන් මිය ගිය අය උපන් ස්ථානය කීවේය. මගසර බමුණාද එවැනි දක්ෂ කෙනෙකි. ඉන්දුල සේනාපතියා කිසියම් අවශ්‍යතාවයක් සඳහා ලිච්ඡවි රජුන්ගේ අගනුවරට ගියේය. ඔහු නැඟී ගිය රථයේ කොනක් නගරයේ දොරටුවේ ගැටුනේය. ඒ හඬ ඇසු මහාලී නම් අන්ධ ලිච්ඡවී රජෙක් අද ලිච්ඡවීන්ට මහ විපතක් සිදු වන්නේ යයි කීවේය. එය එසේම සිදුවිය.
කලාභූෂණ ඡ්‍යෝතිෂ ඉඳුවර ශාස්ත්‍රශූරී කාව්‍ය විශාරද
කිවිපති අමුවල අමරසේන