නිවසක සියලු දෝෂ සුබ ග්‍රහ බලයෙන් යටපත් වේද?

ජුනි 5, 2020

අද සමාජයේ බොහෝදෙනා හට නිතර නිතර මානසික පීඩන, ධනහානි, ලෙඩදුක්. අඹුසැමි භේද , නඩු හබ මේ ආදී නොයෙකුත් කරදරකාරී අවස්ථාවලදී නිවසේ දෝෂ තිබෙනවා යයි සැක සිතා වාස්තු වේදීන්, ගුප්ත ශාස්ත්‍රකරුවන් ගෙන්වා නිවස පරික්ෂා කරවති.

ගමේ ගොඩේ දේවාලවලට ගොස් ශාස්ත්‍ර අසති. ඒ අනුව මළපේ‍්‍රත, දෝෂ, යක්ෂ දෝෂ . කොඩිවිණ ආදී තිබෙනවා යයි ඇදුරන්ගේ තීරණය අනුව තොවිල් ශාන්ති කර්ම කරති. සමහර දෙනා වාස්තුවේදීන් ගේ තීරණ මත උළුඅහු, මාරු කරති. නිවසේ කැඩීම් බිදීම් කරති. අලුත් කොටස් එකතු කර වර්ගඵලය අය වැය සකස් කරති. නිවසේ බහිරව දොස් යයි සිතා බොහෝ දෙනා බහිරව පූජා, දේව පූජා ආදිය තබති. මෙම පිළිවෙත් කිරීමෙන් පසු සමහර දෙනෙකුට යම් යම් සුබ පල ලැබෙන නමුත් සමහර අයට තිබුණාටත් වැඩිය අසුබ පල දායක බව පවසති.

කෙසේ නමුත් මෙවැනි පිළිවෙත්, කිසිවක් අනුගමනය නොකරන අය ඉතා හොඳින් ජීවත්වෙන අවස්ථාද දකින්නට ලැබේ. එවන්නෝ එම පිළිවෙත් විවේචනයට ලක් කරති. එවැනි අය අතර පින්දහම් කටයුතු ද හාස්‍යයට ලක් කරන අයද කලාතුරකින් සිටිති. ඉහත පෙන්වා දුන් මෙම දෝස තත්වයන් හඳුන්වා දීමේදී පෙර භවයන් තුළ කරන ලද අකුසල කර්ම විපාක දීමත් බව එක හෙලාව කිව යුතුය. පෙරභවයේ යම් කුසල කර්මයක් කර තිබීම නිසා මෙම මනුෂ්‍ය ලෝකයේ උපත ලබා යහතින් සැපසේ ජීවත් වුවද මේ ආත්මයේ සැප විඳින ගමන් මිථ්‍යා දෘෂ්ඨින් වෙමින් පින්දහම් හාස්‍යයට ලක් කරන්නේ දෙවියන් විවේචනය කරන්නේ ඔවුන්ගේ ඉදිරි භවය පේ‍්‍රත ආත්මයකට මග හෙලිකර ගැනීම බව ඔවුන් නොදනිති.

සුබ ග්‍රහ බලය යනු පෙර භවයේ කරන ලද දාන ශීලාදී කුසල කර්මයන්ගේ බල මහිමය පෙන්වා දීමකි. ඒ අනුව මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයෙක් වශයෙන් උපත ලබා යහපත් ආකාරයෙන් යහපත් ජීවිතයත් මානසික සුවයෙන් ගත කිරීමට යහපත් නිවසක් හිමි වන්නේ ය. එහි දෝෂද නැත. යහපත් භාර්යාවක් යහපත් දරු පරපුරක්ද හිමිවන්නේ ය.

නිවසක සියලු දෝෂ යටපත් කරන එම සුබ ග්‍රහ බලය පිහිටන ආකාරය මෙතැන් සිට සොයා බලමු. මෙහිදී යම් අයෙකුගේ කේන්ද්‍රයේ සිව්වැන්න සමඟ දසවැන්න , ලග්නය, එකොළොස්වැන්න, දෙවැන්න , නවවැන්න මෙම භාවයන් සමඟ ඇතිවෙන සම්බන්ධතාවය ගැන විග්‍රහයක යෙදිය යුතුය.

කේන්ද්‍රයක සිව්වැන්න, දෙවැන්න, නවවැන්න අධිපති ග්‍රහයින් බලවත්ව සිව්වැන්නේම සංයෝගවී උපතින් යෙදී ඇත්නම් එය බලවත් සුබ ග්‍රහ පිහිටීමකි. පෙර භවයේ දන්දීම ආදී කුසල කර්මයන්හි යෙදීමේ පෙර පින් බලය අනුව ධනය ලැබීමත් ඉඩකඩම් දේපල තමන් සතුව තිබීමත් යහපත් පැවැත්මකින් ජීවත්වීමත් නිසා නිවසේ දෝෂ තිබුණත් ඒවා යටපත් වේ. මේෂ, කුම්භ, කන්‍යා ලග්න හිමියන්ගේ මෙම ග්‍රහ පිහිටීම උපතින් යෙදුණොත් යහපත් පැවැත්මක් ඇතිව වාසනාවන්තව ජීවිතය ගෙන යන අතර නිවසේ දෝෂද යටපත් වී යනු ඇත.

තවද, ලග්නය හා සිව්වැන්න අධිපතියන් උපතින් සිව්වැන්නේම යෙදී පස්වැන්න අධිපතියා ලග්නයේ යෙදී සිටීනම් බලවත් ග්‍රහ යෙදුමකි. සිංහ ලග්නය හිමියාට මේ ග්‍රහ පිහිටීම යෙදීමෙන් උසස් ජීවිතයක් ගත කිරීමේ වාසනාව උදාවේ. නිවසේ සියලු දෝෂ යටපත් වේ. උසස් ඉගෙනීමක් ලබා සමාජය තුළ ප්‍රශංසාව හිමි කරගන්නා රැකියාවක්ද හිමිවන අයෙකි. කෙසේ නමුත් මෙවැනි අය යුක්තියට ගරුකරන ධර්මිෂ්ඨ පුද්ගලයෝය. නෑදෑ හිත මිතුරන් ඇසුරු කරන්නේ හොඳ නරක වටහාගෙන කල්පනාවෙන් යුක්තවය.

කේන්ද්‍රයේ දෙවැන්න හා එකොළොස්වැන්න අධිපතියන් උපතින් සිව්වැන්නේ යෙදී සිටීමද නිවසක දෝෂ යටපත් වී යහපත් ජීවිතයක් ගත කිරීමට හේතු වන්නේය. ධනු ලග්නය හිමියාට ලග්නාධිපති ගුරු ලග්න ගතවී ඉහත කී භාව අධිපතියන් සිව්වැන්නේ යෙදීමෙන් නිවසක දෝෂ යටපත් වී ධනයෙන් පිරි විශේෂ දියුණුවත් හිමිවන්නේ ය.

උපතේදී කේන්ද්‍රයේ සිව්වැන්න, දෙවැන්න , නවවැන්න දසවැන්න අධිපතියන් එම භාවයන්හි යෙදීම නිවසේ කොපමණ දෝෂ යෙදී තිබුණත් උත්සාහයෙන් සියලු දෝෂ අභිබවා දියුණුව උදාකරගත හැකිවේ. වෘශ්චික ලග්නය හිමියාට මෙම පිහිටීම විශේෂයෙන් පල දරනු ඇත. දෙවැන්නේ ගුරු , සිව්වැන්නේ සෙනසුරු නවවැන්නේ පුර සඳු, දශවැන්නේ රවි බලවත් ග්‍රහ පිහිටීමකි. කෙසේ නමුත් පාරම්පරික දේට තද බල ආසාවක් ඇති අතර තම පැරණි නිවස එලෙසම ඉදිරි ජීවිත කාලයටම භාවිතා කරනු ඇත.

කේන්ද්‍රයක සිව්වැන්න පස්වැන්න අධිපතියන් දෙපල සිව්වැන්නේම උපතින්යෙදී දසවැන්න අධිපති ලග්නයේ යෙදීමෙන් නිවසක දෝෂ යටපත් වී ක්‍රමයෙන් දියුණුව උදාවේ. අධ්‍යාපනික කටයුතුවලින් උසස් දියුණුවක් ලබා යහපත් දරුවන් හා භාර්යාවක් ලැබ වාසනාවන්ත ජීවිතයක් ගෙවනු ඇත. මීන ලග්නය හිමියවාට මෙම ග්‍රහ පිහිටීම ඉතා හොඳින් සුබ ඵල ලබා දෙනු ඇත.

සිව්වැන්න අධිපති එකොළොස්වැන්නේ පස්වැන්න අධිපති සිව්වැන්නේ උපතින් යෙදීමද නුවණින් යුක්තව කටයුතු කර පදිංචි ස්ථානයද දියුණු කරගෙන වාසනාවන්ත යහපත් ජීවිතයක් ගත කිරීමට හේතුවන ග්‍රහ බලපෑමක් වන්නේය. නිවසේ දෝෂද යටපත් වේ. වෘෂභ ලග්නය හිමියාට මෙය ඉතා බලවත් පිහිටීමකි.

ලග්නාධිපති හා සිව්වැන්න අධිපති සිව්වැන්නේම උපතින් යෙදී පස්වැන්න අධිපති දසවැන්නේත් දසවැන්න අධිපති නවවැන්නේත් යෙදීම පෙර පින පහළවීමකි. කලා ක්ෂේත්‍රයේ විශේෂ නිපුණත්වයක් ඇති මෙවැනි අයට ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලමින් යහපත් නිහතමානී ජීවිතයක් ගත කිරීමට වාසනාව උදාවේ. මිථුන ලග්නය හිමියාට මෙම ග්‍රහ තත්වය ඉතා සුබ පලදායක වන්නේ ය.

කේන්ද්‍රයක සිව්වැන්න, පස්වැන්න අධිපති ලග්නයේ යෙදී දසවැන්න හා එකොළොස්වැන්න අධිපති දෙපල එකොළොස්වැන්නේම උපතින් යෙදුණේ නම්නිවසේ දෝෂ තත්වයන් යටපත් වේ. උගත් රැකියාවකට හිමිකම් ලබා ප්‍රසිද්ධියක් උසුලමින් ජීවත්වීමේ වාසනාව යෙදේ. යහපත් පැවැත්මක් ඇති අයෙකි. අදහන ආගමට ඉතා ලැදියාවක් ඇතිවේ. අනුන් කෙරෙහි අනුකම්පාව වැඩි අයෙකි. ධනය ඇත්තෙකි. තුලා ලග්නය හිමියාට මෙම ග්‍රහ තත්වය විශේෂ සුබ ඵල දායක වේ.

සිව්වැන්න සහ එකොළොස්වැන්න අධිපතියන් කේන්ද්‍රයේ සිව්වැන්නේම උපතින් යෙදි පුර සඳු ලග්නයේ යෙදී සිටීනම් සුවබර චාම් ජීවිතයකට මග පෑදේ . පදිංචි ස්ථානයේ නිතර ස්ත්‍රීන් ගැවසේ. විනෝදයෙන් ගත කෙරේ. පුරුෂ පක්ෂය සිටියත් ඒ අය ස්ත්‍රීන් හා සමානය. නිවසේ දෝෂ ඇතත් ඒයා ගණන් නොගනී. වැඩි වැඩියෙන් මුදල් රැස් කිරීමට උත්සාහ ගන්නේද නැත. චාම් විවාහ ජීවිතයක් ගත කරන අයෙකි. කෙසේ නමුත් විවාහය සිදුවන්නේ කලක් ගතවීමෙනි. කටක ලග්නය හිමි අයෙකුට සෙනසුරුද එකොළොස් වැන්නේ යෙදී නම් මෙම ග්‍රහ බලපෑම ඉතා සුබ වන්නේය.

කේන්ද්‍රයක දසවැන්න හා පස්වැන්න අධිපති දෙපළම දසවැන්නේම උපතින් යෙදී සෙනසුරු තුන්වැන්නේ හා ගුරු සිව්වැන්නේ යෙදීනම් ගේ, දොර ඉඩම තුළ දුගී අයෙකු පදිංචි කරවා සුපිරි නිවසක ජීවත්වීමට වාසනාව උදාවේ. මකර ලග්නය හිමියාට මෙය සුබදායක ලෙස පිහිටනු ඇත.

මා මෙතෙක් විස්තර කළ සුබ ග්‍රහ පිහිටීම් අනුව නිවසේ පවතින දෝෂ යටපත් වුවත් සමහර පාපී ග්‍රහ පිහිටීම් උපතින් යෙදුණොත් කිසිදාක එම දෝෂ යටපත් නොවේ. විශේෂයෙන් නිවසක එක් අයෙක් හෝ තද බල පාපී ග්‍රහ පිහිටීම්වලින් යුක්ත වූයේ නම් එම අයට නිවසේ දෝෂ තත්වය තදින් බලපවත්වනු ඇත. කේතු සිව්වැන්නේ රාහු දසවැන්නේ ලග්නයේ චන්ද්‍රයා අටවැන්නේ සෙනසුරු මේ එක් පාපී ග්‍රහ පිහිටීමකි. මෙවැනි අයෙකුගේ ලෞකික ජීවිතය සැමදා අඳුරු තත්වයෙන් පවතී.

භූත දෝෂ වාස්තු දෝෂ සියල්ල මොහුට එල්ල වේ. සුබ ග්‍රහ පිහිටීම් ඇති පවුලේ අනෙකුත් අය අතර එකට සිටින තෙක් දෝෂ බලපෑම අඩුවන අතර පවුලෙන් වෙන්වී වෙනත් පදිංචියකට ගිය පසු ඉහත දෝෂ සියල්ල තමන්ට එල්ල වේ. විශේෂයෙන් ලෙඩ දුක් කරදර, භූත දෝෂ, ධන හානි, රැකියා කරදර , මේ සියල්ලටම තමන් ගොදුරු වේ. ඒ අනුව පදිංචිය මාරු කිරීමට සිත් ඇතිවේ. නමුත් කරදර අවසන් නොවේ. පෙර භවයේ තම මවට හිංසා කරදර කර නිවසින් පන්නා දැමීමේ විපාක මේ ගනයට වැටේ.

කෙසේ නමුත් කේන්ද්‍රයේ සිව්වැන්න ආශි‍්‍රතව උපතින් පිහිටන පාපී ග්‍රහ තත්වයන් බොහෝ ඇති අතර ඒ අනුව තම නිවසේ දෝෂ තත්වයන් තද බල ලෙස පීඩාකාරි අන්දමින් බලපවත්වන බව කිව යුතුය. යම් අයෙකුගේ සුබ ග්‍රහ යෝග සිව්වැන්න මුල් කර යෙදී තිබේනම් නිවසේ දෝෂ බොහෝ දුරට යටපත් වනබව කිව යුතුය.

එවැනි අත්දැකීම් මා හට හමුවී ඇත. හොරණ ප්‍රදේශයේ එක්තරා පොහොසත් නිවසක ප්‍රධාන දොර ගිනිකොණ කෙළවර නැගෙනහිරට තබා ඇති අතර පිටුපස දොර උතුරු පැත්තේ ඊසාන කෙළවර තබා තිබුණේය. එහි සිටි දෙමාපියන් වයස අවුරුදු 80 ඉක්මවා සිට මිය ගියේය. දරුවන් ඉතා හොඳින් අධ්‍යාපනය ලබා ඒ අයත් පාසල් ගුරු වෘත්තියේ සිට දැන් විශ්‍රාමිකව නිවසේ ජීවත් වේ. නිවසේ සිටින්නේ එක් දරුවෙක් හා භාර්යාව පමණකි. දෙදෙනාම විශ්‍රාමිකව සිටී.

ඒ දෙදෙනාගේ එකම දුව හා පුතා දැනට උසස් ලෙස ඉගෙනීම ලබා උසස් රැකියාවක විදේශගතව සිටී. දෙමාපියන් විශ්‍රාම වැටුප් ලබමින් තේ, රබර්, වී ආදි වගාවන්වල යෙදෙමින් දැනට හුදකලාවේ පරණ නිවසේ නිරෝගීව ජීවත් වෙති. ඒ දෙදෙනාගේම හා විදේශගත දරුවන්ගේ කේන්ද්‍ර මා පරික්ෂා කළ අතර ඉතා බලවත් ග්‍රහ පිහිටීම් යෝග සහිතව යෙදී තිබුණේ නිවසේ ඉහත කී තද බල අසුබ ගෙන දෙන වාස්තු දෝෂය මා ඒ අයට පෙන්වා දුන් නමුත් එය හාස්‍යයට විහිලුවට ගණන් ගත්තේය. මා එහිදී නිරුත්තර විය. ඒ අයගේ බලවත් ග්‍රහ පිහිටීම් අනුව එම වාස්තු දෝෂය යටපත් වී ඇති බව මා අත්දැකීමෙන් සෑහීමට පත් වුණෙමි. කෙසේ නමුත් ගෝචර වශයෙන් සෙනසුරු කෙන්ද්‍රයේ 12,1,2,8 යන භාව ගත වීම් වලදී හා චන්ද්‍රයාගෙන් ඉහත භාව වලදීද යෙදෙන ඒරාෂ්ඨක කාලවලදී සුබ ග්‍රහ බල අතරින් මඳක් හෝ අපහසුතාවයට ලක්වීම වැළැක්විය නොහැකි බව නම් කිව යුතුය. එවැනි අවස්ථාවලදී පෙර පිං බලය තිබුණොත් දරුණු මාරක විපත්ති රෝග ඇති නොවන අතර වයසේ හැටියට සාමාන්‍ය රෝග ලක්ෂණ වැඩිවීම් පෙන්නුම් කෙරේ.

 

ඡ්‍යොතිර්වේදී
හොරණ ජේ.ගුණපාල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.