ඇස් ලෙඩ සුව කරන කටහඬ මිහිරි කරන දරුපල වැඩි කරන වැල් මී

ඔක්තෝබර් 18, 2024

“ළමයිනේ. මේ වෙලාවෙ ඔයගොල්ලන්ට තියෙන්නේ ද්‍රව්‍ය ගුණ විෂයය නේද?” අසමින් ද්‍රව්‍යගුණ කථිකාචාර්ය සිරිමල් වෛද්‍යාචාර්‍යතුමා ආයුර්වේද විද්‍යාලයේ අවසාන වසරේ දේශන ශාලාවට ඇතුළු විය.

“ඔව් සර්” යනුවෙන් ළමයින් පිළිතුරු දුන් විට

“හොඳයි අපි අද වැල්මී ගැන කතා කරමු.” යනුවෙන් පවසා ඔහු පාඩම ආරම්භ කළේය.

“වැල්මී කියන්නේ ඖෂධ යෝග විශාල ප්‍රමාණයක් සඳහා යොදා ගන්නා ඉතා හොඳ ඖෂධයක්. ඒ නිසාම ගොඩක් දෙනා වැල්මී හොඳින් අදුනනවා.”

“එතකොට සර් වැල්මී දේශීය පැලෑටියක්ද?”

“නැහැ ළමයිනේ. වැල්මී දේශීය පැළෑටියක් නොවෙයි. ඒ වගේම වැල්මී ගැන යම් යම් මතභේදත් තියෙනවා. එකක් වැල්මී වැල් වර්ගයක් කියල කලක ඉදල අපේ රටේ පවතින විශ්වාසය. ඒ සඳහා වැල්මී කියන නමත් හේතු වෙලා තියෙනවා. දෙසඳුන් කල්කය හෙවත් රත කල්කයේ වට්ටෝරුව අඩංගු කවියේ යෙදෙන්නෙත් ‘පැණි රස ඇති ළිය” යනුවෙනුයි. මෙහි පැණි රස ඇති යන්න ‘මී’ යන්න වෙනුවටද ‘ළිය’ යනු වැල් වෙනුවට ද යෙදී වැල්මී යනුවෙන් හැඳින්වෙනවා කියල සමහරු කියනවා. ඒ වගේම කළුපාට ඇට සහිත ඔළිඳ වර්ගය වැල්මී කියලා තවත් සමහරු කියනවා.

විශේෂයෙන් පිටරටින් අපේ රටට වැල්මී ගේන්න නොහැකි වූ කාලෙක වැල්මී වෙනුවට මේ වැල් වර්ගය ඖෂධ සඳහා යොදා ගැනීම ් හේතුවෙන් වැලක් යන කතාව පැමිණ ඇතැයි සිතන්න පුළුවන්. කෙසේ වුවත් වැල්මී කියන්නේ වැලක් නෙවෙයි පඳුරු විශේෂයක්. වැල්මී නොමැති වෙලාවට ප්‍රතිනිධිය විදියට ඔළිද මුල් යොදාගෙන තියෙනවා”

“සර් එතකොට වැල්මී වැවෙන්නෙ මොන රටවලද?”

“දකුණු යුරෝපය, ඊජිප්තුව, තුර්කිය, ඇෆ්ගනිස්තානය, ඉතාලිය, ස්පාඤ්ඤය ආදි රටවලත්, කාශ්මීරය, පේශාවෝර්, පංජාබ්, සින්ධි ආදි භාරතීය ප්‍රදේශවලත් වැවෙනවා.”

“සර් එතකොට වැල්මී පඳුරක්ද?”

“ඔව්... මීටර් 1-1 1/2ක් විතර උසට කෙලින් වැවෙන පඳුරු විශේෂයක්. මේවායේ මුල්වලින් වගේම කඳෙනුත් ශාඛා විහිදෙනවා. මේවායේ මුල් දිගයි. කහ පාටයි. ඇතැම් පඳුරුවල මුල් රතු පාටයි. මේවායේ සංයුක්ත පත්‍ර තියෙන්නේ.

මේවායේ හටගන්නා මල් කුඩායි. රෝස පාටින් යුතුයි. ඒ වගේම මේවායේ හටගන්නා කරල් සෙ.මි. 1-3 දක්වා දිගයි. ඒ වගේම මේ කරල් පැතලියි මේ කරල්වල තියෙන බීජ හතරැස්. එක් කරලක බීජ දෙක තුනක් තියෙනවා.”

“සර් වැල්මී හදුන්වන වෙනත් නම් මොනවාද?”

“ළමයිනේ වැල්මීවල පොදු සිංහල නම තමයි වැල්මී කියන්නේ සංස්කෘත භාෂාවෙන් යෂ්ටී මධූ, මධුයෂ්ටී, මධුවැල්, මධුසුවා, මධූක, මධූකා, ක්ලීතක ආදි නම් යෙදෙනවා.

හින්දි භාෂාවෙන් මූලේද, මුල්හට්, ජේඨමධු යන නම් යෙදෙනවා දෙමළ භාෂාවෙන් අධි මදුරම්...අති මදුරම්... අදිමදුරම් යන නම් යෙදෙනවා ඉංග්‍රීසි භාෂාවෙන්  Liquorice  යනුවෙන් යෙදෙනවා. වැල්මීවල උද්භිද විද්‍යාත්මක නාමය Glycyrrhiza glabra Linn  වන අතර කුලය  LEGUMINOSAE  හෙවත් ශිම්බී කුලයයි.. උපකුලය PAPILIONACEAE හෙවත් අපරාජිතා උපකුලයයි.”

“සර් එතකොට වැල්මීවල ප්‍රභේද තියෙනවද?”

“ඔව්

1ජලජ- ජල බහුල දේශ ජාත වැල්මී

2 ස්ථලජ - වැලි බහුල දේශජාත වැල්මී

වශයෙනුත් උත්පත්තිය අනුව

1මිසර දේශජාත - මෙය උත්තම ගුණ සහ මධුර රස යුතුයි. සියලු ප්‍රභේද වලට වඩා උතුම්

2 අරාබි දේශජාත - මෙය මධ්‍යම ගුණ සහ මධුර රස යුතුයි.

3 තුර්කි දේශජාත - මෙය අධම ගුණ සහ අල්ප මධුර රස යුතුයි

මේ වැල්මීවල ඖෂධීය අංග වන්නේ පොත්ත ඉවත් කර කපා වියලන ලද මුල් සහ පොළොව යටවූ දඬුයි.”

“සර්... වැල්මීවල ඖෂධීය වටිනාකම කොහොමද?”

“වැල්මී රසයෙන් මධුරයි

ගුණයෙන් ගුරු සහ ස්නිග්ධයි

වීර්‍යයෙන් ශීතයි.

විපාකයෙන් මධුරයි

දෝෂ අනුව ගත්තාම

ගුරු හා ස්නිග්ධ ගුණයෙනුත්, මධුර රසයෙනුත් යුතු නිසා වාතයත්, මධුර රසය සහ ශීත වීර්‍යය නිසා පිතත් සමනය වන නිසා

වාත පිත්තජ රෝගවලට වැල්මී යොදනවා.

ශාරීරික ව්‍යුහගත ක්‍රියා සැලකුවාම

බාහිර වශයෙන්

වැල්මී දැවිල්ල නසන, ඉදිමුම් නසන සහ කෙස්වලට හිතකාරී ගුණ යුතුයි .

මේ නිසා තුවාල, ඉදිමුම් සහ විෂ ආදියට ආලේප වශයෙන් යොදනවා.

ඒ වගේම අකලට කෙස් වැටීම ආදි රෝගවලදී වැල්මී තම්බපු වතුරෙන් හිස සේදීමත් හොඳයි.

අභ්‍යන්තර වශයෙන් ගත්තාම

වැල්මීවල වාත සමන ගුණ යුතු නිසා වාත රෝගවලදි ප්‍රයෝග කරනවා.

ඒ වගේම වැල්මී වමන නිවාරක, පිපාසා නිවාරක වාත අනුලෝමන සහ මෘදු විරේචන ගුණ යුක්තයි. එසේම ආමාශයේ ආම්ලික බව අඩු කරන ගුණයෙන් ද යුතුයි.

මේ නිසා වමන, පිපාසා සහ මළබද්ධතා සඳහා යොදනු ලබනවා. ඒ වගේම වෙනත් විරේචන වර්ග සමඟත් වැල්මී යොදන්න පුළුවන්. ඒ වගේම වාත අනුලෝමන ගුණත් මෙහි තියෙන නිසා උදර වේදනාත් සමනය කරනවා.

මධුර රස යුතුව ආමාශගත අම්ල තත්ත්වය දුරු කරන නිසා අම්ල පිත්ත රෝගයට විශිෂ්ට ගුණ ගෙන දෙනවා.

එසේම වැල්මීවල ලේ පිරිසිදු කරන ලේ වඩන සහ ලේ නතර කරන ගුණ යුතු නිසා ලේ අඩුකමේදිත්, රත්පිතේදිත්, ලේ දූෂිත රෝගවලදීත් යොදනවා.

වැල්මී ස්නිග්ධ සහ මධුර නිසා සෙම පිටකරන ගුණයෙන් සහ උගුරට හිතකර ගුණයෙන් යුතුයි මේ නිසා කාස ශ්වාස..ස්වරභේද සහ රාජයක්ෂ්මා රෝගවලදී යොදනවා. මෙමඟින් උකු සෙම බුරුල් වී පහසුවෙන් කැඩී ඉවත් වෙනවා. එනිසා කටහඬ පැහැදිලි වෙනවා. උණ සමනය වෙනවා. කැස්ස අඩු වෙනවා. ශරීර ශක්තිය වැඩි දියුණු වෙනවා. පෙණහලුවල තුවාලත් සුව කරනවා.

ඒ වගේම වැල්මී ශුක්‍ර වැඩිකරන ගුණයෙන් යුක්ත නිසා ශුක්‍ර මේහයේදී යොදන්න පුළුවන්. ඒ වගේම ලිංගික දුබලතා මැඬලීම සඳහාත් විශිෂ්ට ඔසුවක්. අනෙක තමයි ළමයිනේ.... වැල්මීවල මූත්‍රකාරක සහ මූත්‍ර විරංජනීය ගුණත් තියෙන නිසා මූත්‍ර දැවිල්ල, මූත්‍ර කෘච්ජ්‍ර, පූයාමේහ, පිත්ත ප්‍රමේහ වගේ රෝග අවස්ථා වලදී යොදනවා.

වැල්මීවල තවත් ප්‍රයෝජනයක් තමයි වර්ණ ඇති කරන ගුණ පැවතීම. ඒ වගේම කැසීම් නසන ගුණයත්...සමේ රෝග නසන ගුණයත් වැල්මීවල තියෙනවා. මේ නිසා හමේ වර්ණ විකෘතිතා, සමේ රෝග සහ කැසීම් ආදියට විශිෂ්ට ගුණ ගෙනෙනවා.

ඒ වගේම ළමයිනේ. උණ සමනය කරන ගුණයත් වැල්මීවල අඩංගුයි. මේ නිසා කල්ගතවුණු උණ රෝගීන්ට හොඳයි. රසායන, බලකාරක සහ ජීවනීය ගුණයන් වැල්මීවල තියෙන නිසා ශරීරයේ දුබලතා වලදි යොදන්න පුළුවන්.

වැල්මී ඇස්වලට හිතකර නිසා ඇස් ලෙඩවලදි අඳුන් සකස් කර ආලේප කරනවා. වැල්මී චූර්ණය ගැනීමෙන් ඇස්වල පෙනුම හොඳින් පවතිනවා.

ඉතින් ළමයිනේ. වැල්මීවල ඔය වගේ ගුණ රාශියක් තියෙනවා.”

“සර් වැල්මී අඩංගු වන ඖෂධ යෝග ටිකකුත් කියන්නකෝ. අපිට ඒවා ගොඩක් වැදගත් වේවි.”

“ඔව්... මම මේ ඒ ටික කියන්න තමයි හැදුවේ.”

පාණ්ඩු රෝගයට

වැල්මී තම්බා බීම හෝ වැල්මී චූර්ණය මීපැණි සමඟ බීම හොඳයි

හික්කාවට

වැල්මී තනකිරෙන් ගලගා මීපැණි සමඟ නස්න කිරීමත් හොඳයි

අධෝගත රත්පිතට

වැල්මී චූර්ණය මීපැණියෙන් අඹරලා බිමෙන් පස්සෙ වමනය කිරීම හොඳයි

අපස්මාරය (මීමැස්මොරය) රෝගීන්ට

වැල්මී චූර්ණය දවස් 3 ක් අළුපුහුල් ඉස්මෙන් බීම හොඳයි

පිත නිසා ඇති වුණු කන් කැක්කුමට

වැල්මී එලකිරෙන් තම්බා කනට හෙළීම ඉතාමත් හොඳයි

සියලුම හිසේ රෝගවලට

වැල්මී සහ උඳු චූර්ණය නස්න කිරීම හොඳයි

මව්කිරි වැඩිකිරීමට

එලකිරිවලට වැල්මී කුඩු දමා කකාරා සීනිදමා බීම හොඳයි

රසායන ගුණ සඳහා

වැල්මී පිටි එලකිරිවලට දමා බීම හොඳයි

ලිංගික දුබලතාවලට

වැල්මී පිටි ගිතෙල් මීපැණි සමඟ අනා කා එලකිරි බීම ගුණදායකයි.

මෙන්න මේ වගේ ඖෂධ යෝග රාශියක් තියෙනවා වැල්මී අඩංගු වුණ

ඒ වගේම ළමයිනේ... වැල්මී අඩංගු තෙල්, වටිකා, ක්වාථ, චූර්ණ, අරිෂ්ඨ, ඝෘත ආදි සංස්කාරික ඖෂධ රාශියක් දකින්න තියෙනවා.

මේ අතුරින් වැල්මී කල්කය, යෂ්ටි කල්කය, යෂ්ට්‍යාදී චූර්ණය, යෂ්ඨිමධ්වාදී තෛලය, මධූකා පැණිය ආදිය ප්‍රධානයි.

ඒ නිසා ළමයිනේ... වැල්මි කියන්නේ ඉතා වටිනා ඖෂධ ද්‍රව්‍යයක්. දේශීය වෛද්‍ය ක්‍රමයේ වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේත් ඖෂධ යෝග රාශියක් සඳහා බොහෝ සෙයින් යොදා ගන්නා ඖෂධයක් තමයි වැල්මී කියන්නේ.

මං හිතනවා... වැල්මී ගැන ඔය ළමයින්ට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා.

“ඔව් සර්. අපිට හොඳට තේරුණා. සර්ට ගොඩක් ස්තූතියි.”

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.