වර්ෂ 2025 ක්වූ January 03 වැනිදා Friday
ස්වභාවික රස කාරකවල ගුණ මහිමය
කෘතීම රසකාරකවලින් රසවත් කළ ආහාරපාන වලින් ඔබත් ඈත්වී ඔබේ දරුවනුත් ඈත්කරවන්න ඔබ කටයුතු කළොත් ඔබේ මුළු පවුලම නිරෝගි වන බව සහතිකයි. ගෙදර හදන කෑම බීම අපේම ආවේනික ස්වභාවික රසකාරකවලින් රසවත් කරන්න අපට පුළුවන්. ඒ ගැන තාමත් නොදන්නා අයටයි මේ තොරතුරු.
දෙහි
ලුණු මිරිසට, කට්ට සම්බෝලයට, පොල් සම්බෝලයට, කිරිහොද්දට, ඇඹුල් මුසු නොකළොත් ඒ වෑංජනය අසම්පූර්ණයි. ඇඹුල් ගැන කථා කරද්දී දෙහිවලට ලැබෙන්නේ ප්රමුඛස්ථානයකි. කොයි තරම් මිල ඉහළ ගියත් දෙහි ගෙඩියක් හරි කුස්සියේ තියාගන්න ගෘහණිය හුරුවෙලා ඉන්නේ ඒකයි. දෙහි නැත්නම් නාරංගෙඩියක් ඇඹුල් දොඩම් ගෙඩියක් හරි කඩාගෙන වෑංජනයට එකතු කරන්න ඔවුන් උස්සුක වෙනවා.
දෙහි යනු ශ්‍රී ලාංකීය ඉවුම් පිහුම් කලාව හා තදින්ම බැදුණු දෙයක්. ඉවුම් පිහුම්වලදී පමණක් නොවේ. කදිම ඖෂධ සංයෝගයක්. යන්ත්‍ර, මන්ත්‍ර , තොවිල්, දේවපූජා, යාතු කර්ම, ආදී මෙකී නොකි බොහෝ දෑ වලටද දෙහි යොදාගන්නා අතරම ශරීරය පවිත්‍ර කරන පවිත්රාකාරකයක් ලෙසත් දෙහි යොදා ගැනෙනවා. රූපලාවන්‍ය සඳහාත් නැතුවම බැරි දෙයක් තමයි දෙහි.
පෝෂණය අගය අනුව ගත්කල දෙහි ග්‍රෑම් 100 ක ශක්තිය කැලරි 59 ක් මේදය 0.9 ක් කැල්සියම් මිලි ග්‍රෑම් 70 ක් විටමින් සී මිලි ග්‍රෑම් 63 ක් ආදි වශයෙන් පෝෂ්‍ය පදාර්ථ රාශියක් අන්තර්ගත වෙනවා.
එහි තිබෙන සිට්රික් අම්ලය ( ඛ්ඪබපඪජ ඒජඪඤ) හා /මැලික් අම්ලය (ර්චතඪජ ඒජඪඤ) නිසා තමයි ඇඹුල් රසයක් උද්දීපනය වෙන්නේ.
නොයෙකුත් සම්බෝල වර්ග, මැල්ලුම් වර්ග කිරි හොදි සහ සමහර වෑංජන සඳහා දෙහි යුෂ ටිකක් එකතු කරන එක එදා ඉදන්ම සිදු කරන දෙයක්. නමුත් මේවාට දෙහි යොදද්දී අවසානයට යොදන්න වග බලා ගන්න ඕන. හොද්ද ළිපෙන් බෑවට පස්සේ හෝ ලිප නිවලා දෙහි එක්කරන්න අමතක කරන්න එපා.
ලිපේ තියෙද්දි දෙහි එකතු කළොත් දෙහිවල තියන විටමින් සී විනාශ වෙන්න පුළුවන් වගේම හොදි වර්ග කැටි ගැසෙන්නත් බලනවා. ඒ වගේම ගෙදර හදන බීම වර්ගවලට දෙහි බිංදු දෙක තුනක් එකතු කරන්න පුරුදු වෙන එක හොඳයි. ඒක විටමින් සී වර්ධනය කරන්න බලපානවා. අනෙක් අතට දෙහි කියන්නේ හොඳ විෂබීජ නාශකයක් අළු කෙසෙල් වගේ වෑංජනවලට. කහට පිපෙනවාට දෙහි යොදා ගන්නට පුළුවන්.
ගොරකා
ගොරකා වර්ග ගණනාවක් මේ වන විට හඳුනාගෙන ඇති අතර. ඒවා හැම එකක්ම රසින් හා ගුණෙන් යුක්තයි. අමු ගොරක පැහැයෙන් කොළ පැහැවන අතර, පැසි ඉදුණු විට රතු, කහ මිශ්‍ර පැහැයකින් යුක්ත වනවා. ඉදුණු ගෙඩියේ මදය ඉවත් කර මාංශමය පළු ගලවා අව්වේ වියලා, තද කළු පැහැයට හැරුණු විට මැටි බඳුනක දමා ලිපට උඩින් ඇති දුම්මැස්සේ තබා ගැනීම අතීතයේ පටන් පැවති සිරිතක්. මේ ගොරකා බදුනට ලුණු ඇට කිහිපයක් දැමු විට ඒවා පුස් බැදීමෙන් හා නරක් වීමෙන් වළක්වා මොලොක් ගතියක් ද ඇතිකරන බව අපේ ගෘහණියක් දැනගෙන හිටියා.
ඇඹුල ගැන කථා කරන විට ගොරක කියන්නෙත් අත්‍යවශ්‍යම දෙයක්. මාළු වර්ග පිසීමේදී ගොරක නැතුවම බෑ. බල මාළු, කෙලවල්ලන් මේ ඕන මාළු වර්ගයක් පිසීමේදී වගේම මාළු ඇඹුල් තියල් පිළියෙල කිරීමේදී ගොරක අවශ්‍යමයි.
ඒ වගේම කැකිරි, පොලොස් වගේ වෑංජනවලට බිලින් නැතිනම් ගොරක කැබැල්ලක් යොදන්න ඕනේ. කිරි හොදි මිරිස් හොදි, තැම්බුම් හොදි ආදියට සියඹලා වෙනුවට ගොරක යොදන්න පුළුවන්. ඒ වගේම ගොරක මිශ්‍ර කරපු වතුරෙන් තම්බලා අපේ අම්මලා කොකිස් අච්චුව පදම් කරනවා. ගොරක මාළුවලට යෙදීමෙන් රසය ඝන බව පමණක් නොවේ ඒවා නරක් වීමේ ප්‍රවණතාවය අඩු කරනවා ගොරක කිසි විටක ඇළුමිනියම් හෝ වෙනත් ලෝහ භාජනවල දමන්න එපා.
සියඹලා
සියඹලා ආයුර්වේදයේ හා දේශීය වෙදකමේ බහුලව යොදාගන්නා ඖෂධයක් වන අතර මුල්, පොතු, කොළ (දලු) මල් කරල්. ඇට යන සියලු අංගයන්ම දේශීය වෙදකමේ ඖෂධ ලෙස යොදාගන්නට හැකි වටිනා ශාකයක්. ආහාරවල ඇඹුල් රසය උද්දීපනය කරගන්නට යොදාගන්නා ඉදුණු සියඹලා කරලෙහි ඇති මංශල කොටස ආහාර රසකාරකයක් ගුණකාරකයක් මෙන්ම, වර්ණකාරකයක්ද වනවා.
පෝෂණීය වශයෙන් විවිධ ජීව පදාර්ථයන් රැසක් අන්තර්ගත වන සියඹලා හි ටාටරින් සිට්රික් මැලික් හා ඇසිටික් ආදි අම්ල වර්ග අන්තර්ගත නිසා ඇඹුල් රසය බොහෝ සෙයින් අන්තර්ගතයි. එමෙන්ම ඉදුණු සියඹලා ග්‍රෑම් 100 ක කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 56.7 ක් . කැල්සියම් මිලි ග්‍රෑම් 81 ක් පොස්පරස් මිලි ග්‍රෑම් 86 ක්, කැරටින් ආදි සංඝටක ගණනාවකින් යුක්තයි.
මාළු හා මස් ඉවීමේදිත් තැම්බුම් හොදි, මිරිස් හොදි, රසම් හොඳි සැකසීමේදීත් සියඹලා බහුලව යොදා ගන්නවා. සියඹලාවලින් චට්නි හදන්න පුළුවන්. විනාකිරි අගුණ අයට මෝජු වර්ග සෑදීමේදී විනාකිරි වෙනුවට සියඹලා යොදා ගන්න පුළුවන්.
ඉදුණු සියඹලා කරල් වල පොත්ත, කෙඳි, ඇට ඉවත් කර ඒ මාංශල කොටස දියලුණු කැට හෝ ලුණු කුඩු සමඟ මිශ්‍රකර මැටි බඳුණක දමා සංරක්ෂණය කොට තබා ගත හැකියි.
බිලිං
අම්ල රසකාරකය උද්දීපනය කරන බිලිං දේශීය වෙදකමේ ඖෂධයක් ලෙස ද භාවිතා වෙනවා. මෙහි වැඩිපුරම ඇත්තේ ජලය වුවත් තියුණු ඇඹුල් රසයකින් යුක්තයි. එහි ඇත්තේ ඊටම සුවිශේෂි වූ ඇඹුල් රසයක්.
බිලිං ග්‍රෑම් සියයක ජලය ග්රෑ 94.4 ක් කැල්සියම් ග්‍රෑම් 15 ප්‍රෝටීන් ග්‍රෑම් 0.5 ක් මේදය ග්‍රෑම් 3.0 ආදි වශයෙන් පෝෂණ සංඝටක ගණනාවක් අන්තර්ගත වෙනවා. පොල් මැල්ලුම්, සම්බෝල , අච්චාරු , සීනි සම්බල් ඒ වගේම පොලොස්වලට, කරවල හොද්දට , පොල් සම්බෝලයට වුණත් බිලිං යොදා ගන්න පුළුවන් බිලිං ලුණු මිශ්‍ර කොට අව්වේ වියලා කල් තබා ගැනීමටද පුළුවන්.
සූදුරු
ආයුර්වේදයේ වගේම දේශීය වෙදකමේත් ප්‍රකට ඖෂධයක් වන සූදුරු තුනපහ නිපදවීමේ දීත් අත්‍යවශ්‍ය බව ඔබ දන්නවා. මේ සූදුරුවල බඩගිනි වඩවන ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රබෝධමත් කරමින් ආහාර දිරවීමටත් උපකාරිවන අතර ආමාශගත රෝග සඳහා අගනා ඖෂධයක් සුවඳකාරක, ගුණකාරක, රසකාරක ගුණයෙන් යුතු සූදුරු ආහාර සඳහාත් නැතිව බැරි දෙයක්, කුරුමා මසාලා වැනි ආහාර සඳහා සූදුරු ඇට පිටින් යොදන අතර ඉන් ලැබෙන්නේ වෙනස් රසයක්.
සූදුරු ඇට පමණක් නොවේ. සූදුරු කොළත් ආහාර සඳහා යොදාගන්නා අවස්ථා තිබෙනවා. මේවා කබලේ බැදලා කුඩු කරලා කෙටි කෑම වර්ග සඳහා යොදා ගත හැකියි.
මාදුරු
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>